‘තාත්තයි, පුතයි, නව වැනිදා මහ­ර­ගම යොවුන් රඟ­හලේ

0 Dec 04, 2018 09.13am Art

හතළිස් වසරක් උපයාගත් හදවත්වල ඉල්ලීමයි මේ
ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන
එදා තාත්තගේ රසිකයෝ අද මගෙත් රසිකයෝ වෙලා
නුවන් ගුණවර්ධනගේ පුත් ගයාන් ගුණවර්ධන

නුවන් ගුණවර්ධන යනු රිදී තිරයේ පසුබිම් ගීත ගායකයකු ලෙස දශක හතරක කාලය තුළදී ගීත සිය ගණනක් ගායනා කළ ගායන ශිල්පියෙකි. දැනටත් නිපදවෙන අලුත් චිත්‍රපටවල තරුණ රංගන ශිල්පීන්ට පසුබිම් ගීත ගයන්නේ නුවන්ය. ඒ තරමට ඔහුගේ හඬ තරුණය, ජව සම්පන්නය. නුවන්ගේ පුත් ගයාන් ගුණවර්ධනද පියාගේ අඩි පාරේ යමින් අද වන විට ගායකයකු, රංගන ශිල්පියකු, නිවේදයකු මෙන්ම ශබ්ද පරිපාලකයකු ලෙස කලාව තුළ දිගු ගමනක් යන්නට සැරසී සිටින්නේ කාගෙත් කතාබහට ලක්වෙමින්ය. මේ තාත්තයි පුතයි අලුත්ම වැඩකට අතගහන්න යන බව අපට දැනගන්නට ලැබුණා. ඒ තමයි ‘තාත්තයි පුතයි live in consert ප්‍රසංගය.' ඒ ගැන නුවන් සහ ගයාන් සමග කළ කතා බහයි මේ.

'ලබන 9 වැනිදා සවස 6.30ට මහරගම යොවුන් රඟහලට පැමිණියහොත් ‘තාත්තයි පුතයි live in consert ' නැරඹිය හැකියි. මෙය ජීවමාන තාත්තා කෙනෙක් පුතා සමග පවත්වනු ලබන ප්‍රසංගයක්. අද බොහෝ විට පවත්වන පිය පුතු ප්‍රසංග මියගිය තාත්තලාගෙ දරුවන් විසින් පවත්වන ඒවා. නමුත් මෙම ප්‍රසංගය ජීවතුන් අතර සිටින පියෙක් පුතා සමග හරි හරියට ගීත ගයන නිසා තමයි තාත්තයි පුතයි ලෙස ප්‍රසංගය නම් කර තිබෙන්නෙ. මෙවැනි ප්‍රසංගයක් පවත්වන්න හේතු කිහිපයක් බලපෑවා. එකක් ගායනට සම්බන්ධ වී වසර හතළිහක් පිරුණා. අනෙක පුතාගේ ගායන දිවියට රුකුලක් දෙන්න අවශ්‍ය වුණා.'

ගයාන්ගේ ගායනයට රුකුලක් දීමට පියා නුවන් සිතුවත් ගයාන් මේ වන විටත් ගායකයකු, නිවේදකයකු, රංගන ශිල්පියකු ශබ්ද පරිපාලකයකු ලෙස ක්ෂේත්‍රය තුළ කතාබහට ලක් වූ චරිතයක්. 'ඇත්තම කියනවා නම් මම ගායන ක්ෂේත්‍රයට සම්බන්ධ වී දශක හතරක කාලයක් සිනමා, ටෙලිනාට්‍ය, සහ ප්‍රසංග වේදිකාවේ ගීත ගායනා කළාට වඩා දැනුමක් මේ ටික කාලයේ දී මගේ පුතා ලබාගෙන තිබෙනවා. ඒ සඳහා මම ගයාන්ව කුඩා කාලයේ සිටම පුහුණු කළා. ගයාන් අද ඉන්න තැන මගේ ජීවිතේ තිබූ ලොකුම හීනය. ඔහුව ඒ තැනට ගේන්නට සංගීතයට යොමුකළේ පස්වැනි වසරේ සිටයි. පියානෝ වාදන ශිල්පී ක්‍රිස්ටීන් වීරසිංහ මහතා යටතේ පියානෝ වාදන ශිල්පය හදාරා විභාග කිහිපයක්ම සමත්වූවා. ඉන් පසු ගිටාර් වාදනය පිළිබඳව හදාරන්න යොමු කළා. නැවතත් පියානෝ වාදනය පිළිබඳව වැඩිදුර ඉගෙන ගැනීමට දිලිප් ගබඩාමුදලි සංගීතවේදියා වෙත යොමු කළා. අද ඔහු හොඳින් සංගීත දැනුමෙන් සන්නද්ධව මගේ මාවතේ ගමන් කරනවා. මම ඒ දෙස බොහොම සතුටෙන් බලා සිටිනවා'

ගයාන් , තාත්තයි- පුතයි ප්‍රසංගය රසිකයන් කොහොම වැලඳ ගනියිද?

තාත්තාගෙ තරුණ හඬ තමයි මෙවැනි ප්‍රසංගයක් පැවැත්වීමට හේතු වුණේ. ඔහුට ආදරය කළ රසිකයන් අද මටත් ආදරය කරනවා. ඔවුන් අද මගෙත් රසිකයන් වෙලා. ඔවුන් කැමැතියි පියාගේ ගීත මම ගායනා කරනවා නම්. එය යථාර්ථයක් කිරීමට අප දෙදෙනා නව වැනිදා මහරගම යොවුන් රඟහලේදි සිංහල සහ හින්දි ගීත ගායනා කරනවා. ඒ අතර ප්‍රසංගය තුළ තවත් ප්‍රසංගයක් පැවැත්වීමටත් අපි බලාපොරොතු වෙනවා. ඒ තමයි මා සම්බන්ධව සිටින ප්ලස් මයිනස් සංගීත කණ්ඩායමත් ප්‍රසංගය අතරතුරදී ප්‍රසංගයක් පැවැත්වීම. ඊට අමතරව තාත්තා සමග යුග ගීත ගායනාකළ උරේෂා රවිහාරි, අමිලා නදීශානි, චමිලා ක්‍රිෂාරි යන ගායන ශිල්පිනියන් ප්‍රසංගයේදි මමත් තාත්තාත් සමග යුග ගී ගායනා කරනවා. අප දෙදෙනාම හින්දි ගීත වැලක් ගායනා කිරීමට අදහස් කරගෙන ඉන්නවා. පහළොස් දෙනකුගෙන් සමන්විත පෙර අපර දෙදිග සංගීත භාණ්ඩ වාදනය කෙරෙන අතර සංගීතය සපයනු ලබන්නේ සංගීතවේදී තිළිණ තුෂාර වෙල්ලාල. කථනය වසන්ත රෝහණ'

ප්‍රවීණ නුවන් සමග නවීන ගයාන් සුසංයෝගය ප්‍රේක්ෂකයන්ට අලුත් අද්දැකීමක් වෙයි කියාද ඔබ සිතන්නෙ..

ප්‍රසංගය නැරඹීමට පැමිණෙන සියලු දෙනාටම මෙය අලුත් අත්දැකීමක් වෙයි.

ගයාන් නුවන්ගේ ගීතත්, නුවන් ගයාන් ගේ ගීත ගායනා කිරීමත් මෙහිදී සිදු කරනවා. ඒ වගේම මම ගීත ගායනා කරද්දි තාත්තා සහායට සම්බන්ධ වනවා සේම තාත්තා ගීත ගායනා කරද්දී මම ඔහු හා සම්බන්ධ වෙනවා. මගේ ජීවිතයේ හොඳම මිතුරා මගේ තාත්තා. අපි දෙදෙනා ඇසුරු කරන්නේ යහළුවන් මෙන්. මම හිතනවා තාත්තාගේ හඬ මට මනාවට පිහිටා තිබෙනවා කියා. එදිනට අපි ගීත විසි හතරක් ගායනා කරනවා. මුළු ප්‍රසංගයම පැවැත්වෙන්නේ නරඹන්නන්ට රසාස්වාදය ලබාදෙන නිර්මාණයක් වගෙයි. එය බොහොම සංවේදී ප්‍රාසංගික අවස්ථාවක් වේවි.

කලාව තුළ ඔබට නිසිතැනක් ලැබුණේ නැහැ කියා නුවන්ට හිතෙන්නේ නැද්ද?

මම සිනමාවට සම්බන්ධ වූ කාලයේ ඇතැම් අවස්ථාවලදී සිත් වෙදනාවලට මුහුණ දුන් අවස්ථා නැතුවාම නෙවෙයි. නමුත් මම උත්සාහය අත්හැරියේ නෑ. හැම ක්ෂේත්‍රයකම වගේ කලා ක්ෂේත්‍රයේත් එවැනි සිදුවීම් සිදු වනවා. මම පුතාටත් නිතරම කියන්නෙ නිහතමානී වන්න. හැම දෙනාටම සවන් දෙන්න කියලා. එවිට අපිට හොඳක් සිදුවෙයි කියලා. ඒ නිසා වෙන්න ඇති පුතා අම්මයි, තාත්තයි, අක්කයි ජීවිතේ ළඟම මිතුරන් බවට පත් කර ගෙන සිටින්නේ.

තාත්තයි- පුතයි ප්‍රසංගයට ලැබෙන සහයෝගය..

අපේ හිතවත් සංගීත ලෝලීන් තමයි සම්පූර්ණ සහයෝගය ලබා දෙන්නේ. මම හතළිස් වසරක් උපයාගත් හදවත් කාලයක් තිස්සෙ ඉල්ලීම් කළා ප්‍රසංගයක් පවත්වන්න කියා. ඔවුන් මට මෙන්ම මගේ පුතාටත් ආදරය කරනවා.


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post