ලංකාවේ චිත්‍ර­පට පෙන්වන්න නිසි ක්‍රම­වේ­ද­යක් නැහැ : ඉතා­ලියේ සිට අයියයි නංගියි හැදූ නිශාන්ත ජය­කොඩි

0 Nov 27, 2018 09.32am Art

තරුණ චිත්‍රපට නිෂ්පාදකවරයෙකි. නාට්‍යකරුවෙකි.

දැනට ඉතාලියේ වාසය කරන නිශාන්ත අපට හමු වූයේ කෙටි නිවාඩුවකට මවුරට පැමිණි විටය. කලාව ට ඇල්ම ඇති කෙනා ලෝකයේ කොයි කොන ගිය ද තම ඇල්ම නැති කර ගන්නේ නැත. නිශාන්ත ද එවැන්නෙකි. ඔහු ඉතාලියේ රැකියාවක නිරත වුව ද කලාවට කලාකරුවන්ට සිනමාවට ඇති ඇල්ම අත් නොහළ කෙනෙකි.

නිශාන්තගේ කලා මඟ ඇරැඹෙන්නේ පාසල් වියේදීමය.

මාබෝල ශාන්ත මරියා විදුහල හා වත්තල ශාන්ත අන්තෝනි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද නිශාන්ත පාසල් වියේ සිටම චිත්‍රපට වලට දැඩිසේ ඇල්ම දැක් වූවෙකි.

“අපි පුංචි කාලේ වත්තල චිත්‍රපට ශාලා පහක් තිබුණා. මම අවුරුදු තුනහතර වයසේ ඉඳලාම චිත්‍රපට බලලා තියෙනවා. ඒ අපේ වැඩිහිටියෝ මාව එක්ක ගිහිල්ලා තියෙන නිසා. ඒ පුරුද්ද නිසාම වෙන්න ඇති වයසින් වැඩෙනවත් සමඟ චිත්‍රපට කෙරෙහි මගේ ආසාව වැඩිවෙන්න ඇත්තේ.

මම උසස් පෙළට ඉගෙන ගත්තේ ජීව විද්‍යා අංශයෙන්. මම මුලින්ම අන්තර්ජාතික කතෝලික සිනමා පර්ෂදයේ පාඨමාලාවක් හැදැරුවා. අපට උගන්නන්න ආවේ ෂෙල්ටන් පයාගල මහතා. ජයනි සේනානායක, ජයලාල් රෝහණ අපේ සමකාලීනයෝ. මම කෙටි චිත්‍රපටයක් කෙරුවා විනාඩි එකොළහක. එහි නම ‘නැවතුමක ආරම්භය‘. ඒ වගේම එල්ෆින්ස්ටන් චිත්‍රපට ශාලාවේ ටෙලි චිත්‍රපට දෙකක් පෙන්නුවා. ඒ එක්දහස් නවසිය අනූඅට වසරේ. මෙය හොඳ නිර්මාණයක් කියලා බොහෝ ඇගයීම් ලැබූණා. ඒ වගේම මම පාසල් කාලයේ වේදිකා නාට්‍ය කිහිපයක්ම කළා. ”

නිශාන්ත සිහි කරන්නේ අතීතය පිළිබඳය. මේ සියල්ල අතරේ ඔහු දෙදහ වසරේදී විදෙස් ගතවන්නේය. නමුදු විදෙස් ගතවූවා කියා ඔහුගේ කලාවට තිබූ ඇල්ම නැති වන්නේ නැත. ඔහු එහි දී හදවත් නැත්තෝ, සිහින මාලිගා, අනේ අපොයි දොන් බොස්කෝ , හා දෙව්ලෝ සමයං යන මැයෙන් නාට්‍ය හතරක් නිර්මාණය කරන්නේය. එමෙන්ම ඔහු විටෙක ලංකාවේ චිත්‍රපට ගෙන්වා ඉතාලියේදී ප්‍රදර්ශනය කරවන්නටද කටයුතු කරයි.

“මම සේවය කරන්නේ ඉතාලියේ සංචාරක හෝටලයක පිළීගැනීමේ නිලධාරියකු ලෙසයි. වසර දාහතරක් තිස්සේ මම එකම ආයතනයක සේවය කරන්නේ. ඒ සේවා කාලය තුළ මම එක පැයක්වත් නිවාඩු අරගෙන නැහැ. ලෙඩ නිවාඩු අරගෙන නැහැ. මම මේ රැකියාව කරන අතරතුර තමයි කලාව කරන්නෙත්. මට මේ අතර තමයි චිත්‍රපටයක් කරන්න ඕන කියන අදහස ආවේ. චිත්‍රපටයේ නම අයියයි නංගියි. ශ්‍රී ලංකාවේදි වගේම ඉතාලියේ මිලානෝ , වෙරෝනා , වැනීසිය යන නගරවලදි මේ චිත්‍රපටයේ රූගතකිරීම් කෙරුවා.

විළා ජයකොඩි, මහේන්ද්‍ර පෙරේරා, සමන්ති ලැනරෝල්, අනුෂා දමයන්ති , ඇතුළු නළු නිළියෝ රැසක් රඟපානවා. ආචාර්ය අජන්තා රණසිංහ, සමන්චන්ද්‍රනාත් වීරසිංහ, සුසන්ත දන්දෙනිය යන ගී පද රචකයෝ ගීත නිර්මාණ කර තියෙනවා. මේ චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂ ලෙස කටයුතු කළේ සංගීතවේදී මහින්ද බණ්ඩාර. ඔහු සංගීත නිර්මාණය කළ පළමු චිත්‍රපටයත් මෙයයි. ලතා වල්පොල, වෝල්ටර් ප්‍රනාන්දු , ක්‍රිස්ටෝපර් පෝල්, වර්නන් පෙරේරා යන ගායක ගායිකාවෝ අයියයි නංගියි චිත්‍රපටයේ ගීත ගායනා කරනවා.

නිශාන්ත පවසන්නේ තමන් නිෂ්පාදනය කළ පළමු චිත්‍රපටයේ වගතුගයි. නිශාන්ත මේ චිත්‍රපටයට රංගනයෙන් මෙන්න ගායනයෙන් ද දායක වේ. නමුදු කනගාටුදායක කරුණ නම් මෙම චිත්‍රපටය තවමත් ලංකාවේ තිරගත නොවීමය.ඉතාම ඉක්මනින් එය තිරගතවෙනු ඇතැයි යන්න නිශාන්තගේ විශ්වාසයයි. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන්නේ සීතල පිනි කඳුය. නමුදු චිත්‍රපට පෙන්වීම ප්‍රමාද වීම ගැන ඔහුට ඇත්තේ බලවත් කනගාටුවකි.

“ අයියයි නංගියි තවමත් ප්‍රදර්ශනය කරගන්න බැරිවීම ගැන කනගාටුයි. ඉතාලියේ නාපොලි වල වගේම මිලානෝ වල මේ චිත්‍රපටය පෙන්නුවත් ලංකාවෙදි තවමත් ප්‍රදර්ශණයට අවස්ථාව ලැබුණේ නැහැ. මම දකින දෙයක් තමයි ලංකාවේ චිත්‍රපට පෙන්වන්න නිසි ක්‍රමවේදයක් නැහැ. අද මේ රටේ කලා කාරයෝ බහුතරයක් දේශපාලනයේ නිරත වෙනවා.

නමුත් ඔවුන් මේ තියෙන අඩුපාඩු ගැන කතා කරන්නේ හෝ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. පහු ගිය කාලයේ අලුතෙන් චිත්‍රපට ශාලා කීයක් හදලා තියෙනව ද? මේවා ගැන කවුරුවත් කතා කරන්නෙත් නැහැ. ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. අලුතෙන් කෙනෙක් නිර්මාණයක් කළාම ඒ චිත්‍රපටය ප්‍රදර්ශනය කරන්න හදලා තියෙන ක්‍රමවේදය මොකක් ද? නමුත් සමහර අය චිත්‍රපටයක් ගිය මාසේ හැදුවා නම් මේ මාසේ එය පෙන්වන්න පුළුවන්.

එක එක්කකෙනාට එක එක විදිහට සැලසීම නොවෙයි විය යුත්තේ සියලුම නිර්මාණකරුවන්ට සාධාරණයක් විය යුතුයි. මෙන්න මේ වෙනස්කම වෙන තුරු මේ රටේ කලාව දියුණු කරන්න බැහැ. දැන් හැමෝම ලංකාවේ සිනමා කර්මාන්තය වැටිලා කියලා කෑ ගහනවා. නමුත් ඒ වැටීමට හේතු සොයන්නෙවත් ඒ වෙනුවෙන් කළයුත්තේ මොකක්ද කියලා හොයලා එයට පිළියම් යොදන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. මේක මහ අවාසනාවන්ත තත්වයක්”.

දේශීයත්වයට, තමන්ගේ කමට ඇති ඇල්ම, කැමැත්ත නිසාම ඔහු ඉතාලියේදී ලාංකීය කලාකරුවන් එරටට ගෙන්නා ඔවුන් වෙනුවෙන් උපහාර පිදීම මෙන්ම සිංහල අවුරුද්දට වෙසක් උත්සවයට, එරටදි දේශීයත්වය ඉස්මතුවන සංස්කෘතික ප්‍රසංග පවත්වන්නේය. ඒවා සංවිධානය කරන්නේය. පසුගිය දා ඔහු විසින් එවැනි ඇගයිමකට ලක් කළේ ප්‍රවීණ රංගන ශිල්පී සුමනා අමරසිංහ මහත්මියවයි.

“ විදේශයක සිටින විට අපිට අපේකම දැනෙනවා වැඩියි. අපි ඒ රටවල හිටියට අපි හිතෙන් ඉන්නේ අපේ මවු රටේ. මම මේ දේවල් කරන්නේ තනිවම නොවෙයි. එරට ඉන්න ලාංකිකයෝ මා සමඟ එක්වෙනවා. අපි හැමෝම කැමැතියි අපේ රටේ සිනමාව, නාට්‍ය, ගීතය, කවිය ආදී වූ සියලු කලාවන් ආරක්ෂා වනවාට.

ඒ වගේම ලෝකය අපේ නිර්මාණ ගැන දැන ගන්නවට. එනිසයි අපි මොන අපහසුකම් තිබුණත් මේ හැමදේම කරන්නේ”

නිශාන්ත පවසන්නේ කලාවට ඇති ආදරයෙනි.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post