විවාහයත් එක්ක අමන්දා නිරූපණ ක්‍ෂේත්‍රයට සමුදෙයිද?

0 Nov 26, 2018 09.56am Art

• අමන්දා ආදරවන්තයා එක්ක කැදැල්ලකට කූඩුවෙලා. කොහොමද ඒ ජීවිතේ?

හරිම සතුටින් ඉන්නේ. විවාහ උත්සවය ඉවර වුණත් තාමත් ඒක සමරනවා. මම වගේම පවුලේ අයත් මගේ සැමියාට ගොඩක් ආදරෙයි. ඒ නිසා තාම ඒ සතුට හැම තැනම සමරනවා.

• දිමුතුත් එක්ක එක කැදැල්ලකට
වෙන්න කාලයක් තිස්සේ හීන දැක්කනේ.

දැන් ජීවිතේ වෙනසක් වෙලාද?

අපි දෙන්නා කාලයක් හිටියේ රටවල් දෙකක. දැන් අපි එකට ඉන්නේ. එයා ළඟ ඉන්නකොට පුදුම සතුටක් දැනෙන්නේ. ෂෝවලට ඇරෙන්න අනෙක් හැම වැඩකටම යද්දී එයත් එක්ක යන්නේ. වෙනදා නම් මට එළියට බහින්න හරිම කම්මැළියි. හැබැයි දැන් නම් එයා මගේ ළඟ ඉන්න නිසා කිසිම කම්මැළිකමක් නෑ.

• දැන් අමන්දාගේ ජීවිතේ වගකීම්
වැඩි වෙලාද?

තාම නම් මම ටි්‍රප් එකක් ආවා වගේ ඉන්නේ. වැඩක් කරන්න ගියත් මට ඕන හැම දෙයක්ම සැමියාගේ පවුලේ අය කරලා දෙනවා. තාම මට ලොකු වගකීමක් දැනිලා නැහැ. ඒත් මම බිරියකගේ වගකීම කැමැත්තෙන්ම අරගෙන සැමියව, එයාගේ පවුලේ අයව බලාගන්න ඕන.

• විවාහය කියන්නේ තනිකඩ ජීවිතේ වගේ
නෙවෙයි, නිදහස අඩුයිලු. අමන්දාට
එහෙම දැනෙනවාද?

ඇත්තටම ගොඩක් අය හිතන්නේ විවාහ වුණාට පස්සේ නිදහස අඩුවෙනවා කියලා. හැබැයි මට නම් විවාහ වුණාට පස්සේ නිදහස වැඩි වුණා වගේ.

• විවාහයට කලින් අමන්දා නිදහස
අඩුවෙන්ද භුක්ති වින්දේ?

මෙහෙමයි මම කොටට ඇඳුම් අඳින්න ආස වුණාම අපේ තාත්තා මම කොටට ඇඳුම් අඳිනවාට කැමැති වුණේ නැහැ. බැන්දට පස්සේ ඕන ඇඳුමක් අඳින්න කියලා තමයි තාත්තා කිව්වේ. එයා හිතුවේ මම විවාහ වෙන කෙනත් ඒවට කැමැති වෙන එකක් නෑ කියලා. ඒත් මම විවාහ වුණා කියලා සැමියාවත් එයාගේ පවුලේ අයවත් මට ඒ දේවල් එපා කිව්වේ නෑ. මගේ සැමියාගේ අම්මා හරියට මගේ අම්මා වගේ. එයාට මම අඳින දේවල් ගැන කිසිම ප්‍රශ්නයක් නෑ. ඕන ඇඳුමක් අඳින්න මට නිදහස දීලා තියෙන්නේ.

• රංගන ක්‍ෂේත්‍රය, නිරූපණ ක්‍ෂේත්‍රය ගැන
එළියේ විවිධ මත තියෙනවා.
සැමියාගේ මවුපියෝ අමන්දාට දීපු
වටිනාකම ගැන සතුටු වෙනවාද?

මම එයාලට මුලින්ම කතා කළ ගමන් එයාලට මාව හිතට අල්ලලා තිබ්බා. මුණගැහුණම එයාලාට මාව තවත් හිතට ඇල්ලුවා. ඇත්තටම මම හරි වාසනාවන්තයි ඒ වගේ පවුලකට සම්බන්ධ වෙන්න ලැබුණ එක ගැන. මගේ යාළුවෝ වුණත් කියනවා ඒ වගේ පවුලක් මගේ වාසනාවට ලැබිලා තියෙනවා කියලා. මගේ පවුලේ අය වුණත් සතුටු වෙනවා මට ඒ අය දක්වන ආදරයට.

• අමන්දාට රසට කෑම උයන්න
පුළුවන්නේ. ඒ හැකියාවටත්
ලොකු තැනක් ලැබෙනවා ඇති?

ඔව්. එක දවසක් දිමුතුගේ අම්මා කිව්වා මම උයපු කෑම ටිකක් කන්න ආසයි කියලා. කොස් උයලා, කරවල උයලා, පොල් සම්බෝල තිබ්බ නම් එයා කැමැතියි කිව්වා. මම ඉතින් ඒ මෙනු එක තව ටිකක් වැඩි කරලා හදලා දුන්නා. මට ඉතින් හොඳට උයන්න පුළුවන්. මගේ කෑම කාලා අම්මා එන එන හැමෝටම කියනවා මොඩ්ල් කෙනෙක් වුණත් මට හොඳට උයන්න පුළුවන් කියලා. හැබැයි දිමුතු නම් බත් කන්න එච්චර ආස නැහැ. හැබැයි එයා මගේ කෑමවලට ආසයි.

• දැන් අමන්දා දිමුතු එක්කම ලංකාවෙන්
යන්නද කල්පනාව?

දිමුතු ඇමෙරිකාවට කලින් යනවා. එයා බිස්නස් වැඩ කරන්න ඕනෙනේ. මගේ තව වැඩ ටිකක් තියෙනවා ඉවර කරන්න. ඒ ටිකත් ඉවර කරලා මමත් එයා ළඟට යනවා. කොයි වෙලාවේ යයිද කියන්න බෑ.

• එතකොට අමන්දාට ක්‍ෂේත්‍රයේ වැඩවලින්
ඉවත් වෙන්න වෙයි නේද?

ඔව්. එතකොට වැඩවලින් අයින් වෙන්න වෙනවා. ඊට පස්සේ කරන්නේ මොනවද කියලා තාම හිතලා නැහැ.

• මෙච්චර කාලයක් කරපු දේ
අතහරින්න දුක නැද්ද?

මම දැන් නිරූපණ ක්‍ෂේත්‍රයට ඇවිත් අවුරුදු දහයක් වෙනවා. මුල් දවස්වල පිස්සුවෙන් වගේ ඒ වැඩවලට සම්බන්ධ වුණේ. අලුත් අලුත් අය ක්‍ෂේත්‍රයට එද්දී දැන්නම් ඒ ආශාව අඩුවෙලා. ළඟින් හිටපු අය විවාහ වෙලා ක්‍ෂේත්‍රයෙන් අයින් වෙනවා. මෙච්චර කල් හිටපු තැනින් ඉවත් වෙන්න දුකයි. ඒත් අපි ඉස්සරහට යන්න ඕනේනේ.

• මොනවද දිමුතුත් එක්ක තියෙන ජීවිතයේ
ඉදිරි බලාපොරොත්තු?

ලොකු බලාපොරොත්තු නැහැ. මම හරි වාසනාවන්තයි. මට ඕන දේවල් ජීවිතයට ලැබිලා තියෙනවා. මට ලැබිලා තියෙන සතුට හැමදාම තියෙන්න කියලා තමයි මම දෙවියන්ගෙන් ඉල්ලන්නේ.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post