වග­කීම් වැඩි­ වු­ණත් දරු­වන් නිසා ලෝකය හරිම සුන්ද­රයි කියා සිත­නවා

0 Nov 24, 2018 11.13am Art

දුව නිදාගත් විට මම කරන්නේ එයාගෙ මූණ දිහා බලාගෙන ඉන්න එක
දරුවන්ගේ පෝෂණය ගැන මම ගොඩක් සිතනවා
ඉදිරියේදී ව්‍යාපාර පැත්තට යොමු වෙනවා

කලක් පුංචි තිරයේ අහිසංකාව ලෙස කාගෙත් ආදරය දිනු මංජුලා කුමාරි ඔබට මතකයිද? ඕලු, සිහිනයක් පාට පාටින්, වරාමලී, මීදුම ඔබයි, සඳ යළිත් ඇවිදින්, නන්දුත්තරා, අඳුරු සෙවණැලි, බ්‍රහ්ම මුහුර්තය ආදි ටෙලි නාට්‍ය ගණනාවකින් අප හමුවට පැමිණි ඇය බොහෝ ප්‍රේක්ෂකයන් හැඳින්වූයේ 'ඕලු' යන ආදරණීය නමින්. හැමදාමත් කලාව තුළ සෙමෙන් ගමනක් ගිය මේ රුවැත්තිය පසුගිය කාලයේ දකින්න ලැබුණේ නෑ. ඒ ගැන සොයා බලන විට මංජුලා නැවතත් මවු පදවිය ලබා ඇති බව අපට දැනගන්නට ලැබුණා. පොඩිත්තන් දෙදෙනකුගේ කිරි සිනහව උතුරාගිය සොඳුරු කැදැල්ලේ තොරතුරු සොයා ඔබට කියන්නට අප බෙල්ලන්විල පිහිටි මංජුලාගේ නිවෙසට පසුගියදා ගොඩ වැදුණා. පොඩිත්තන් සමඟ අතිශය කාර්ය බහුල දිනචර්යාවක නියැළිලා සිටින ඇය අප ආදරයෙන් සෙනෙහසින් පිළිගත්තා.

 කො‍හොමද මංජුලා..

හොඳින් ඉන්නවා.

මංජුලා දැන් දෙදරු මවක්..

ඔව්. දුවයි, පුතයි. දුවට මාස හතරයි. ඇය ඩිනෝලි එහන්සා. පුතා ඕලිත සංතුල්. වයස තුනහමාරයි. ඕලු කියන නම තමයි ඕලිත ලෙසින් පුතාට දැම්මේ. දුව ඉපදුණාට පස්සේ මම ඉස්සෙල්ලාම රසඳුන පුවත්පතට තමයි මේ විස්තර දෙන්නේ.

ඒ තරමටම 'ඕලු' ඔබට සමීපයි..

ඔව්..ඔව්. ඕලු ටෙලි නාට්‍යයෙන් තමයි ගොඩක් ප්‍රේක්ෂකයන් මාව හඳුනා ගත්තේ. අදටත් ගොඩක් අය මට කතා කරන්නේ ඕලු කියායි. ඒ නිසා මම විශ්වාස කරනවා ඕලු කියන නම මට වාසනාව ගෙනාවා කියා.

බබාලගෙ වැඩත් එක්ක කොහොමද දවස ගෙවෙන්නේ..

ගොඩක්ම කාර්යබහුලයි. නිදාගන්න වෙලාවක් නැති තරම්. වැඩිම වුණොත් රෑට පැය දෙකයි නිදාගන්නේ. කොහොමත් දුවට කිරි දෙන නිසා පැය දෙකෙන් දෙකට අවදි වෙනවා. දුව නිදාගත් විට මම කරන්නේ එයාගෙ මූණ දිහා බලාගෙන ඉන්න එක. එයා හරිම සුරතල්. දරුවන්ගේ ලෝකය දකිද්දී වගකීම් වැඩි වුණත් ජීවිතේ හරිම සුන්දරයි කියා හිතෙනවා.

දුව කවුරු වගේද ?

සමහරු කියනවා දුව මම වගේ කියලා. සමහරු කියනවා මහත්තයා වගේ කියලා. මට නම් තවම චූටි නිසා හරියට කියන්න අමාරුයි කවුරු වගේද කියලා. පුතා නම් කැමැතියි එයා වගේ කියනවට.

කවුද මංජුලාට උදවු කරන්නේ..

මගේ අම්මයි, ආච්චි අම්මයි උදව්වට ඉන්නවා. මහත්තයා චානුක ව්‍යාපාරික ක්ෂේත්‍රයේ නියුතුව සිටින නිසා ඔහුට නි‍ෙවසේ වැඩවලට සහාය වෙන්න වෙලාවක් නැහැ. ඒත් ඔහු ඉඩ ලැබෙන හැම වෙලාවෙම මට උදවු කරනවා.

මංජුලා රසට උයනවා කියන්නේ ඇත්තක්ද ?

ඇත්තම කියනවනම් මට රසට උයන්න බැහැ. අම්මයි, ආච්චියි තමයි උයන පිහන වැඩ කරන්නේ. නමුත් දරුවන්ගේ පෝෂණය ගැන මම ගොඩක් සිතනවා. විශේෂයෙන් උදෑසන ආහාර වේලට ධාන්‍යමය ආහාර වන කවුපි, කඩල වගේ දේවල් හදනවා. දහවල් ආහාරයට මාළු වර්ගයක්, පලා, අල වැනි දේවල් එකතු කරනවා. පුතා පෙරපාසල් යනකොට සමපෝෂ වගේ දේවල් තමයි හදලා දෙන්නේ. රෑට නම් සුප් එකක් ආහාරයට ගන්නවා.

රංගනයට පිවිසි ඒ සොඳුරු අතීතය මතක් කරමුද ?..

කුලසිරි බුදවත්තයන්ගේ නර්තන පාසලේ නර්තනය හදාරන කාලෙදි වෙළෙඳ දැන්වීම් දෙක තුනක පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. ඔය කාලයේදිම තමයි ආරියරත්න ඇතුගලයන්ගේ 'රිද්දි යාගය' ටෙලි නාට්‍යයේ රඟපාන්න අවස්ථාව ලැබෙන්නෙත්. ඒ විදිහට ආරම්භ වුණු රංගන ජීවිතයේදී ටෙලිනාට්‍ය තිහක පමණ රඟපාන්න අවස්ථාව ලැබුණා. අම්මාවරුනේ, සංජානා, ආදි චිත්‍රපට කිහිපයකත් රඟපෑවා.කොහොමත් මම එදා ඉඳන් රඟපෑවේ තෝරාගත් නිර්මාණවල විතරයි. ඒක නිසයි වසර දහ අටක කලා ජීවිතයේ නිර්මාණ කිහිපයකට පමණක් දායක වී සිටින්නේ.

ඔබ කිහිප අවස්ථාවකදිම සම්මානයටත් පාත්‍ර වුණා..

හොඳම නිළිය ලෙස වසර තුනක් නිර්දේශ වුණා. ජනප්‍රිය නිළිය සම්මානය 2006 සිට වසර තුනක් ජයග්‍රහණය කළා. ටෙලි නාට්‍ය නිෂ්පාදනය කළා, සම අධ්‍යක්ෂණයෙන් දායක වුණා.

පාසල් යන කාලයේදී නර්තන ගුරුවරියක් වෙන්න හීන මැව්වා කියන්නෙ ඇත්තද?

මම පාසල් ගියේ නුගේගොඩ අනුලා බාලිකා විදුහලට. පාසලේ විෂයක් ලෙස සාමාන්‍ය පෙළ දක්වා නර්තනය හැදෑරුවා. සමස්ත ලංකා තරගවලට පවා සහභාගි වී නර්තන අංශයෙන් ජයග්‍රහණ ලැබුවා. කුලසිරි බුදවත්ත රංගායතනයට ඇතුළත්වූයේ නර්තන ගුරුවරියක වීමේ බලාපොරොත්තුවෙන්. නමුත් එහිදී අහඹු ලෙස රංගනය පැත්තට යොමුවෙන්න අවස්ථාව ලැබුණු නිසා නර්තන ගුරුවරියක වීමේ සිහිනය මග හැරුණා.

ඉදිරියේදී රංගනයෙනුත් ඈත් වෙයිද?

එහෙම වෙන එකක් නෑ. කොතරම් කාර්යබහුල වුවත් කෙසේ හෝ වසරකට එක නිර්මාණයකට හෝ සම්බන්ධවෙන බලාපොරොත්තුව තිබෙනවා. ලලිත් රෝහිත එදිරිසිංහ අධ්‍යක්ෂණය කරන ඩොනල්ඩ් ජයන්ත සම අධ්‍යක්ෂණය කරන නවතම චිත්‍රපටයකට රංගනයෙන් දායක වෙන්න අවස්ථාව ලැබුණා. එහි රූගත කිරීම් ඉදිරියේදි ආරම්භ කරනවා. දුව චූටි නිසා ඇයවත් දර්ශන තලයට අරගෙන යන්නයි හිතාගෙන සිටින්නේ. දවස් පහක් පමණක් රූගත කෙරෙන නිසයි එම චිත්‍රපටයට සම්බන්ධ වුණේ. ඉදිරියේදීත් නිෂ්පාදනය හෝ අධ්‍යක්ෂණ‍ය පැත්තෙන් කලාවට සම්බන්ධ වෙන්න අදහසක් තිබෙනවා. ඒ වගේම තවත් අලුත් අදහසක් හිතේ තියෙනවා.

අපිටත් කියන්න පුළුවන්ද ඒ අලුත්ම අදහස ගැන..

ව්‍යාපාර පැත්තට යොමු වීමේ අදහසක් තිබෙනවා.මංගල ඇඳුම් සහ සාරි වර්ග, ආදි උත්සව අවස්ථාවන්ට අඳින ඇඳුම්, පැලඳුම් සාධාරණ මිලට අලෙවි කිරීමේ වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන යෑමට. දැනටමත් දන්න කියන පිරිස කතා කර අපෙන් ඇඳුම් මිලදී ගන්නවා.

මොනවද අනාගත බලාපොරොත්තු..

දරු දෙදෙනාට හොඳින් උගන්වා හොඳ පුරවැසියන් කරන බලාපොරොත්තුවත් හොඳ කලා නිර්මාණවලට දායක වීමත් තමයි මගේ අනාගත අපේක්ෂාව .

ඡායාරූප ගැනීම නිසාදෝ පොඩිත්තන් දෙදෙනා වෙහෙසට පත් වෙලා. ඔවුන් වෙනුවෙන් වෙන් කර ඇති කාලයෙන් හෝරාවක් පමණ රසඳුන පාඨකයන් වෙනුවෙන් වෙන්කරන්නට මංජුලා දැක්වූ සහයෝගයට ස්තූති කරමින් අප ඔවුන්ගේ කැදැල්ලෙන් සමුගත්තා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post