" ගොඩක් අය විවාහ වෙලා ඉක්මනින්ම ඩිවෝස් වෙනවා, ඇත්තටම මම කැමැති ආදරේට වඩා සල්ලි තියෙනවා නම්.."

0 Aug 14, 2018 09.56am Art

"අදටත් මට ආදරේ කරන අයට වඩා වෛර කරන අය වැඩියි...:

"මාව ළඟින්ම ආශ්‍රය කරන අය මාව කපලා තියෙනවා. මම ඒවාට සැලෙන්නෙ නැහැ.."

ආක්ෂා සුදාරි. මේ නම මතක් වුණු ගමන්ම බොහෝ දෙනෙකුට මතක් වෙන්නේ ඇයගේ විලාසිතායි. නිරන්තරයෙන් නොදැක්කත් කටකතා නිසාම ඇයගේ නම නිරන්තරයෙන්ම සමාජ ජාල මාධ්‍ය තුළ ගැවසෙනවා. ආදරේ ගැන නිර්මාණ ගැන ආක්ෂා කියන්නේ මෙහෙම කතාවක්.

* මොනවද අලුත් තොරතුරු?
හැමදාම වගේ සතුටින් හිනාවෙලා ඉන්නවා.

* කලා ක්ෂේත්‍රයේ පේන්න නැත්තේ ඈත්වෙලා නිසාද?
ආරාධනා ලැබෙනවා. මියුසික් වීඩියෝවලටත් ගොඩක් කතා කරනවා. ඒත් අද මියුසික් වීඩියෝ කරන්නේ මුදල් හම්බ කරන්න. ඒ අයට ඕන යූටියුබ් විව්ස් වැඩි කරගන්න. දැන් කතා කරන්නෙත් එකම වගේ චරිතවලට. හැමදාම එකම දේ කරන්න බැහැනේ. මොකද ලංකාවේ කරන සමහර වැඩවලට ඒ තරම් සතුටක් නැහැ.

*  පුංචි තිරයට, රිදී තිරයට ආරාධනා ලැබෙන්නෙ නැද්ද?
කාලයක ඉඳන් සම්බන්ධ නොවුණ නිසා මට ආරාධනා ලැබුණේ නැහැ. මගේ පුද්ගලික වැඩයි, ව්‍යාපාර වැඩයි එක්ක වෙලාව වෙන්කරන්න අමාරුයි. වැඩ කිහිපයකට කතා කළා. ඒත් මාව ළඟින්ම ආශ්‍රය කරන අය මාව කපලා තියෙනවා. මම ඒවාට සැලෙන්නෙ නැහැ. කලාවෙන් මම යැපෙන කෙනෙක් ‍නෙවෙයි. නමුත් මම කලාවට ගොඩක් ආදරෙයි. හොඳ දෙයක් ලැබුණොත් භාරගන්නවා.

* යාළුවෝ වගේ ඉන්න අයගෙන්ද ආක්ෂාට කැපිලි කෙටිලි තියෙන්නේ?
ඔව්. හැමෝම මූණට ඉස්සරහට ඇවිත් මාත් එක්ක කතා කරනවා. ඒත් පස්සට ගිහින් කියනවා අ‍පෝ මෙයාව ගන්න එපා, මෙයා හරි නෑ කියලා. අඩුපාඩු කියලා මාව කපලා දාපු අවස්ථා තියෙනවා. මම ඒවට සැලෙන්නෙ නැහැ. හොඳ වැඩක් ආවොත් භාරගන්නවා. දැනට වැඩ කිහිපයකට කතා කරලා තියෙන්නේ. ඉදිරියේදී ඒවට සම්බන්ධ වෙන්න තීරණය කරලා තියෙන්නේ.

* වැඩි කාලයක් වෙන් කරන්නෙ ජිම් එකට කියන්නෙ ඇත්තද?
ඔව්. මගේ යාළුවා වගේ දැන් ජිම් එක. වැඩිපුර ජිම් එකට කාලය දීලා මම මගේ ඇඟ ගැන හිතනවා. කෑම පාලනයත් කරනවා.

* මේ දවස්වල රූපයට වැඩි අවධානයක් දෙන්නේ ළඟදි විවාහ වෙන්න යන නිසාවත්ද?
මම හිතන්නේ හැමදේටම වඩා ශරීර සෞඛ්‍ය හොඳට තියෙන්න ඕන කියලා. එතකොට හැමදාම ලස්සනට ඉන්න පුළුවන්.

* රියැලිටි තරගවලට ආරාධනා ලැබුණේ නැද්ද?
ලැබුණා, ඒත් සහභාගි වෙන්න බැරිවුණා මගේ පාට්නර්ගේ ගැටලු කිහිපයක් නිසා. එයාට වෙලාව නැතිකම නිසා තමයි සහභාගි වෙන්න බැරිවුණේ. ඉස්සරහට අලුත් වැඩකට සහභාගි වේවි.

* ආක්ෂාට මාධ්‍ය අකැප නිසාද මාධ්‍ය මගහරින්නේ?
එහෙම දෙයක් නම් නැහැ. මම නිතරම සමාජ මාධ්‍යයත් එක්ක ගැවසෙන්නේ. මට කැමති අය, මට ආදරය කරන අය, මට අකමැති අය මගේ ඕපාදූප හොයනවා.

* ජීවිතේ ආපස්සට හැරිලා බලද්දි මොකද හිතෙන්නේ?
සමහර දේවල් නොකරපු එක ගැන දුක් වෙනවා. අනිත් දේවල් ගැන මට සතුටුයි. මොකද මම නිදහසේ ඉන්න ගෑනු ළමයෙක්. මම ජීවිතේ හැම දෙයක්ම තනියම කරපු කෙනෙක්. අදටත් මට ආදරේ කරන අයට වඩා වෛර කරන අය වැඩියි. එහෙම අය හිටියම ජීවිතේ එන්ජෝයි කරන්න පුළුවන්.

* ජීවිතේ මගහැරුණු දේවල් ගැන පසුතැවෙනවාද?
ඒවා හදාගෙන ඉස්සරහට යන එකයි මම කරන්නේ. කවදාවත් මගහැරුණු දේවල් ගැන මම පසුතැවෙන්නේ නැහැ.

* ජීවිතේ ගැන කලකිරීමක් තියෙන නිසාද තවම තනිකඩ ජීවිතයක් ගත කරන්නේ?
එහෙම කලකිරීමක් නැහැ. ආදරය කරන්න ගොඩක් අය මුණගැහිලා තියෙනවා. මම විවාහ වෙන්න කැමති නැහැ. අද කා‍ලේ විවාහය කියන දේ විලාසිතාවක් කරගෙන. අපේ අම්මලා, තාත්තලාගේ කා‍ලේ පවුල් ජීවිතය කියන්නේ වටින දෙයක්. මම එහෙම වෙන්න ආසයි. දැනුත් එහෙම ඉන්නවා. හැබැයි එහෙම ඉන්න ප්‍රමාණය අඩුයි. ගොඩක් අය විවාහ වෙලා ඉක්මනින්ම ඩිවෝස් වෙනවා. ලෝකෙට පේන්න විවාහ වෙලා සතුටින් ඉන්නවා කියලා පෙන්වන්න මම කැමැති නැහැ. ඒක නිසා මම දැන්ම විවාහ වෙන්න කැමැති නැහැ.

* ආක්ෂා කැමති හැමදාම තනියම ඉන්නද?
ඒක කියන්න බැහැ. ෙදෙවයේ තිබුණොත් මම විවාහ වේවි. නැත්නම් මම හැමදාම තනියම ඉඳීවි.

* ජීවිතේ ගැන හීන දකිනවාද?
ඔව්. මම හැමදාම හීනත් එක්ක ජීවත් වෙන කෙනෙක්. මම ප්‍රාර්ථනා කරලා ඉල්ලන දේවල් මට ලැබිලා තියෙනවා. තව එහෙම හීන දෙකක්  තියෙනවා ඒ ගැන ඉස්සරහට කියන්නම්.

* ආදරය ගැන මොකද හිතන්නේ?
මම නම් කියන්නේ ආදරේ බොරුවක් කියලා. ඒ නිසා මම තනිකඩව සතුටින් ජීවත් වෙනවා. ආදරය අද විහිළුවක්, රැවටීමක් වෙලා තියෙන නිසා තේරුම් ගන්න අමාරුයි. ඇත්තටම මම කැමැති ආදරේට වඩා සල්ලි තියෙනවා නම් විතරයි. මොකද සල්ලි තියෙනවා නම් ආදරය විතරක් ‍නෙවෙයි හැමදේම ගන්න පුළුවන්.


((under the courtesy of hirutv.lk blog web) )

පුවත්

Recent Post