සම්මානය පිටුපස බොහෝ පිරිසක් සිටිනවා ‘හිරු‘ ජනප්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර්

0 Nov 05, 2018 10.47am Art

Hiru golden film awards 2018 උලෙළේ වසරේ ජනප්‍රිය රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවේ පූජා උමාශංකර්ය. ඒ ‘සරිගම‘ චිත්‍රපටයට කළ රංගනය වෙනුවෙනි. මෙවර රසඳුන තුන්වැනි පිටුව හැඩ වන්නේ ඒ කතාබහෙනි.

 හිරු සම්මාන උලෙළේ ජනප්‍රිය නිළිය ඔබයි...

ඔව්.

මොකද හිතෙන්නෙ ඒ ගැන..

මට මේ සම්මානය ගැන හිතාගන්න බෑ. සම්මානය ලබාගත් අවස්ථාවේ කොතරම් සිංහලෙන් කතාකරන්න උත්සාහ ගත්තත් වචන ආවේ ඉංග්‍රීසියෙන්. ඒ තරමට මම ව්‍යාකූල වෙලා සිටියේ. ච

න්න පෙරේරා අයියා, චන්න විජේවර්ධන, සෝමරත්න දිසානායක, උදයකාන්ත වර්ණසූරිය, ඇතුළු ප්‍රවීණයන් රැසක් සිටිනවා මේ සම්මානය පිටුපස. ඔවුන් නොහිටින්න අද මම ලාංකික සිනමාවේ නැහැ.

එම නිසා ඔවුන් සියලු දෙනාවම සිහිපත් කරනවා. ඒ වගේම ‍මේ සම්මානය මට ලබා දුන්නේ මේ රටේ රසික ජනතාවයි. ඔවුන්ටත් ස්තුති කරනවා.

මේ වසරට සම්මාන දෙකයි..

හොඳම නිළිය සහ ජනප්‍රිය නිළිය සම්මාන දෙකම ලැබුණා. ඒ ගැන සතුටුයි.

කියමුද බලන්න ‍ඒ ගැන ..

හොඳම නිළිය සම්මානය ලැබුණේ සරසවිය සම්මාන උලෙළේදි. 2016 වසරේ තිරගත වු 'සරිගම' චිත්‍රපටයට කළ රංගනය වෙනුවෙන්. ජනප්‍රිය නිළිය සම්මානය ලැබුණේ හිරු සම්මාන උලෙළේදි 'සරිගම 'චිත්‍රපටයට කළ රංගනය වෙනුවෙන්.

ජනප්‍රිය නිළිය වන්නෙත් 'සරිගම' චිත්‍රපටයට කළ රංගනය වෙනුවෙන්..

ඔව්. බලන්න එකම චිත්‍රපටයට දෙවිදිහක ඇගයීමක්. හොඳම නිළිය වීම මට සුවිශේෂී වූයේ ලංකාවේ දක්ෂ රංගන ශිල්පිනියන් රාශියක් අතරින් තේරුණු නිසා.

නමුත් මෙවර ලැබුණු ජනප්‍රිය රංගන ශිල්පිනිය සම්මානය ලැබෙන්නේ ප්‍රේක්ෂකයන්ගේ ආදරයෙන්. මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට ස්තූතිවන්ත වනවා මාව ජනප්‍රිය කිරුළට ඔසවා තැබීම ගැන.

පූජා දැන් ලාංකික නිළියන්ට වඩා ජනප්‍රියයි..

මම මුලින්ම ක්ෂේත්‍රයට එන විට ලංකාවේ කිසි කෙනෙක් මම ගැන දැනගෙන සිටියේ නෑ.

මම ඉපදුණේ ‍ලංකාවේ සොයිසා රෝහලේ. මගේ උප්පැන්න සහතිකේ ලියලා තියෙන්නේ සිංහලෙන්. දැන් ක්ෂේත්‍රයට ඇවිත් අවුරුදු දොළහයි. ඒ අවුරුදු දොළහටම රඟපා තිබෙන්නේ චිත්‍රපට හතක පමණයි. ඒ චිත්‍රපට හත මේ රටේ ජනතාව ආදරයෙන් වැලඳගත්තා.

ඒ නිසයි මම දැන් ලාංකික නිළියක් වගේම ජනප්‍රියයි. කොහොමත් මම දැන් ලාංකිකයි. ලංකාවේ රසික රසිකාවියන්ට මම ගොඩක් ආදරෙයි. මට දැනෙනවා ඔවුනුත් මට ආදරෙයි කියලා.

'සරිගම' මරියා තුළින් අපි දැක්කේ පූජාගේ ඇතුළාන්තයද?

ඇත්තටම පූජා සහ මරියා සමාන චරිත. මරියා මෙන්ම මමත් කන්‍යාරාමයේ සිටින කාලයේ හරිම දඟකාරයි. දැනුත් එහෙමයි. දුවනවා, පනිනවා, බො‍රු කියනවා, එහෙ මෙහෙ යනවා. ඒ වගේම තමයි සරිගම හි මරියාත්.

ඇය මදර් සුපීරියර්ට බයයි. ඇයගේ දඬුවම්වලට ලක්වනවා. මගේ සාමාන්‍ය ස්වභාවයට සමාන චරිතයක් වූ නිසා තමයි මේ චරිතය මෙතරම් ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වුණේ.

ඉදිරි කලාකටයුතු මොනවාද..

මම කොහොමත් තෝරා බේරාගත් චරිත තමයි මේතාක් රඟපෑවේ. මේ වසරේ ලැබුණු සම්මාන දෙකම ‍මගේ කලාගමනට ශක්තියක් වුණා. ඒ නිසා ඉදිරියේදි ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හොඳ චරිත නිරූපණය කිරීමට බලාපොරොත්තු වෙනවා.

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post