උදුම්බරා වෙන්න පාර කැපුවේ සුසන්තිකා ජයසිංහ

0 Nov 03, 2018 10.49am Art

නදීශානි 'උදුම්බරා' නිසා රංගන ශිල්පිනියක් වෙලා. ඒ පටන් ගැන්මට පදනම වැටුණේ කොහොමද?

මම පුහුණුවීම් කරන අවස්ථාවක සුසන්තිකා ජයසිංහ මිස් මගෙන් ඇහුවා ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක් ඵනධපබඵ ථධමඪඥ එකක් කරනවා ඒකට සම්බන්ධ වෙන්න කැමැතිද කියලා. මම මිස්ට කිව්වා අම්මගෙනුයි තාත්තාගෙනුයි අහලා කියන්නම් කියලා. ඊට පස්සේ මම කැමැතියි කියලා කිව්වම චමන්ත් රාජ් අධ්‍යක්ෂවරයා ස්ක්‍රින් ටෙස්ට් එකක් කරලා මාව උදුම්බරාගේ චරිතයට තෝරාගත්තා.

නදීශානි කියන්නේ රංගනයට එන්න කැමැත්තෙන් හිටපු කෙනෙක්ද?

නැහැ. රංගනයට එන්න කියලා අදහසක් මට තිබුණේ නැහැ.

ලැබිච්ච පළමුවෙනි අවස්ථාව එක පයින් බාර ගත්තේ තමන්ගේ හැකියාව ගැන තක්සේරුවක් තිබිලද?

මට රඟපාන්න ලැජ්ජාවක් දැනුණේ නැහැ. පාසලේදී එක එක විශේෂ අවස්ථාවල පොඩි පොඩි රංගනයන් ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් මගේ රංගන හැකියාව ගැන මට ලොකු තක්සේරුවක් තිබ්බේ නැහැ. මේක ක්‍රීඩාව ගැන කියවෙන චිත්‍රපටයක් නිසා, මමත් ක්‍රීඩා කරන නිසා තව කෙනෙක්ට පෙලඹවීමක් ඇති කරන්න හිතාගෙන තමයි මම මේ චිත්‍රපටයට සම්බන්ධ වුණේ.

නදීශානි රංගනයට එනවට අම්මා තාත්තා මැළි වුණේ නැද්ද?

නැහැ. උදුම්බරා ක්‍රීඩාව ගැන කියවෙන චිත්‍රපටයක් නිසා එයාලා ඒකට කැමැති වුණා.

ඔබ රංගනයට ආධුනිකයි. ප්‍රවීණ පිරිසක් එක්ක තමයි ඔබට රංගනයට දායක වෙන්න ලැබුණේ. ඔවුන්ගෙන් ඔබට හොඳ සහායක් ලැබුණද?

මට රඟපාන්න අපහසු තැන්වලදී ප්‍රවීණ හැම දෙනාම මට ගොඩක් උදවු කළා. ජැක්සන් ඇන්තනි සර් එක්ක තමයි මට ගොඩක් රඟපාන්න ලැබුණේ. හැඟීම්බර විය යුතු අවස්ථාවලදී ඒ දේවල් කොහොමද කරන්නේ කියලා ඔහු මට කියලා දුන්නා. මට පුළුවන් විදියට ඒ රංගනයන් ඉදිරිපත් කළා. අඩුපාඩුත් තියෙන්න පුළුවන්.

රංගනයට එන්න කලින් ඒ ගැන හැදෑරිමක් කළාද?

අධ්‍යක්ෂවරයා මට කිව්වා අනෝජා වීරසිංහ මහත්මියගේ අභින වැඩසටහනට සම්බන්ධ වෙන්න කියලා. මම සතියක් විතර අනෝජා වීරසිංහ මහත්මිය ගාව පුහුණු වුණා. ඒ වගේම මාව ප්‍රසන්නජිත් සර් ළඟටත් යැව්වා. පුංචිම පුංචි කාලයක් ඒ වගේ හැදෑරීමක් කළා.

මේ චිත්‍රපටය නදීශානිගේ ජීවිතයට ලැබුණ හොඳ අවස්ථාවක් කියලා හිතනවද?

ඔව්. ලංකාවේ ගොඩක් රංගන ශිල්පිනියන් ඉන්නවා. එයාලා ගොඩක් දක්ෂයි. ඒ වගේම ක්‍රීඩා කරන අයත් ඉන්නවා. ඉතිං ඒ හැමෝම අතරින් මේ වගේ අවස්ථාවක් ලැබෙද්දි මට ගොඩක් සතුටුයි. මේක ජාතික අභිමානය ඉහළට ඔසවන චිත්‍රපටයක්. මේ වගේ දෙයක් බලලා තව කෙනෙක් ඉදිරියට යන්න දිරිගන්වන්න මට ලැබිච්ච අවස්ථාව ගොඩක් වටිනවා.

පළමුවැනි සිනමා අත්දැකීම එක්ක අමතක නොවන සිදුවීම් ඕන තරම් ඇති නේද?

ඔව්. මගේ පළමුවැනි රූගත කිරීම දවසේ ෂූට් කරන්න තිබ්බේ චිත්‍රපටයේ මැද තිබෙන කොටසක්. ඒකේ තිබ්බේ අනුග්‍රාහකයෙක් ඇවිත් මට අනුග්‍රහය දෙන්න කැමැති වෙන දර්ශනයක්. එතනදී මට තිබ්බේ ඒ ගැන සතුටු වෙන්න. ඒ වෙලාවේ ජයනි අක්කා 'අනේ මගේ කෙල්ල' කියලා මගේ මූණට ගහනවා. මම හිතුවේ නැහැ එහෙම ගහයි කියලා. මට ඒ වෙලාවේ රිදුණා. පස් හය වතාවක්ම ඒක ෂූට් කළා. ඒක ජයනි අක්කා කළේ ෂූට් එකට අවශ්‍ය නිසා. මට ඒක නුහුරු නිසා ඒ ගැහුව පාරවල් මට රිදුණා. ඒක නම් මට අමතක වෙන්නේ නැහැ.

උදුම්බරාට මහ පාරේ දුවන්නත් සිද්ධ වුණානේ. රංගනයට අලුත් ඔබට ඒ වගේ දෙයක් කරන්න පහසු වුණාද?

මම පුහුණුවීම් කළේ, දිව්වේ ග්‍රවුන්ඩ්වලනේ. හැබැයි මේ චිත්‍රපටයෙදි මට මහපාරේ දුවන්න වුණා. පිටකොටුවේ බස් නවත්තගෙන දුවන්න වුණා. සමහර තැන්වල වාහන අතරින් දුවන්න වුණා. එහෙම දුවද්දි නම් මට බය හිතුණා. ඒත් ඉතිං ඕන දෙයක් වුණාවේ කියලා මම උදුම්බරා වෙනුවෙන් මහපාරේ දිව්වා.

නදීශානි ක්‍රීඩාවේ දස්කම් දැක්වූ කෙනෙක්. ක්‍රීඩාවට යොමුවුණේ පොඩි කාලේ ඉඳලද?

මම ක්‍රීඩාවට කැමැතියි. වයස අවුරුදු එකොළහෙන් පහළ තමයි මම දුවන්න පටන් ගත්තේ. අවුරුදු දහහතෙන් පහළ තරග කරද්දි මම හොඳට දුවන්න හැකියාව වැඩි දියුණු කරගත්තා. ඊට පස්සේ තමයි මම කොළඹට ආවේ. මගේ පුහුණුකරුවෝ වුණේ සුනිල් ගුණවර්ධන සහ භද්‍ර ගුණවර්ධන.

නදීශානිට තවත් රංගන අවස්ථා ලැබුණොත් සම්බන්ධ වෙනවද?

උදුම්බරා වගේ හොඳ නිර්මාණයක් ලැබුණොත් සම්බන්ධ වෙනවා. මම දැනට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ තුන්වැනි වසරේ ඉගෙන ගන්නවා. ඉතිං ඒ වැඩත් එක්ක සමබරව කරගෙන යන්න පුළුවන් දෙයක් ලැබුණොත් මම ඒ නිර්මාණවලට සම්බන්ධ වෙයි.

අලුත් ආරාධනා ලැබුණේ නැද්ද?

මට තවත් චිත්‍රපටයකට කතා කළා. ඒකෙත් දුවන චරිතයක් මට කරන්න තියෙන්නේ. මම ඒක බලලා කියන්නම් කිව්වා. ඒකට තාම උත්තරයක් දුන්නේ නැහැ.

සිනමා නිර්මාණවලට විතරද නදීශානි සම්බන්ධ වෙන්න කැමැති?

ටෙලි නාට්‍ය වුණත් හොඳ අවස්ථාවක් නම් මම ඒ ගැන සලකා බලනවා.

නදීශානි අනාගතයේ ඉදිරියට යන්න මොන ක්ෂේත්‍රය තෝර ගනියිද?

මම මානව සම්පත් කළමනාකරණය පැත්තෙන් රැකියාවක් කරයි.

එතකොට ක්‍රීඩා හැකියාවට මොකද වෙන්නේ?

ලංකාවේ සමාගම් තියෙනවා අපේ ක්‍රීඩා හැකියාවන් ඉදිරියට ගෙනියන ගමන් රැකියාව කරන්න පුළුවන්. ඉතිං ඒ වගේ දේකදි මට මගේ හැකියාවත් ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙයි. පසුගිය කාලේ මගේ විශ්වවිද්‍යාල අධ්‍යාපන කටයුතු එක්ක ක්‍රීඩා පුහුණුවීම් කරන්න අතපසු වුණා. ඒත් ඉදිරියේදී මම පුහුණුවීම් නැවැත පටන් ගන්නවා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post