මම තවම ඉගෙන ගන්නවා

0 Aug 09, 2018 12.01pm Art

සම්මානනීය වේදිකා නිළියක වන මාධනී මල්වත්තගේ, පසු කලෙක සිනමාවට හා ටෙලි නාට්‍ය රංගනය වෙත ද යොමු වූවා ය. මේ දිනවල විකාශය වන 'දෝන කතිරිනා' ටෙලි නාට්‍යයේ කරල්ලියද්දේ බිසවගේ චරිතය නිරූපණය කරන ඇය අත්දැකීම් සපිරි නිළියකි.

 l ඔබ ඓතිහාසික චරිතවලට පුරුදුකාරියක්. මේ ගත වන්නේත් ඔබ ඓතිහාසික චරිතයකින් රසිකයන් දිනාගෙන සිටින කාලයක් නේද?

කුසුමාසන දේවී නොහොත් දෝන කතිරිනා කියන නාමය අපේ සිහල වංශ කතාවේ දීප්තිමත් නාමයක්. අපිත් පුංචි කාලෙ මේ චරිතය ගැන ඉගෙන ගත්තා. මේ ටෙලි නාට්‍ය පිටපත නිර්මාණය කරන්නෙ කේ. බී හේරත්. ඔහුම වේදිකා නාට්‍යයක් නිර්මාණය කළා දෝන කතිරිනා නමින්. මේ වේදිකා නාට්‍ය මම පුංචි කාලෙ බලලා තිබුණා. මගේ හිත ඇද බැඳගත් නාට්‍යයක් තමයි ඒක. කේ . බී හේරත් මහත්මයා තම නිර්මාණවලින් කතා කරන්නෙ කාන්තාව ගැනයි. ඔහුගේ හැම නිර්මාණයකම කාන්තාව තමයි ප්‍රබල චරිතය. ඔහු කාන්තාවට හිමි වියයුතු තැන ගැන කතා කරනවා. මේ කාරණාව ගැන කාන්තාවක් විදිහට මට තියෙන්නෙ විශේෂ කැමැත්තක්. මම පුංචි කාලයේ දෝන කතිරිනා නරඹා අත්විඳි ප්‍රහර්ශය, ඉතිහාසයේ ලියැවුණු දේ හා කාන්තා චරිතයක ප්‍රබලත්වය ඉදිරියට එන නිර්මාණයක් වීම කියන කරුණු එක්ක, මේ ටෙලි නාට්‍යයේ මා රඟපානවා. ඒකෙ චරිතයක් මටත් ලැබෙනවා කියලා දැනගත්තහම, මට ලොකු සතුටක් ඇතිවුණා . කේ. බී හේරත් මහත්මයගෙ නිර්මාණවලට මා මීට පෙර සම්බන්ධ වී තිබුණත්, ටිකිරි රත්නායක සමඟ වැඩ කරන්න ලැබුණු පළමු‍ අවස්ථාව මෙයයි. එයත් මට මෙහිදී විශේෂ වූණා.

 l කරල්ලියැද්දේ බිසවගේ චරිතයට ඔබ ලබන ප්‍රතිචාර පිළිබඳ සෑහීමකට පත් වෙනවද?

ප්‍රතිචාර ඉතාම ඉහළයි . මෙය ප්‍රබන්ධ කතාවක් නෙමෙයි. මේ අපේ ඉතිහාසය පිළිබද සත්‍ය පුවතයි . ඒ නිසා, පාසල් සිසුන්, ළමයින්, මවුපියන් මේ නාට්‍ය වැඩිපුර නරඹනවා කියලා මට දැනෙනවා. මම ද දෝන කතිරිනාගේ චරිතය රඟපාන්නෙ කියලා සමහරු විමසනවා. නාට්‍යයේ පුර්ව ප්‍රචාරක කටයුතු සඳහා රූප රාමු පෙන්වද්දි, බොහෝ දෙනා හිතලා තියෙන්නෙ මම දෝන කතිරිනාගේ චරිතය රඟපානවා කියලයි.

 l කරල්ලියැද්දේ බිසවගේ චරිතය නාට්‍යයේ කොතරම් දුරක් ගමන් කරනවද?

නාට්‍යයේ අතරමැදදී කරල්ලියැද්දේ රජුට හා බිසවට වසූරිය වැළඳෙනවා. එතැනදි රජතුමා හා බිසව එම රෝගයෙන් මිය යනවා. ඒ නිසා මේ චරිතය නාට්‍ය තුළ බොහෝ දුර යන්නෙ නැහැ.

 l ටෙලි හා සිනමා මාධ්‍ය තුළ කොතරම් ජනප්‍රිය වුණත්, ඔබ වේදිකාවට අයිති නිළියක්.ඒ පිළිබඳ කතා කළොත්?

මම කවදාවත් ජාතික තරුණ සේවා සභාව අමතක කරන්නෙ නැහැ. එතැනින් තමයි මට මගේ ප්‍රවිශ්ටය ලැබෙන්නෙ. ඒ හැරුණම ශ්‍රී ලංකාවේ ලියැවුණු කඩඉම් නාට්‍යවල චරිත නිරූපණය කරන්නන මට අවස්ථාව ලැබුණා. ඒක රංගවේදියකුට හෝ වේදිනියකට දුර්ලභ වාසනා ගුණය හා හැකියාවත් එක්ක ලැබෙන අවස්ථාවක්. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ, සිංහබාහු, දයානන්ද ගුණවර්ධයන්ගේ මධුර ජවනිකා, ආර් .ආර්. සමරකෝන්ගේ 'කැලණි පාලම' වගේ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණු නාට්‍යකරුවන්ගේ නාට්‍යවල ප්‍රධාන භූමිකා රඟ දක්වන්න මට අවස්ථාව ලැබුණා. ඒක මට ලැබුණ මහඟු අවස්ථාවක්. ඊට පස්සෙ දයානන්ද ගුණවර්ධනයන් ආරම්භ කළ වාර්තා රංගය ඉදිරියට ගෙනයන ජයලත් මනෝරත්න නිර්මාණවේදියාගේ නාට්‍යවලත් ප්‍රධාන චරිත මට ලැබිලා තියෙනවා. ඒ හැරුණහම ශ්‍රී ලංකාවේ ප්‍රවීණ තරුණ නාට්‍යකරුවන්ගෙ නිර්මාණවලටත් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.

 l ඒ කියන්නේ, ඔබගේ ඇල්ම වේදිකාවට කියන එකද?

මේ මාධ්‍ය තුන තුනක්.වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍ය ගත්තහම, මේ තුනෙහි මම දකින විදිහට සැබෑ වෙනසක් තියෙනවා. ඒ වෙනසට මම හරි කැමැතියි. ඒත්, මගේ ප්‍රවේශය වේදිකාව නිසාත්, තවමත් මම වේදිකාවේ රුඳිලා ඉන්න නිසාත්, මට රංගනය පිළිබඳ අභ්‍යාස කරන්න තියෙන හොඳ ම තැන වේදිකාව නිසාත්, මම වේදිකාවට වැඩි ඇල්මක් දක්වනවා.

 l වේදිකාව ඔබට එවන් ප්‍රතිලාභ තිළිණ කරද්දී, ටෙලි හා සිනමා නිර්මාණවලින් ඔබ ලබන දේ පිළිබඳ කතා කළොත්?

ශ්‍රී ලංකාවේ රංගනය කියන එකට වෘත්තීම මට්ටමක් හැදිලා නැහැ. නළු නිළියන් විදිහට අපිට ආර්ථික වශයෙන් යම් ලාබයක් උපයාගත හැකි තැන විදිහට සිනමාව හා ටෙලි මාධ්‍ය හඳුන්වනන් පුළුවන්. ඒත්, ටෙලි හා සිනමා නිර්මාවලට දායක වීමෙන් ආර්ථිකමය ලාබයක් තිබුණත්, මම ටෙලි හා සිනමා මාධ්‍ය තුළ හොඳ චරිත තෝරා ගන්න, අනිවාර්යෙන් වගබලා ගන්නවා. එක්කෝ එම නිර්මාණ නිර්මාණාත්මක පැත්තෙන් උසස් මට්ටමක තියෙන්න ඕනෑ. එහෙම නැතිනම්, හොඳ ආර්ථික ලාබයක් තියෙන්න ඕනෑ.

 l වේදිකාව කියන්නෙ රංගන ශිල්පීන්ට ආර්ථික වාසි හිඟ තැනක්ද?

ටෙලි හෝ සිනමා මාධ්‍යවල වගේ, වේදිකාව මඟින් අද වනතුරු ආර්ථික මට්ටම ඉහළ නංවා ගන්න බැහැ. වේදිකාවේ හොඳ නිර්මාණ බිහි වුණාට, එම නිර්මාණ රට පුරා ගෙනයෑමේදී, ලොකු මුදලක් දීලා ඒ නිර්මාණ අරගන්න කිසිවකු ඉදිරිපත් වෙන්නෙ නැහැ. ඒ නිසා මම පවසන ආර්ථික අර්බුදයට, අද වෙනතුරු වේදිකාව ගොදුරු වී තිබෙනවා. ඉහත මාධ්‍යවලින් ලබන තරම් ආර්ථික දියුණුවක් වේදිකා නිර්මාණයකට දායක වෙලා බලාපොරොත්තු වෙන්න බැහැ.

 l ඔබ රංගන දායකත්වය ලබාදෙන නවතම නිර්මාණ මොනවද?

ජයලත් මනෝරත්නගේ අලුත් ම නාට්‍ය 'වණ ලැහැබ' වේදිකා නාට්‍යයේ පුහුණුවීම්වල නිරතව සිටිනවා. මේ නාට්‍ය නිර්මාණය වෙන්නෙ ජපන් නාට්‍යකරුවකු වන අකිරා කුරසෝවාගේ 'රෂෝමන්' සහ 'වන ලැහැබ' කියන චිත්‍රපටයේ සහ නාට්‍යයේ එකතුවකිනුයි. මේ අවුරුද්ද අවසන් වෙන්න කලින් එම නිර්මාණය ප්‍රේක්ෂකයන්ට දැකගන්නට ලැබෙයි. ඒ හැරුණහම, කලක් නැවතිලා තිබුණු උදයසිරි වික්‍රමරත්නගෙ 'සුද්දෙක් ඔබ අමතයි' වේදිකා නාට්‍ය නැවතත් අලුත් විදිහට වේදිකාගත වෙනවා. විකාශය විමට නියමිත ටෙලි නාට්‍ය ගණනාවක්ම තියෙනවා. ඒ හැරුණහම, සුමිත් රත්නායකගේ රන් කොල්ලා, සුසිරන් ද සිල්වාගේ නවතම චිත්‍රපටය ඇතුළු චිත්‍රපට කිහිපයක් ඉදිරියේදි තිරගත වීමට නියමිතව තියෙනවා .

 l ඔබලාගේ පරපුරෙන් පසුව, රංගන ක්ෂේත්‍රයට දක්ෂතාවලින් පිරිපුන් රංගන ශිල්පිනියන් බිහි වීමේ සාපේක්ෂ අඩුවක් පවතිනවා නේද?

ඒකට, ක්ෂේත්‍රයේ සිටින හැම කෙනෙක්ම වග කියන්න ඕනැ. අපිට රංගනය හදාරන්න කියලා තැනක් නැහැ. මේ තුළ නිරත වීමෙන්ම තමයි අපි මේ දේ ඉගෙන ගන්නෙ. උදාහරණයක් ගත්තොත්, මම රංගනයට ඇවිත් වසර දහ අටක් වෙනවා . මම තවමත් ඉගෙන ගන්නවා. ඇයි නිර්මාණයක් නොකරන්නෙ කියලා ඇතැමුන් අහනවා. එතැනදී මම දෙන එක ම පිළිතුර , මම ඒ සඳහා තවමත් නිසි තැනක නැහැ කියන එක සහ මම තවමත් ඉගෙන ගන්නවා කියන එකයි. අලුත් පරරට පුදුම හදිස්සියක් තියෙන්නෙ. ඔවුන්ගේ ඉවසීම හරි ම අඩුයි. එක නිර්මාණයක දෙකක සම්බන්ධ වූ පමණින්, ඊ ළඟට ඔවුන් නිර්මාණ කරන්න යනවා. ඔය, ඉහත කාරණයට බලපාන එක පැත්තක් . අනෙක් කාරණය,රංගන හැකියා ගැන කිසි ම තැකීමක් නොකර, සමහරු රංගනයට එක්ක එනවා. ඔය හැම දෙයක්ම අසාර්ථක ශිල්පීන් බිහි වන්න හේතු වෙනවා.

 l වෘත්තීය මට්ටමක් නැති ක්ෂේත්‍රයක් වෘත්තීය කරගත් ඔබ, මේ තත්ත්වය නිවැරැදි කළයුතු තැන් ලෙස පෙන්වා දෙන්නේ?

බොලිවුඩ් , හොළිවුඩ් ගත්තහම, ඒ රටවල කලාකරුවන්ට මොන තරම් වටිනාකමක් ලැබිලා තියෙනවද? හැබැයි අපේ රටේ මේ තත්ත්වය හාත්පසින්ම වෙනස්. අපේ රටේ කලාවට මොන තරම් දීර්ඝ ඉතිහාසයක් තිබුණත් , මෙය වෘත්තියක් විදිහට ස්ථාපිත වන විදිහේ කරුණු කාරණා සකස් වෙලා නැහැ. මේ ගැන කතා කරද්දි, කලාකාරියක් විදිහට පෞද්ගලිකව මට මං ගැන ලොකු දුකක් ඇති වෙනවා. මේ කලාව තුළ තියෙන හැම දෙයක්ම ප්‍රමිතිගත වෙන්න ඕනෑ . නීති රීති හැදෙන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ මඟින්, අපිට මේකට හොද ප්‍රමිතියක් , වටිනාකමක් ඇති කර ගන්න පුළුවන්.

 l අපේ රටේ කලාකරුවන් වෙනුවෙන් කෙරෙන, කැපී පෙනෙන සම්මාන උළෙල කිහිපයක් තිබෙනවා. එම උළෙල පමණක් කලාකරුවන්ගේ ඉදිරි පැවැත්මට සෑහෙනවා කියලා ඔබ හිතනවද?

සම්මානයක් කියන්නෙ එක්තරා විදිහකට ඉදිරි ගමනට දිරිගැන්වීමක්. හොඳ නිර්මාණයකට සහභාගී වෙලා, ඒ කෙරෙහි ලැබෙන ඇගැයීමක් විදිහටනෙ අපි සම්මානය දකින්නෙ. හැබැයි කලාකරුවන් වයසට යනකොට, ඔවුන්ට නිර්මාණ කිරීමේ හැකියාවක් නැහැ. කාත් කවුරුවත් නැතිව, දු:ක්ඛිත තත්ත්වයකට පත්වෙලා ඔවුන් මිය යන්නෙ. ඒ වගේ ‍කලාකරුවන්ට, දු:ක්ඛිත තත්ත්වයකට පත් නොවී, අවසාන කාලයේ සැනසීමෙන් ගතකළ හැකි අරමුදලක් රජයේ මැදිහත් වීමෙන් හෝ පිහිටුවනවා නම්, එය වඩාත් වටිනවා කියලා මං හිතනවා.

 l කලාකාරිනියක ලෙස ඔබ හඳුනාගත් ඔබගේ වගකීම් මොනවද?

කලාකරුවාට නියමිත් වැඩ කොටසක් තියෙනවා. අනාගත පරපුර වෙනුවෙන් නිර්මාණ කිරීමයි වඩාත් වැදගත් වෙන්නෙ. පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා ළමයින්ගේ රස වින්දන මට්ටම ඉතා ම පහළ තලයක තියෙන්නෙ. දරුවන්ගේ රසිකත්වය මොට කිරීම සම්බන්ධයෙන්, ගෙදර අයගේ සිටම වගකිව යුතුයි. අනාගත දරු පරපුරෙහි වින්දන මට්ටම ඉහළ තලයකට ගෙනයා හැකි කැප කිරීම් කරන එක කලාකරුවාගේ වගකීමක්.

l කලාවට සමීප පවුලක සාමාජිකයන් අතරේ ජීවත් වීම, කලාකාරිනියක ලෙස ඔබට වැදගත් වුණේ කොහොමද?

බොහෝ වෙලාවට කලාවට සම්බන්ධ සාමාජිකයන් ජීවත් වෙන පවුලක සාමාජිකයකු වීම, මම ලබපු භාග්‍යක්. මුල ඉඳලම, ඒ කියන්නෙ මගේ තාත්තා කලාකරුවෙක් නොවුණට, ඔහු හොඳ සෞන්දර්යාත්මක වින්දනයක් තිබූ කෙනෙක්. මට මුල ඉඳලම තිබුණෙ කලාවට ලැදි පවුල් පරිසරයක්. මට ලැබුණ ඒ කලා පසුබිම, සාර්ථක ගමනක් යන්න මට පිටිවහලක් වුණා. කලාව මිනිසා සඳහාම වගේම, මම කලාව නිසා සතුටින් ජීවත් වෙන කෙනෙක්.

( උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post