නිතර දකින නළුවෙක්ට වඩා ඉඳහිට දකින නළුවෙක් වෙන්නයි කැමති

0 Aug 08, 2018 10.38am Art

කාලෙකට පසුව එක්වන නවතම රංගනය රැගත් “නීල පබළු” ගැන අපි මුලින්ම කතා කරමු ..
අපේ සාමාන්‍ය ජීවිතයට වඩා වෙනස් ගති ලක්ෂණ මතු කරන චරිතවලට මම ගොඩක් කැමතියි . නීල පබළු ටෙලි නාට්‍යයේ “ අභිමන් ” ගේ සමහර ගතිගුණ මට සමීපයි . මට වඩා හාත් පසින්ම වෙනස් ගති
ලක්ෂණත් මේ චරිතය තුළ තියෙනවා. මම මේ චරිතයට ගොඩක් කැමති ඒ හින්දයි . කාලෙකට පස්සේ හිතට දැනෙන චරිතයක් තුළින් ආයෙම රංගනයට එන්න ලැබිම සතුටක්. මේ වෙලාවේ මම ලලිත් වසන්ත , සඳුන් රාජකරුණා , සිරස ආයතනයේ බන්දුල යන අයට ස්තුති වන්ත වෙනවා.

සුමිරාන් රංගනයට එන්නේ වසර පහකට පස්සේ ..
මුලිනුත් කිව්වා වගේ මම කැමති වෙනස් විදියේ චරිත රඟපාන්න. එක දිගට අහිංසක පෙම්වතා වෙන එක මටම එපාවුණා. ඒ වගේම පහුගිය වසර කිහිපයේදී  මගේ ජීවිතේ ගොඩක් වෙනස්කම් සිදුවුණා. මේ සියලු හේතු හින්දා තමයි කාලයක් රංගනයෙන් දුරස්වෙලා හිටියේ.  

කැමතිද ජීවිතයේ සිදු වූ වෙනස්කම් ගැන කියන්න .. ?
මම ඒ කාලයේ වැඩි නැඹුරුවක් දැක්වූයේ මගේ ව්‍යාපාර කටයුතු දියුණු කරගන්න. දැන් මට ගාමන්ට් පැක්ට්‍රි එකක් තියෙනවා. ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ යම් ස්ථාවර මට්ටමක් ගොඩ නගා ගත්තට පස්සේ තමයි ආයෙම රංගනයට එන්නට හිතුවේ.

ඔය කාලයේ සුමිරාන්ගේ පෞද්ගලික ජීවිතයේත් ලොකු වෙනසක් වුණා නේද .. ?

මම පහුගිය වසරේ විවාහවුණා.

ඔබේ බිරිඳ පිළිිබඳව දැනගන්නත් ඔබේ රසික පිරිස කැමති වේවි  .... ?
  ඇය “නවෝද්‍යා ජයමාන්න” . අපි දෙන්නා පුංචි කා‍ලේ ඉඳන් හඳුනනවා.
අපි පවු‍ලේ හිතවත්තු. ඒත් අපි අතරේ තිබුණේ මිතුදමක් විතරයි. ඔය අතරේ අපි ට්‍රිප් එකක් ගියා. ඒ ගමනෙදී තමයි අපි අතර ප්‍රේම සම්බන්ධයක් ගොඩ නැගුණේ. අපේ සම්බන්ධයට දෙපාර්ශ්වයේම ආශිර්වාදය ලැබුණා. පහුගිය අවුරුද්දේ ජූලි 24 වැනිදා අපි විවාහ වුණා.

පුංචි තිරයෙන් දුරස් වෙලා හිටියට පහුගිය දවස්වල සුමිරාන් අන්තර්ජාලයේ නම් ජනප්‍රිය චරිතයක් වුණා නේද .. ?
පසුගිය දවස්වල මම මගේ බිරිඳත් එක්ක කරපු වීඩියෝවක් අන්තර්ජාලයේ සැරිසැරූ වීඩියෝවක් වුණා. සැමියෙකු විසින් විහාර මහා දේවී පාක් එකේදි බිරිඳව සප්‍රයිස්  කරන්න ඇය ළඟ දණගසා මුද්දක් දාන එම වීඩියෝවේ හිටියේ මමයි මගේ බිරිඳයි. වීඩියෝ එක නිසා බිරිඳටත් බොහෝ අවධානය යොමු වුණා.. එයාව රඟපාන්න එවන්නේ නැද්ද කියලා සමහරු ඇහුවා..

ඔබේ බිරිඳ ඉදිරියේදී රංගනයට පිවිසෙයිද ....?
නැහැ.. ඇය ඒ ගැන කැමැත්තක් නෑ..

රංගනයෙන් දුරස් වෙලා හිටිය සුමිරාන් “නීල පබළු” තුළින් යළි රංගනයට පිවිසුණා.. එතකොට ඔබේ නිවේදන භූමිකාව.. ?
මම “ස්වාධීන රූපවාහිනිය” තුළ තමයි නිවේදකයෙකු විදියට රැඳී හිටියේ.. දැන් මම එහි නැහැ.. ඉදිරියේදී මම “සිරස නාලිකාව“ ඔස්සේ ආයෙමත්  නිවේදනයට එනවා. ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී කියන්නම්.

“නීල පබළු” තුළින්  ආරම්භ කළ දෙවැනි ගමනේ ඊළඟ පියවර කුමක්ද..  ?
   දැනට “නීල පබළු”  හැර වෙනත් නාට්‍යය සඳහා දායක වුනේ නෑ.. “ නීල පබළු ” දීර්ඝ ටෙලි නාට්‍යයක්.. එය රඟපාන අතරේ තවත් වැඩ භාර ගන්න මම කැමති නැහැ.. නිතර දකින නළුවෙක් වෙනවට වඩා ඉඳහිට එන නළුවෙක් වෙන්නයි මම කැමති. අනෙක ව්‍යාපාර ක්ෂේත්‍රය තුළ මට කරන්නට දේවල් තියෙනවා. නළුවෙක් විදියටත් වැඩ වැඩි වුණොත්  ජීවිතයම ගොඩක් කාර්යබහුල වේවි ..

කෙටි කාලයක් තුළදී සුමිරාන් නළුවෙක් , නිවේදකයෙක් , ව්‍යාපාරිකයෙක් විදියට සාර්තකත්වයක් ගොඩ නගාගත්තා. පුද්ගලික ජීවිතය තුළත් ඔබ දැන් සැමියෙක්..මේ ජීවිතය තවත් සම්පූර්ණ වෙන්නේ පියෙකු වූ පසුව නේද.. ?
ඔව්.. ඒත් ඒ කාරණය ඉටු කරගන්න නම් තව ටිකක් කල් ගන්න වෙනවා. මගේ බිරිඳ මට වඩා අවුරුදු 9 ක් බාලයි. ඇයට තවම වයස අවුරුදු 21 යි . ඉතින් දැන්මම අම්මා කෙනෙක් විදියට වගකීම් ගොඩක් ඇයට දෙන්න මම කැමති නැහැ.. ඒ හින්දා තව ටික කාලයක් මේ විදියට ඉන්නවා....


( උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post