මම පොළොවේ පය ගහලා ඉන්න කොල්ලෙක් මම කලාකාරයෙක් නෙමෙයි 'යූ ටියුබර්' කෙනෙක්

0 Oct 22, 2018 01.34pm Art

සමාජජාල වෙබ් අඩවිවලින්, එහෙම නැත්නම් යූ ටියුබ් (You tube) තුළින් ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂක හිත් දිනාගත් චරිත සොයාගෙන යන ගමනේදි අපිට මෙවර මුණ ගැසුණේ අපූරු තරුණයෙක්. අනුෂ්ක උදාන ලියනගේ. හැබැයි ඒ නමට වඩා ‘වස්ති‘ කිව්වොත් නොදන්න කෙනෙක් නැහැ. ‘සම්ප්‍රදාය අතික්‍රමණය‘ කළ වස්තිට අපි කතා කළා. මේ දිනවල කාර්ය බහුල වුණත් අපි එක්ක දුරකතනයෙන් කතා කරන්න ඉඩ වෙන්කරලා දුන්නේ ඉතා නිහතමානීව. ඒ කතා කළ පුංචි වේලාව තුළ වුණත් ඉතා ළෙන්ගතුකමින් කතා කළ අනුෂ්ක උදාන ලියනගේ ‘වස්ති‘ රසඳුනට අපූරු කතා ගොඩක් කිව්වා. එලෙස ඔහු සමඟ කළ කතාබහයි මේ.

 රසිකයෝ ඔබව හඳුනන්නේ අනුෂ්ක උදාන ලියනගේ කිව්වොත්ද?, නැත්නම් ‘වස්ති‘ කිව්වොත්ද ?

අනුෂ්ක උදාන ලියනගේ කියන්නේ මගේ උප්පැන්නේ තියෙන නම. ඒ නමේ ඉස්සරහෙන් පස්සෙන් කිසි වෙනත් නමක් නැහැ තියෙන්නේ අනුෂ්ක උදාන ලියනගේ කියල විතරයි. නමුත් අද සමාජජාල වෙබ් අඩවි එහෙම නැත්නම් යූ ටියුබ් බලන අය දන්නේ ‘වස්ති‘ කිව්වම. එය මගේ බ්‍රෑන්ඩ් නේම් එකයි.

වස්ති පෞද්ගලික විස්තර කියන්න අකැමැති නැහැ නේ?

අපෝ නැහැ. මට හංගන්න කිසි දෙයක් නැහැ. මම පාසල් ගියේ වෙන්නප්පුව ජෝෂප් වාස් විද්‍යාලයට. පොඩි කාලේ ඉඳන් සංගීතයට පුදුම පිස්සුවක් තිබුණේ. හැබැයි මට සංගීතය දැනෙන්න ගත්තේ අට වසරේදී, නවය වසරේදී විතර. ඒ වුණාට පාසලේ සෞන්දර්ය විෂයට කළේ නාට්‍ය හා රංග කලාව. උසස් පෙළට කළේ ගණිතය විෂයන්. හැබැයි විභාගය අසමත්.

වස්ති සංගීතයට ආසයි, සෞන්දර්යට හදාරන්නේ නාට්‍ය හා රංග කලාව, උසස් පෙළට කරන්නේ ගණිතය. ඒ කියන්නේ පටන් ගත්ත තැනම එකිනෙකට නොගැළපෙන මොකක් හරි අවුලක් තියෙනව නේද?

ඇත්ත. මම පුංචි කාලේ ඉඳලා කළේ එකිනෙකට වෙනස් දේවල්. ඒ මගේ හැටි. අපේ පාසලේ සතියකට සැරයක් සාහිත්‍ය සමිතිය තිබෙනවා. එක සතියක සින්දුවක් කිව්වොත්, අනිත් සතියේ නාට්‍යයක් කරනවා. එහෙම වුණේ මම ඉදිරිපත්වීම්වලට බය නැති නිසා. සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙන ගනිද්දී උසස් පෙළ කලා උලළෙට මගේ යාළුවොත් එකතු කරගෙන නාට්‍යයක් කළා. මේ වෙන කොට මගේ තේමා පාඨයත් ‘සම්ප්‍රදාය අතික්‍රමණය‘ ඒ කියන්නේ පුංචි කාලේ ඉඳන් ඒ දේ මගේ ඇගේ තිබෙන්න ඇති. ඒකයි එහෙම වෙන්න ඇත්තේ.

ඔබ යූ ටියුබ් එකට යොමු වෙන්නේ කොහොමද?

මට ගිටාර් ගහන්න පුළුවන්. ඉතින් යාළුවන්ගේ පාටිවලදි මම ගිටාර් වාදනය කරමින් සින්දු කියනවා. හැබැයි සල්ලිවලට නෙවෙයි. ඔහොම යද්දි දවසක් මගේ මිත්‍රයෙක් කිව්වා සින්දුවක් කරලා චැනල්වලට දෙමු කියලා. ඉතින් මම සින්දුවක් කරලා චැනල්වලට ගියා. ඒත් ගිය වැඩේ කෙරුණේ නැහැ. අපේ රටේ එක්තරා ප්‍රසිද්ධ චැනල් එකකින් එය ප්‍රචාරය කරන්න ලක්ෂ තුනහමාරක් ඉල්ලුවා. ඒ කියන්නේ සල්ලි දීල තමයි අපි එය ප්‍රචාරය කරවගන්න ඕනේ. එදා තමයි මම තීරණයකට ආවේ මම මගේම දෙයක් කොහොම හරි කරනවා කියලා.

ඒ කියන්නේ ඔබ ඒ අභියෝගයට අභියෝග කළා?

මම ඒ කාලේ ප්‍රසිද්ධ සින්දු කිහිපයක කොටස් එකතු කරලා අමුතු ‘ජෝගියක්‘ හදා ෆේස් බුක් එකට දැම්මා. සතියක් යද්දි ලක්ෂ 05ක් නරඹලා. මම හිතුවේ නැති විදියට වැඩේ පත්තු වුණා. ඉන් පස්සේ මට යූ ටියුබ් එක ගැන දැන ගන්න ලැබුණා. යූ ටියුබ් චැනල් එකක් හදමු කියලා යාළුවෝ යෝජනා කළා. ඒ සඳහා නමක් දාද්දි අමර, සමන් වගේ නම් දාල හරියන්නේ නැති නිසා ‘වස්ති‘ කියන නම දැම්මා. අද වෙනකොට වස්ති නමින් මට ආයතනයක් පවා තිබෙනවා. මගේ ආයතනයේ වැටුපට වැඩ කරන පිරිසකුත් මේ වෙන කොට මට ඉන්නවා. මම කලාකාරයකුට වඩා යූ ටියුබර් කෙනෙක් කියල හඳුන්වනව නම් මම ගොඩක් කැමැතියි.

අද කාලේ ප්‍රහසන කරන ගොඩක් අය එක්කෝ කුණුහරුප, නැත්නම් ඩබල් මීනින් එන දේවල් කියල තමයි මිනිස්සු හිනස්සන්නේ කියලා චෝදනාවක් තිබෙනවා. වස්තිටත් ඒ චෝදනාව එල්ල වෙනවා නේද?

සමාජජාල බෙව් අඩවිවල ඉන්නේ ඊට ගැළපෙන අය. එහෙම නැති අය ආවම තමයි ඔය වගේ විකාර දේවල් කියන්නේ. අනික අපි මේ දේවල් බලෙන් පෙන්වන්නේ නැහැ. මිනිස්සු මේවා බලන්නේ තමන්ගේ දත්ත (Data) කපාගෙන. ඒ ඒදේවල්වලට තිබෙන කැමැත්ත නිසා. අකැමැති එක්කෙනෙක් දෙන්නෙක් බැලුවොත් තමයි ඔහොම කියන්නේ. කතාවක් තියෙනවනේ රෝමේ ගියොත් රෝමානුවෙක් වගේ ඉන්න ඕනේ කියලා. කවුරු මොනව කිව්වත් බහුතරයක් මිනිස්සු ඉල්ලන දේ තමයි අපි කරන්නේ. අද සමහර චැනල්වලට ආයතනවලට තිබෙනවා යූ ටියුබ් චැනල්. ඒවයි මොනවද තියෙන්නේ. ඒ අය යැපෙන්නේ මොන වගේ දේවල්වලින්ද බලන්න. එක්කෝ කෑම හදන එකක්, මනාලියන්ට අන්දන එකක්, වෛද්‍ය වැඩසටහනක්. ඒ එකක්වත් ඒ අයගේ නෙවෙයි. එහෙම දාලත් කීයෙන් කී දෙනාද බලන්නේ. මම කරන්නේ විනෝදාස්වාදය දෙන ඒව විතරයි. එක් දෙයක් කියන්නම්. මම අම්මා කියලා වීඩීයෝ එකක් දැම්මා. ඒක නරඹපු සංඛ්‍යාව අඩුයි. ඊට පස්සේ වෙන එකක් දැම්මා. ඒක ලක්ෂ ගණනක් බැලුවා. හරි විදියට නම් අම්මා කියල දාපු වීඩීයෝ එක නරඹන සංඛ්‍යාව වැඩි වෙන්න ඕන. ඒ වුණාට ඒ දේ නෙවෙයි වුණේ. ඒකෙන්ම තේරෙනව නේ අපේ රටේ මිනිස්සු ඉල්ලන්නේ මොනවද කියන එක.

මේ වෙනකොට වීඩියෝ කොපමණ යූ ටියුබ්වලට දාල තිබෙනවද?

හතළිහක් දාල තිබෙනවා. එකිනෙකට වෙනස් දේවල් දාල තිබෙන්නේ. ඒ හැම එකටම හොඳ ප්‍රතිචාර තිබෙනවා.

කුමන වයස් ප්‍රමාණවල අයද වස්ති නරඹන්නේ?

වයස අවුරුදු 18 ත් 30 ත් වයසවල අය බලනවා වැඩියි. හැබැයි ඒ අය විතරක් නෙවෙයි අවුරුදු 12 වැඩි සියලු දෙනා ඒ කියන්නේ ගැහැනු, පිරිමි හැම කෙනොම බලනවා. මම කතෝලිකයෙක් වුණාට සර්ව ආගම් අනුවයි වැඩ කරන්නේ. ඒ නිසා ජාතික ආගම්, කුලමල භේදයකින් තොරව හැම කෙනාම මගේ වීඩියෝ බලනවා.

වස්තිගේ ගතිගුණමද අනුෂ්කට තියෙන්නෙත්?

වස්ති දිහා බලලා අනුෂ්ක ගැන හිතන්න එපා. මම ඇසුරු කරපු නැති අය ඕන තරම් කතා කියාවි. විවිධ දේ කියාවි. පිටතින් ඉඳන් කවුරු මොන චරිත සහතිකය දුන්නත් මට වැඩක් නැහැ. හැබැයි මම ඇසුරු කරපු අය දන්නවා අනුෂ්ක කියන්නේ කවුද කියලා. මමත් අනිත් කොල්ලෝ වගේ පොළොවේ පය ගහලා ඇවිදින කොල්ලෙක්. එහෙම නැතුව ඇඳගත්ත චරිතයක් නෙවෙයි.

මුලින් සින්දුවක් අරන් ගියාම ගණන් නොගත්ත අයගේ අද වෙන කොට ප්‍රතිචාර කොහොමද?

ඇත්තම කියනව නම් අද ගොඩක් අය මගේ පස්සෙන් එනවා. මගේ නිර්මාණ ඉල්ලනවා. විවිධ වැඩසටහන් කරන්න එන්න කියලා ආරාධනා කරනවා. එදා තඹ සතයක් නොදුන්න අය ලක්ෂ ගණන් දෙන්න එනවා. මම ගැන දාගන්න දවස් ගණන් මාධ්‍ය පස්සේ ගියා. ඒ ගිහිල්ලත් දාගන්න බැරි වුණා. අද ඒ අය කතා කරලා ප්‍රචාරය දෙනවා. මම දෙවියන්ගෙන් ඉල්ලුවේ මට යම් දෙයක් සමාජගත කරන්න ඉඩක් දෙන්න කියලා. අද ඒ දේ ලැබිලා තිබෙනවා. ඒ දේ පවත්වාගෙන යෑම තිබෙන්නෙත් මගේ අතේමයි. මම එය තේරුම් ගෙනයි වැඩ කරන්නේ.

ගෙදරින් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

මුලින් නම් ගෙදරින් විරුද්ධ වුණා. රස්සාවක් කරන්න කියලා බර බරේ දැම්මා. පස්සේ පස්සේ ගෙදරට තේරුණා මම වැරදි දෙයක් නෙවෙයි කරන්නේ කියළා. දැන් අපේ අම්මා යූ ටියුබ් ගිහින් මගේ වීඩියෝ බලනවා. සමහර වෙලාවට එම වීඩියෝ නරඹපු සංඛ්‍යාව ගැන මට කියන්නේ අම්මා. අර වීඩියෝ එක මෙච්චර බලලා තියෙනවා. දැන් එක ඒ තරම් බලලා නැහැ. ඒ ඇයි කියලා. ඇයයි දැන් මගේ හොඳම නරඹන්නා.

වස්ති විවාහ ‍ෙවලාද? එහෙම නැත්නම් පෙම්වතියක් ඉන්නවද?

මුල්ම ප්‍රශ්නෙට උත්තරේ විවාහ වෙලා නැහැ. දෙවැනි ප්‍රශ්නේට උත්තරේ මට පෙම්වතියක් නැහැ. හැබැයි ගොඩක් අයගෙන් ඉල්ලීම් තිබෙනවා. වෙනද නොබලපු අය අද මට කතා කරනවා. කමෙන්ට් දානවා. විවාහ කියන්නේ මනුස්සයකුට ජීවිත කාලයේ කොයිම මොහොතක හරි විඳින්න ලැබෙන ස්වාභාවික විපතක්. ඒ ස්වාභාවික විපත කොයි කාලෙක හරි වෙයි. ඒක හදිසි අනතුරක් කරගන්නේ නැහැ කොයිම වෙලාවකවත්. ඒක අද හෙට නම් සිද්ධ වෙන්නේ නැහැ.

අවසාන වශයෙන් කියන්න, අනාගත බලාපොරොත්තු මොනවද?

මියුසික්වලින් හොඳ දෙයක් කිරීම වගේම ෆිල්ම් එකක් නිෂ්පාදනය කිරීම තමයි මීළඟ අරමුණ. තව අවුරුදු දෙකක් යද්දි අනිවාර්යෙන්ම ෆිල්ම් එකක් කරනවා.


( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post