මුලින්ම කොල්ලෙක්‌ එක්‌ක යාළු වුණේ අවුරුදු 14 දී. එයා මට ලියුමක්‌ දුන්නා"

0 Jul 30, 2018 10.52am Art

"බොහොම දඟකාර චරිතයක්‌. කිසි කෙනෙකුට බය නෑ"
"පොතක්‌ ලියන්න තරම් ඇති. වැඩිපුරම කළේ ඒවා තමා"
"හොඳක්‌ අහන්න නම් ලැබුණේම නෑ ඒ කාලේ මට"

අනූෂා සොනාලි නම කිව්වම කවුරුත් දන්නෙ ජනප්‍රිය රංගන ශිල්පිණියක්වනේ. ඇය ටිකක් විතර දඟකාර චරිතයක්. ඒ වගේම ඇගේ රංගනයන් ගැන අදටත් රසිකයන් අතර කතාබහට ලක්කෙරෙනවා.

පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේද දස්කම් දැක්වූ ඇය රංගනයෙන් ඈත් වී විවේකී ජීවිතයක් මේ දිනවල ගතකරනවා.

බොහෝ දඟකාරකම් මැද යෞවනය ගෙවූ අනුෂා සොනාලි ගැටිස්සි කාලේ කළ කී දේ ගැන ජාතික පුවත්පතක සංවාදයකට එක්වෙමින් තොරතුරු පවසා තිබුණේ මේ ලෙසයි.

ගැටිස්‌සි කාලෙ?
බොහොම දඟකාර චරිතයක්‌. කිසි කෙනෙකුට බය නෑ. පාසලේ පළමුවැනි ශ්‍රේණියේ ඉඳලා උසස්‌ පෙළ පන්ති වෙනකම් අක්‌කල නංගිල වගේම ගුරුවරුත් හොඳට මාව අඳුනනවා. සොනාලි කියල තමයි හැමෝම කතා කළේ. ටියුෂන් ක්‌ලාස්‌වලට සහභාගි වුණ නිසා වෙනත් පාසල්වල ළමයි අතරත් මම දඟකාර චරිතයක්‌ විදියට ප්‍රසිද්ධ වෙලා හිටියා.

පාසල් අධ්‍යාපනය?
කළුතර බාලිකා මහා විද්‍යාලයේ තමයි ඉගෙන ගත්තේ. අධ්‍යාපන කටයුතුවලට දක්‍ෂ වුණාට වැඩි ඉඩක්‌ දුන්නෙ බාහිර ක්‍රියාකාරකම්වලට. නැටුම් තමයි ප්‍රියතම විෂය වුණේ. ඒ නිසා පාසලේ මම කැමතිම තැනත් ඩාන්සින් රූම් එක වුණා. විද්‍යාව, ගණිතය කියන විෂයන් උගන්වන පීරියඩ් කට්‌ කරපු වාර අනන්තයි.

කරපු දඟ වැඩ?
පොතක්‌ ලියන්න තරම් ඇති. වැඩිපුරම කළේ ඒවා තමා. ඒ නිසාම පුංචි අම්මා උදේ හවස මා පස්‌සෙන් ඉස්‌කෝලෙ ගාවට ආවා. හැමෝම විහිළු කරනව STF බොඩිගාඩ් එක්‌ක එනව කියල. දවල්ට පාසල ඇරුණම පුංචි ගේට්‌ එක ළඟ ඉන්දෙද්දී මම ළමයි අතරේ එයාට හොරෙන් එළියට ඇවිත් බස්‌ හෝල්ට්‌ එකට එනවා. ඉතින් හැමදාම රංඩු අපි දෙන්නා. බස්‌ එකේ යන්නෙ එන්නෙ හොරෙන්ම තමයි. කොන්දොස්‌තර සල්ලි ඉල්ලුවහම ඒ තරහට ඔහුව කේන්ති ගස්‌සන්න හෝල්ට්‌ එකෙන් හෝල්ට්‌ එකට බෙල් එක ගහනව කවුරු නොබැස්‌සත්.

කරපු හොඳ වැඩ?
කොච්චර දඟ වැඩ කළත් කාට හරි මගෙන් උදව්වක්‌ ඕන වුණාම මම ඒකට ඉදිරිපත් වෙන්නෙ දෙපාරක්‌ හිතුවේ නෑ. ඕනම දේකට සම්බන්ධ වෙනව. පාසලේ දහම් පාසලේ කෙරෙන වැඩවලට යාළුවොත් එක්‌ක එකතුවෙලා ලොකු සහයෝගයක්‌ දුන්නා.

පටබැඳුණු නම්?
කටකාර චරිතය වෙලා හිටපු හින්දද කොහෙද ඉස්‌කෝලෙදී මට කිසිම නමක්‌ පටබැඳුණේ නෑ. මේකී කෙල්ලෙක්‌ නෙමෙයි කොල්ලෙක්‌ කියලනම් කියනව. නම අනුෂා සොනාලි වුණාට ගෙදර අය මැණික්‌ කියල නමක්‌ දාගෙන තිබුණා. ඒ නමින් තමයි අපේ පවුල්වල අය අදටත් කතා කරන්නේ.

කල්ලි ගැහුනු තැන්?
කල්ලි ගැහුණේ පාසල ඇතුළෙම තමයි. අපේ ග්‍රවුන්ඩ් එක ළඟ තිබුණා ලොකු සියඹල ගහක්‌. ඒක යට හරිම හෙවනයි. ඉතින් ෆ්‍රී පීරියඩ් එකක්‌ ආපු ගමන් අපි එතනදී එකතු වෙලා කතා නොකරන දෙයක්‌ නෑ.

විලාසිතා?
විශේෂයක්‌ කරල කිසිම ඇඳුමක්‌ ඉල්ලල ගෙදරට කරදර කළේ නැහැ. ගවුම් ඇන්දෙ හරිම අඩුවෙන්. වැඩිපුරම ඇන්දෙ කොට කලිසම්. ජිම්නාස්‌ටික්‌ කරපු නිසා ඒක මට හරිම පහසු ඇඳුමක්‌ වුණා. කාලයක්‌ යද්දී ඉතින් මම නිකම්ම කලිසමට නැඹුරු වුණා.

යෙහෙළියෝ?
පන්තියේ එක පේලියේ මාත් එක්‌ක හිටපු නිරංජලයි නිශානියි තමයි හොඳම යාළුවො වෙලා හිටියේ. පානදුරේ ලලිත කලා ආයතනයේ නැටුම් ඉගෙන ගන්න ගියේ ආවේ නිරංජලා එක්‌කයි. ආෆ්ටර් ස්‌කූල් හිටියත් ක්‌ලාස්‌ ගියත් නිරංජලා තමයි මටත් එක්‌ක බත් ගේන්නේ. අද කොහේ ඉන්නවද කියල ආරංචියක්‌ නෑ.

පිරිමි ළමයින්ගේ ආශ්‍රය?
ජිම්නාස්‌ටික්‌ කරපු නිසා මට පිරිමි යාළුවෝ ටිකක්‌ හිටියා. ගෙවල් පැත්තෙ. ඒගොල්ලෝ ක්‍රිකට්‌ ගහද්දී අපි ගිහින් බලන් ඉන්නවා. දුවල පැනල ඉන්න නිසා මාව වැඩවලට ගන්නවා. හැබැයි බෝල අහුලන්න විතරයි.

තිබුණු බලාපොරොත්තු?
නටන්න තිබුණ ආසාවයි හැකියාවයි නිසා ඒ කාලේ මම නැටුම් ටීචර් කෙනෙක්‌ වෙනව කියල හිතාගෙන හිටියා. රඟපාන්න අවස්‌ථාව ලැබුණත් එක්‌කම තමයි මම හිතුවේ කවදාහරි රංගන ශිල්පිනියක්‌ වෙනව කියලා. ඉතින් මගේ ඒ බලාපොරොත්තුව ඉෂ්ට වුණා.

අහපු කයිකතන්දර?
කයි කතන්දර වැඩිපුරම ඇහුවේ ගෙදරින්. දවසේ පැය විසිහතරෙම මට දෝස්‌ මුරේ. මේකි හැදෙන්නෙ කොල්ලෙක්‌ වගේ. කොල්ලෙක්‌ම වුණානම් ඉවරයි පුදුම දාංගලයක්‌ තියෙන්නෙ. නැටිල්ල මිසක්‌ ගෙදර වැඩක්‌ කරන්නෙ නෑ වගේ නඩු ගොඩයි. හොඳක්‌ අහන්න නම් ලැබුණේම නෑ ඒ කාලේ මට.

සැබෑ නොවුණ හීන?
අද කාලේ තරුණ ළමයි වගේ ලොකු ලොකු හීන එක්‌ක අපි ජීවත් වුණේ නෑ. පාසල් ගියා ආවා. එවෙලෙට ඕන දේ කරා. සෙල්ලම් කරල බොහොම සැහැල්ලුවෙන් ජීවත් වුණා. නර්ථනයට රංගනයට තිබුණ හැකියාව නිසා තමයි රංගන ශිල්පිනියක්‌ වෙනව කියන සිහිනය වුණත් හිතට ආවේ. ඒක ඉතින් සැබෑ වුණා නේ. සැබෑ නොවුණ ඒව නෑ.

දුක හිතුණ අවස්‌ථා?
මම වොලිබෝල් ටීම් එකේ හොඳටම සෙල්ලම් කරපු ක්‍රීඩිකාවක්‌. දුවන්න පනින්න දඟලන්න කොහොමත් දක්‍ෂයිනේ. ඉතින් හොඳට පැක්‌ට්‍රිස්‌ කරනවා. ඒත් කොහේ හරි මැච් එකක්‌ තියෙන දවසට මට ඒකට යන්න දෙන්නෙ නෑ ආච්චි. මොකද මාව හැදුවේ ආච්චිනේ. ඒ හේතුව නිසාම මාව වොලිබෝල් ටීම් එකෙන් අයින් කළා. ඒ වෙලාවේ මට ලොකු දුකක්‌ ඇතිවුණා.

අමතක නොවන සිදුවීම්?
මුලින්ම කොල්ලෙක්‌ එක්‌ක යාළු වුණේ අවුරුදු 14 දී. එයා මට ලියුමක්‌ දුන්නා. මට ඒකට යාළුවෙක්‌ උත්තර ලියල දුන්නා. හවසට ඔහු අපේ ගේ ඉස්‌සරහින් යනවා. මම බලන් ඉන්නවා. ඔහොම තමයි ඒ කාලේ Love කිරිල්ල. ටික දවසක්‌ ගතවෙද්දී අපේම යාළුවෙක්‌ ගෙදරට ගින්න දීලා ගෙදර අය මා ගැන සෙවිල්ලෙන් ඉඳලා තියෙන්නෙ. මම ඕක දන්නේ නෑනේ. මේ ළමයා ඇවිත් අල්ලපු වත්තේ ගේට්‌ටුව ළඟ මා එක්‌ක කතා කර කර හිටියා. සිද්ධිය දැකල දර පොල්ලක්‌ අරගෙන ආපු ආච්චි මට එදා හොඳටම ගැහුවා. සති දෙකක්‌ ඉස්‌කොලෙ යෑව්වෙත් නෑ. ඒ සිද්ධියනම් මැරෙන තුරා මට අමතක වෙන්නෙ නෑ.

((under the courtesy of hirutv.lk blog web) )

පුවත්

Recent Post