මම රඟ­පාන්නේ තෝරා බේරා­ගත් චරිත

0 Jul 28, 2018 11.10am Art

මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ යශෝදරා සිනමා පටය මේ වනවිට අති සාර්ථක අන්දමින් දින සියය දක්වා ප්‍රදර්ශනය වෙමින් පවතී.එහි ඉතාමත් දක්ෂ රංගනයක නියැළෙන ප්‍රජාපතී තෙරණියගේ චරිතය නිරූපණය කරන සංගීතා තදානි බස්නායක' හිත පිරෙන හීන' විශේෂාංගයට එක්වූයේ මෙලෙසයි.

සංගීතා මේ දිනවල බෙහොම කතා බහට ලක්වෙනවා..

අනේ ඔව්. මම හිතන්නෙ යශෝදරා හි ප්‍රජාපතී තෙරණියගේ චරිතය නිරූපණය කරන නිසා වෙන්න ඇති. මටත් මග තොටේ යනකොට වෙනදාට වඩා රසිකයන්ගේ ප්‍රතිචාර ලැබෙනවා .

කොහොමද යශෝදරා චිත්‍රපටයට සම්බන්ධ වන්නේ..

සුනිල් සර් දවසක් මට කෝල් කරලා කීවා අලුතෙන් පිල්ම් එකක් කරනවා ඒකෙ චරිතයකට මාව තෝරාගත් නිසා ඇවිත් ඒ ගැන කතාකරන්න කියා. මම ගියාම තමයි කීවේ යශෝදරා චිත්‍රපටයේ ප්‍රජාපතී චරිතයට මාව සම්බන්ධකරගන්න අදහසක් තියෙනවා. ඔයාගෙ රූපය තමයි ඒකට හරියන්නේ කියලා. මම ඒ අවස්ථාවේ ඉතාම සතුටෙන් එම චරිතය භාර ගත්තා.

ඉන්දියානු රංගන ශිල්පිනියක සමග රඟපෑම පහසු වුණාද?

යශෝදරාට රඟ පෑ පල්ලවී සමග රංගනයේ යෙදීම අපහසු වුණේ නැහැ. මොකද මමත් ඉන්දියානුවෙක්. මගේ අම්මයි, තාත්තයි දෙදෙනාම ඉන්දියානු ජාතික හින්දි භාෂාව කතාකරන්නන්. මගේ මවු භාෂාව හින්දි. ඒ නිසා ඒක චිත්‍රපටයේදි රංගනයට පහසුවක් වුණා.

ඔබ හිතනවාද ප්‍රජාපතී තෙරණියගේ චරිතයට සාධාරණයක් කළා කියා.

මගේ රංගනය සාර්ථකයි කියා මම හිතනවා. සුනිල් සර් වැනි දැවැන්තයකු සමග වැඩකිරීමට ලැබීම වාසනාවක්. ඔහු අපේ හැකියාව හොඳින් චරිතවලට ඇද ගත්තා. මම හිතනවා මිනිසුන්ගේ හිත්වල ජීවත්වු ඒ ‍සුවිශේෂි ‍‍ඓතිහාසික චරිත අපෙන් නිරූපණය වුණා කියා.

ඉන්දියානු ජාතික ඔබ කොහොමද ලාංකිකයකු සමග විවාහ වෙන්නේ..

මගේ තාත්තා බිස්නස් සඳහා නිතරම ලංකාවට ආව ගියා. ඔහුත් සමග මමත් ලංකාවට ඇවිත් ලංකාවේදි ඉගෙන ගත්තා. එහිදී තමයි ප්‍රදීප් බස්නායක මගේ සැමියා හමුවන්නේ. ඔහු හොඳ රගර් ක්‍රිඩකයෙක්. ඔහු සමග විවාහ වුණාට පස්සේ තමයි මම සිංහල ඉගෙන ගන්නේ. කොහොමත් මට භාෂා ගණනක් පුළුවන්.

කලාවට සම්බන්ධ වන්නේ කොහොමද..?

විවාහ වී පුතාත් ලැබුණාට පසුවයි කලාවට සම්බන්ධ වන්නේ.ඒ දැනට අවුරුදු දො‍ළහකට කලින් ටිකිරි රත්නායකගේ 'දූ කුමරියෝ' ටෙලිනාට්‍යයෙන්. උදයකාන්ත වර්ණසූරියගේ 'රන් කෙවිට' දෙක චිත්‍රපටයෙන් සිනමාවට සම්බන්ධ වෙනවා. මේ වනවිට චිත්‍රපට අටක සහ ටෙලිනාට්‍ය හැත්තෑපහක පමණ රඟපා තිබෙනවා.

එදා ඉඳන් මේ දක්වා මවගේ චරිතය පමණයිද ඔබට ලැබුණේ..

මම හිතන්නේ අම්ම කෙනෙක් වෙලා කලාවට සම්බන්ධ වු නිසා වෙන්න ඇති අම්මාගේ චරිතයට ‍කොටුවුණේ. චාමර පීරිස්ගේ යාය හතර ටෙලිනාට්‍යයේ නම් පෙම්වතියගේ චරිතය කළා. කොහොමත් මම තෝරා බේරාගෙන තමයි රඟපාන්නේ.

ඉන්දියානු චිත්‍රපටයක‍ට ආරාධනා ලැබුණොත් භාර ගන්නවද..?

මම ලංකාවේ කලාවට එන්න හිතපු කෙනෙක් නෙමෙයි. අහම්බෙන් තමයි අවස්ථාව ලැබුණේ. ඒ වගේ ඉන්දියානු සිනමාවටත් ආරාධනා ලැබුණොත් භාර ගන්නවා.

මොනවද ඉදිරියේදි එන්න තිබෙන නිර්මාණ..

මේ දිනවල විකාශය කෙරෙන දෙවෙනි ඉනිමේ බෝඩිමේ ආන්ටිට හොඳ ප්‍රතිචාර ලැබෙනවා. එයට අමතරව උදුම්බරා කියල චිත්‍රපටයක රඟපෑවා. ඒකෙ ජැක්සන් ඇන්තනීගෙ වයිෆ්ගේ චරිතය කළේ. එයට අමතරව තවත් වැඩ කිහිපයක් භාරගත්තා. ඒවා ඉදිරියේදි දකින්න ලැබෙයි.

මොනව ගැනද සංගීතා හීන දකින්නේ..

මම දැනටත් ගුරුවරියක ලෙස වැඩ කරනවා. පුතා ජයගිත්ගේ අනාගතය ගැන ඇරෙන්නට විශේෂ හීන මගේ ජීවිතේ නෑ. 

( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post