පුතා සංගීතය ඉගෙන ගත්තේ මගෙන් නෙමෙයි ප්‍රවීණ ගායක - කීර්ති පැස්කුවෙල්

0 Jun 12, 2018 10.23am Art

මෙවර සඳවට රන්තරු විශේෂාංගය සරසන්නේ අපේ රටේ ප්‍රවීණ ගායක කීර්ති පැස්කුවෙල් සහ ඔහුගේ පුත් කසුන් පැස්කුවෙල්. කීර්ති පැස්කුවෙල් යනු අපේ රටේ ගායක ගායිකාවන් වෙනුවෙන් පෙනී සිටින චරිතයක් මෙන්ම දශක ගණනාවක් තිස්සේ රසික රසිකාවියන්ගේ සිත් බැඳගත් සිහින තරුවක්.කීර්තිගේ රුව මෙන්ම ගුණයෙන්ද පිරිපුන් ඔහුගේ පුත් කසුන්ද අද ගායන ලොවේ තරුණ තරුණියන්ගේ ආකර්ශනය දිනු ගායකයෙක්. ඒ නිසාම අද මොවුන් දෙදෙනා කලාවේ කාර්ය බහුල චරිත බවට පත්වෙලා.

 ඉතින් කොහොමද.. ඔබ මොනවද මේ දවස්වල අලුතෙන් කළ නිර්මාණ..

හොඳින් ඉන්නවා. මේ දවස්වල අලුතෙන් නිර්මාණ කිහිපයක්ම කළා.එයින් එක් ගීතයකට විෂුවල් කරන්න සැලසුම්කරගෙන ඉන්නවා.

කැමැතියිද එම ගීතයේ පදවැල් ටිකක් කියන්න..
හිත කොහෙදෝ ගිහින්
නැවතුණා ඔබ ළඟින්
මට හිතාගන්න බෑ
තවමත් ආදරේ තරම්..
හිත කොහේදෝ ගිහින්
ආදරේ මගෙ අරන්
නුඹ කොහේදෝ ගිහින්
හිත හොරකම් කරන්..

ගීතයේ පද සමන් දිසානායක, සංගීතවත් කළේ සඳරුවන් ජයසිංහ.මෙම ගීතය පටිගතකර ඉවර නිසා ළඟදීම ආදරණීය රසික රසිකාවියන්ට විෂුවල් එක්කම අසන්නට සහ බලන්නට ලැබෙයි.

ඔබ මේ දිනවල තවත් වැඩකට සැරසෙනවා කියල ආරංචියි..

ඔව්. ගායක ගායිකා සංගමයේ සභාපති ලෙස කලා ක්ෂේත්‍රයේ බොහෝ වගකීම් මට පැවරී තියෙනවා.ඇතැම් වයෝවෘද්ධ තත්ත්වයට පත්වු ගායක ගායිකාවන්ගේ සුබ සිද්ධිය සඳහා අප සංගමයෙන් විවිධ වැඩසටහන් කරනවා.ඒ අනුව මේ මස 17දින ජයලත් මනෝරත්න මහතාගේ 'හඬ නිහඬ' වේදිකා නාට්‍ය සවස 3.30ට සහ 6.30 ලයනල් වෙන්ට්ඩ් හිදී ප්‍රදර්ශනය කරන්නෙත් එවැනි අරමුණෙන්.ඒ නිසයි මේ දිනවල ටිකක් කාර්ය බහුල.

ඔබ කලාවේ වගකීම් දරන ප්‍රවීණයෙක් විදිහට නවක ගායක ගායිකාවන් ගැන මොනවගේ හැඟීමක්ද තියෙන්නේ..

මම කලාවට සම්බන්ධවෙලා දැන් වසර හතළිස් දෙකක්. නවකයින්ගේ හැකියාව ගැන අගය කරනවා. ඔවුන්ට හොඳ සංගීත දැනුමක් තියෙනවා. ගායනයට, වාදනයට, මෙන්ම තනු නිර්මාණය පිළිබඳවත්.අපේ කාලයේ සිටි බොහෝ ගායක, ගායිකාවන්ට ගීත ගැයීමට පුළුවන් වුණාට සංගීතය පිළිබඳව තිබු දැනුම ප්‍රමාණවත් නැහැ. නමුත් නවකයන් ඒ සියල්ලගෙන්ම සන්නද්ද වෙලා තමයි කලාවට පිවිසෙන්නේ. ඒ ගැන සතුටුයි.

එහෙත් ඇතැම් ප්‍රවීණයන් නවකයන් ගැන කතා කරන්නේ අප්‍රසාදයෙන්..

මටනම් එහෙම කවදාවත් හිතිලා නැහැ. මමත් කලාවට සම්බන්ධ වුයේ ගිටාර් වාදන ශිල්පියෙක් ලෙස. ලොකු කට්ටක් කාලයි මේ දක්වා මේ ගමන පැමිණියේ. දැනට ගීත හත්සිය පණහක් විතර ගායනා කර තිබෙනවා.නවකයින් සහභාගිවන රියැලිටි වැඩසටහන්වලටත් සහභාගිවනවා. නවකයන්ව ළඟින්ම ඇසුරුකරන ගායන ශිල්පියෙක් ලෙස කවදාවත් ඒ අයගේ නරකක් මම නම් දැක නැහැ. නමුත් අපෙනුත් ඒ අයට කෙරෙන්න ඕන කාර්යයක් තියෙනවා. ඒ තමයි ඔවුන්ව හරි මඟ යවන එක. එයට මාධ්‍යයන්හීත් වගකීමක් තියෙනවා. ඒ නවකයන්ගේ නීරස නිර්මාණවලට ප්‍රසිද්ධිය ලබානොදී හොඳ නිර්මාණවලට හොඳ තැනක් ලබාදීමට.

ඔබගේ පුතා කසුන් කලාවට සම්බන්ධයි..

පුතා පොඩිකාලෙ සිටම ගීත ගායනාකළා. ඔහු මගෙන් සංගීතය ඉගෙන ගත්තේ බොහොම අඩුවෙන්. පුංචි කාලෙ සිටම ගෙදර තිබෙන සංගීත පරිසරය නිසා ගීත ගායනයට යොමු වුණා. තරුණවියට ආවට පස්සේ ස්වතන්ත්‍ර නිර්මාණ කිරීමටත් පෙළඹුණා. පුතාට තියෙන්නෙ මගේ හඬවත්, මගේ ගායන ශෛලියවත් නෙමෙයි. වෙනස්ම ඔහුටම ආවේණික ක්‍රමයක්.

ඔබ කැමැතියිද කසුන් කලාවට සම්බන්ධවීම ගැන..

අනිවාර්යයෙන්ම මම කැමතියි. ඒ නිසයි 2013දි කීර්ති ගී ප්‍රසංගයේදි පුතාව කලාවට හදුන්වා දුන්නේ. ඒ වගේම මගේ සියලුම ගීතවල අයිතියත් එයාට ලබාදුන්නා. මට සතුටුයි ඔහු මගේ නිර්මාණවල එල්බනොගෙන එයාගේ නිර්මාණවලින් කලාවේ නිරතවීම ගැන.

කලාවේ නිරත දෙමවුපියන්ගේ දරුවන් කලාවට සම්බන්ධවීම ගැන මොකද හිතෙන්නේ..

ඒක එදා ඉඳන්ම සිදුවන දෙයක්. ‍කොහොමත් දෙමවුපියන් යන පාරේ දරුවන් යනඑක සාමාන්‍ය දෙයක්. නමුත් මම පුතාට නිතරම කියන දෙයක් තමයි මට වඩා ඉහළට යන්න ඕනනම් එයාගේ දෙයක් කළයුතුයි කියන එක. නැතිනම් හැමදාමත් තාත්තාට වඩා පහළ තැනක තමයි පුතාට ඉන්න සිදුවන්නේ කියා. එහෙම සිටියහොත් හැමදාමත් දෙමවුපියන්ගේ නිර්මාණ විකුනගෙන කන දරුවන් බවට පත්වෙන්න සිදුවෙනවා.

 
තාත්තට වුවමනාවක් තිබුණෙ නැහැ මාව සංගීතයට යොමු කරන්න
 ජනප්‍රිය ගායක - කසුන් පැස්කුවෙල්

කසුන් කලාවෙන් ඈත් වෙලාවත්ද කියල බොහෝ අය විමසනවා..

අපෝ නැහැ. මම කලාවට ආදරෙයි. නමුත් මේ දිනවල රැකියාවේ තිබෙන කාර්යබහුල කමත් එක්ක පොඩ්ඩක් කලාවෙන් ඈත්වුණා.

ඔබ ගායකයෙක් වුණේ තාත්ත නිසාද..

මම සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ තාත්තගේ මාර්ගයෙන්. එහෙත් සංගීතය ඉගෙන ගත්තේ තාත්තගෙන් නෙමෙයි.

ඒ කියන්නෙ පාසලෙන් සංගීතය හැදෑරුවා කියන එකද..

මම පාසල් ගියේ ඩී.එස් සේනානායක විදුහලට. පාසලේදි සංගීතය හැදෑරුවේ නෑ. තාත්තට උවමනාවක් තිබුණෙත් නැහැ මාව සංගීතයට යොමු කරන්න. පාසල් ගිහින් අවසන් වුණාට පස්සේ ගිටාරය වාදනය කරන්න පුරුදුවුණා. ඒ කාලයේ තාත්ත ලංකාවේ හිටියෙත් නැහැ. මහේන්ද්‍ර බණ්ඩාර අයියගෙන් සහ මහේන්ද්‍ර පැස්කුවෙල් අයියගෙන් තමයි ගිටාර් වාදනය කරන්න පුරුදු පුහුණු වුණේ.

කසුන් ක්ෂේත්‍රයේ ළඟින්ම ඇසුරු කරන මිතුරන් ඇති නේද..

එහෙම ‍එක්කෙනෙක් කියා විශේෂයක් නැහැ. නවක ගායක ගායිකාවන් සියලු දෙනාවම ඇසුරුකරනවා.පසුගිය කාලයේ අපි සියලුදෙනාම එක්වී ප්‍රසංග කිහිපයක්ම කළා.

ඔබ ඒ අයගේ දකින විශේෂතා මොනවාද..

මම දකින විදිහට නවක ගායක ගායිකාවන් සියලුදෙනා ළඟම පාහේ විවිධ ශෛලීන් තියෙනවා.ඔවුන් හැමෝම දක්ෂයින්.අලුත් දෙයක් කරන්න උත්සාහ කරනවා.

ඔබේ පියා ප්‍රවීණ ගායකයෙක්වීම ක්ෂේත්‍රයේ රැඳෙන එක පහසුවක්ද?..

ඇත්තටම තාත්ත නිසා ක්ෂේත්‍රයට පිවිසීමත් රැඳී සිටීමත් දෙකටම පහසුවුණා. දැනටත් බොහෝ පිරිසක් මාව දන්නෙ කීර්තිගෙ පුතා කී විටයි.එය මට පමණක් නෙමෙයි කලාවේ සිටින දෙමවුපියන්ගේ කලාවට සම්බන්ධ දරුවන්ට ලැබුණු ලොකු භාග්‍යක්. අපිට අමුතුවෙන් ගොඩනගාගෙන එන්න දෙයක් නැහැ. එහෙමයි කියා අපිටම කියා අනන්‍යතාවක් ගොඩනගා නොගතහොත් ක්ෂේත්‍රයේ රැඳී සිටිය නොහැකියි.ඒ නිසා අපි දැන ගතයුතුයි දෙමවුපියන්ගේ වටිනාකමෙන් ප්‍රයෝජනයක් ගැනීමට.

මොනවද ඔබ මෙතෙක් කළ නිර්මාණ..

මම ස්වතන්ත්‍ර නිර්මාණ දහයක් පමණ කළා. එයින් ගීත දෙකකට දැනට රූපරචනා කර තිබෙනවා. ‍පසුගිය දිනවල සනුක සමග ගීතයක් කළා. එය ළඟදීම රසිකයන්ට අසන්නට ලැබෙයි. මා ගායනා කළ 'දෑස දෑසෙ යාවුනා' ගීතය දැනට වසර දෙකකට කලින් ලන්ඩන්වල බී.බී.සී රේඩියෝ වන් නාලිකාවේ සතියේ ගීතය බවට පත්වුණා.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post