රටම කතා කරන කවුද මේ ජින්නා

0 May 22, 2018 11.00am Art

මෙච්චර කල් හැමෝම දැක්කේ ජින්නාගේ දස්කම් විතරනේ. අපි දැන් ජින්නාගේ පෞද්ගලික විස්තර ගැනත් රටට කියමු.
මගේ නම ඩබ්.ඒ. තිනේෂිකා නිසල්යා. මම ඉන්නේ කඩවත. ඉපදුනේ 2004.08.22 වැනිදා. මගේ තාත්තා (නිහාල් සිසිර) මාළු වෙළෙඳාම තමයි කරන්නේ. අම්මා (සමන්ති විජේරත්න) රැකියාවක් කරන්නේ නැහැ. මට මල්ලි කෙනෙක් ඉන්නවා. (පන්සිලු සඳනෙත්) දැනට මම කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා මහ විදුහ‍ලේ 9 වසරේ ඉගෙන ගන්නවා.

කොහොමද ජින්නා මෙච්චර ලස්සනට නටන්න පුරුදු වුණේ?
පුංචි කා‍ලේ ඉඳන් මම නර්තනය ඉගෙන ගත්තා. පාස‍ලේ දෙක වසරේ ඉඳන් ජිම්නාස්ටික් කළා. මුලින්ම ධනුෂ්ක
සර්ගෙන් තමයි නර්තනය ඉගෙන ගත්තේ. උදාර සර්ගෙන් මුලදී ජිම්නාස්ටික් ඉගෙන ගත්තා. මම දැන් ලලිත් පැරකුම් සර් යටතේ නැටුම් හදාරනවා. ලලිත් පැරකුම් සර් තමයි මේ තරගය තුළ මගේ ගුරුවරයා වුණේ.

ජින්නා මීට කලිනුත් මේ විදියේ තරගවලට ඉදිරිපත් වෙලා තියෙනවද?
පාසල් තරග ගොඩකට ඉදිරිපත් වුණා. අවුරුදු ගාණක් පිට පිට නැටුම්වලිනුයි ජිම්නාස්ටික්වලිනුයි ඒතත "All Ceylon Champion" වුණා. දෙරණ Little Star  තරගයේ නර්තන අංශයට ඉදිරිපත් වෙලා අවසන් 48 දෙනාත් දක්වා ආවා.

ඔබගේ ගෝල බාලයන් අතර ජින්නා සුවිශේෂී කෙනෙක් වුණේ කොහොමද?
මම නර්තන ආචාර්යවරයෙක් විදියට කටයුතු ඇරඹුවේ මීට අවුරුදු 11කට විතර කලින්. මේ වන විට මගෙන් ගෝලයන් 20,000ක් පමණ බිහිවෙලා තියෙනවා. දෙරණ City of Dance - 2016 කිරුළ දිනූ ‍ලේඛානිත් මගේ ගෝලයෙක්. හැබැයි එදා මෙදා තුර මගෙන් බිහිවූ ගෝලයන් අතර ජින්නා සුවිශේෂී කෙනෙක්. හිරු නාලිකාව තමයි මට ඇයව නර්තනයෙන් ඉහළට ඔසවා තබන්න අවස්ථාව ලබා දුන්නේ. ඇය මාත් එක්ක නර්තන කටයුතු පුරුදු වෙද්දී මේ තරගයෙන් ඇය ඉහළටම යන බව මට තේරුණා. ජනප්‍රියත්වයට,
දක්ෂතාවය වගේම නමත් බලපානවා. තිනේෂිකා කියන නමයි, ඇය ජිම්නාස්ටික්වලට දක්වන දක්ෂතාවයයි දෙකම ගැන හිතලා මම ඇයට ජින්නා කියන නම යෙදුවා. මම හිතපු විදියටම අද ජින්නා ලංකාව වගේම විදෙස් රටවලත් ජනප්‍රියයි.

ජින්නා තුළ ඔබ දකින සුවිශේෂතා මොනවාද?
ඇයගේ විශේෂම දේ තමයි ඕනෑම දෙයක් ඉතාමත් පහසුවෙන් ග්‍රහණය කරගත හැකි වීම. ඒ වගේම ඕනෑම දෙයකට ඇය බය නැතිව ඉදිරිපත් වෙන කෙනෙක්. ඒ වගෙම හරිම විනයානුකූල දරුවෙක්.

තවමත් අධ්‍යාපනය ලබන 'ජින්නා' තමන් ලැබූ ජයග්‍රහණය ගැනත් අනාගත අපේක්ෂාවන් ගැනත් අපිත් එක්ක මේ විදියට කියා සිටියා.

ඉගෙන ගෙන කවදාහරි නර්තන කථිකාචාර්යවරියක් වෙන්නයි කැමති. හැබැයි ජිම්නාස්ටික් නවත්තන්නෙත් නැහැ...

ජින්නා බොහෝ දුෂ්කරතා මැද ජීවිතේ ජයගත්තු දැරියක්. ඇගේ මේ ජයග්‍රහණයට උදව් කළ විශාල පිරිසක් සිටිනවා. මේ වෙලාවේ ඒ හැමෝටම ස්තුති කරන්නත් ජින්නා අමතක කළේ නැහැ. ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා, විරාජ් වැලිවත්ත යන මහත්තුරු වගේම ටොලමි, දමිත් යන අයත් ඇය ගෞරවයෙන් යුතුව සිහිපත් කළා. තරගය පුරාවට ඇයට නන් අයුරින් උපකාර කළ අය තව බොහොමයක් සිටිනවා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන, ගම්වාසීන්, විදුහල්පතිනී අනෝමා ශාමලි අබේරත්න ඇතුළු පාස‍ලේ ගුරු සිසු සියලුම දෙනා වගේම විදෙස් රටවල පදිංචි ශ්‍රී ලාංකිකයනුත් ඒ අතර වෙනවා. මේ සියලු දෙනාවම ඉතා ගෞරවයෙන් සිහිපත් කරන බව කතාබහ නිම කරන්නට කලින් ජින්නා අපත් සමග පවසා සිටියා.

( උපුටා ගැනීම ලක්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post