ඔබෙ රුව චායා සැඟවේ පායා

0 Feb 17, 2018 09.34am Art

ජනහදවත් තුළ වැජඹුණු රංගන ශිල්පියකු, ගායන ශිල්පියකු, මහජන නියෝජිතයකු සේම මානව ගුණාංගවලින් පරිපූර්ණ මිනිසකුවූ විජය කුමාරතුංග මහතාගේ 30වැනි ගුණ සැමරුම පසුගිය 16 වැනි දිනට යෙදී තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

අවංකවම මම මේ රටේ ජනතාවට අවශ්‍ය විදිහට ඒ ජනතාව කැමැති වෙන විදිහට මගේ රඟපෑම ඉදිරිපත් කරලා තිබෙනවා. ඉතිං මට කියන්න තියෙන්නේ තවමත් ඒ ජනතාවට මාව එපා නොවීම සතුටක් ” විජය කුමාරතුංගයන් මෙම වදන් සමූහය පැවසූයේ සම්මාන උළෙලකට සහභාගී වූ අවස්ථාවක දී ය.

විජය කුමාරතුංගයන් අප අතරින් සමුගෙන දශක තුනක් ගත වී තිබේ. එහෙත් අපේ රටේ බහුතර පිරිසකට තවමත් ඔහුව අමතක වී නැත. එසේ වීමට හේතුව කුමක් ද? විජය කුමාරතුංගයන් තවමත් අපේ රටේ බහුතර පිරිසකගේ ආදරය දිනා ගැනීමට සමත් වී තිබෙන්නේ ඇයි? සෑම වසරකට වරක් ම විශේෂ උත්සව සංවිධානය කර ඔහුව සිහිපත් කරන්නේ ඇයි? ඒ ඔහු සතුව පැවතුණු කලා නිපුණතා ඇගයීමට පමණක් ද? නැතහොත් සිංහල සිනමාවේ ජනප්‍රියම රංගන ශිල්පියා වීම නිසා ද ? සැබැවින්ම එදා මෙන්ම අදත් අපේ රටේ බහුතර පිරිසකගේ ගෞරවනීය ආදරය විජය කුමාරතුංගයන් වෙත හිමි වී තිබෙන්නේ ඔහු සතු වූ උතුම් මානව ගුණාංග නිසා යැයි සඳහන් කළහොත් බොහෝ දෙනකු ඊට එකඟ වනු ඇත.

එදා විජය කුමාරතුංගයන් කොපමණ ජන ආකර්ෂණයක් හිමිකරගත් නමුත් ඔහු එය ආභරණයක් කර නොගත්තේ ය. අහංකාර නොවූ ඔහු ජීවත්ව සිටි කෙටි කාල පරිච්ඡේදය තුළ දී කොයිකාගේත් සිත් දිනාගැනීමට සමත් වූයේ අව්‍යාජ සිතිවිලි තුළිනි. එම හේතුවත් විජය කුමාරතුංගයන්ට අඛණ්ඩව පස්වතාවක් ජනප්‍රියතම රංගන ශිල්පියා වීමේ වාසනාව ගෙන දුන්නේය.

විජය කුමාරතුංගයන්ට අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමු ගැනීමට සිදු වූයේ වර්ෂ 1988 පෙබරවාරි මස 16 වැනි දින දීය. නාඳුනන තුවක්කු කරුවකුගේ වෙඩි උණ්ඩවලට ගොදුරු වූ ඔහුට අවසන් සුසුම් වා තලයට මුසු කිරීමට සිදු වූවත් ඔහු විසින් මේ මහපොළොව මත තබා ගිය මානව ගුණාංග තවමත් ඉතිරි වී තිබේ.

විජය කුමාරතුංගයන් කලා ලොවෙන් සමුගැනීම සම්බන්ධව එදා බොහෝ දෙනකුගේ මතය වූයේ දේශීය සිනමා ක්ෂේත්‍රයෙහි යළි කිසිදා පිරවිය නොහැකි හිඩැසක් ඇති වන බවයි. එහි ඇති වලංගු භාවය එතුමා අප අතරින් සමුගෙන දශක තුනක් සම්පූර්ණ වන විට මනාව පැහැදිළිවේ. රංගනය පිළිබඳව අධ්‍යයනය කිරීමට කිසිදු ආයතනයක් නොතිබූ කාල පරිච්ඡේදයක දී සිනමාවට අවතීර්ණ වූ විජය කුමාරතුංගයන් ස්වෝත්සාහයෙන් තම කුසලතා දියුණුකර ගැනීමට සමත් වූ රංගන ශිල්පියෙකි. එදා මෙන්ම අදත් බොහෝ සිනමා විචාරකයන් පවසන්නේ ඇතැම් චිත්‍රපට ජනතාව අතරට වේගයෙන් යාමට විජය කුමාරතුංගයන්ගේ ජනප්‍රියතාව මහත් සේ ඉවහල් වූ බවය.

විජය කුමාරතුංගයන් ජීවත්ව සිටි සමයේ දී පමණක් නොව ඉන් පසුවත් එතුමාගේ රංගන ශෛලිය අනුකරණය කිරීමට උත්සුක වූ බොහෝ අය සිටියේ ය. එහෙත් එදා ඔහු කවරකුගේ හෝ රංගන ශෛලියක් අනුකරණය නොකළ අතර සෑම විටම නිරූපණය කළ චරිත තුළින් ප්‍රකට කරනු ලැබුවේ ඔහුටම ආවේණික වූ ස්වාධීන රංගන වින්‍යාසයකි. මූලාශ්‍ර වලට අනුව වර්ෂ 1967දී ‘මනමාලයෝ‘ සහ වර්ෂ 1969 දී ‘රෝමියෝ ජුලියට් කතාවක්‘ යන චිත්‍රපටිවල සුළු චරිත නිරූපණය කරමින් රංගනයෙහි නියැලුණු විජය කුමාරතුංගයන් ප්‍රධාන චරිතයක් නිරූපණය කරමින් සිනමාවට අවතීර්ණ වූයේ වර්ෂ 1969 දී ය. ඒ ප්‍රවීණ සිනමාවේදී සුගතපාල සෙනෙරත් යාපා මහතාගේ ‘හන්තානේ කතාව‘තුළිණි.සිංහල සිනමාවේ නව රැල්ලක් නිර්මාණය වෙමින් පැවැති යුගයක රංගනයට අවතීර්ණ වූ ඔහු හන්තානේ

කතාවේ බන්දුගේ චරිතයෙන් හැටේ දශකයේ කෙළිලොල් විශ්වවිද්‍යාල තරුණයකුගේ චරිතය අපූරු ලෙස නිරූපණය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස චිත්‍රපටි ගණනාවකම රඟපෑමට ආරාධනා ලැබුණු ඔහුට ඉතාම කෙටි කාලයක් තුළ සංකීර්ණ චරිත මවමින් ප්‍රතිභාසම්පන්න රංගන ශිල්පියකු ලෙස සිංහල සිනමාව ආක්‍රමණය කිරීමට හැකියාව ලැබුණි. බොහෝ සිනමා විචාරකයන්ගේ අදහසට අනුව හන්තානේ කතාවෙන් පසුව ඔහුගේ ප්‍රබල රංගන කුසලතාවක් මතු වූයේ ‘අහස් ගව්ව‘ චිත්‍රපටියෙනි. එමෙන්ම ‘බඹරු ඇවිත්‘ චිත්‍රපටයේ රගපෑම තුළින් ද උසස් රංගන හැකියාවක් පෙන්නුම් කළේය.

විජය කුමාරතුංග වඩාත් පරිණත සහ චරිතාංග නළුවකු බවට පත්වන්නේ ‘කරුමක්කාරයෝ‘ චිත්‍රපටියේ විලිසොං නැමැති චරිතයට පණ පෙවීමෙනි. ප්‍රවීණ සිනමාවේදියකු වූ ආචාර්ය ධර්මසේන පතිරාජ අධ්‍යක්ෂණය කළ ‘පාර දිගේ‘ චිත්‍රපටිය ද ඔහුගේ ප්‍රතිභාව පිළිබිඹු කළ තවත් නිර්මාණයකි. මෙහිදී චන්දරේ නැමැති යෞවනයකුගේ චරිතය ප්‍රේක්ෂකයන්ගේ ආකර්ෂණය දිනාගත හැකි වන පරිදි ඉදිරිපත් කර තිබුණි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අධ්‍යක්ෂණය කළ ‘ක්‍රිස්තු චරිතය‘ විජය කුමාරතුංගයන්ගේ සිනමා දිවියෙහි තවත් අග්‍ර ඵලයකි. එහිදී ඔහු නිරූපණය කළේ ක්‍රිස්තුස් වහන්සේගේ ජීවන ගමන් මගයි.

විජය කුමාරතුංගයන්ට සිංහල සිනමාවේ ජනප්‍රියත්වයේ ඉහළම ස්ථානයට පැමිණීමට හැකියාව ලැබුණේ වානිජ චිත්‍රපටවලට සම්බන්ධ වීම තුළිනි. මෙහිදී නිළි රැජන ලෙස හඳුන්වන මාලනී ෆොන්සේකා මහත්මිය සමග රඟපෑ‘තුෂාරා‘ චිත්‍රපටය ඊට කදිම නිදර්ශනයකි. මනරම් ගීත සමුදායකින් සමන්විත තුෂාරා චිත්‍රපටයෙහි රඟපෑමෙන් ඔහු අතිශය ජනප්‍රිය රංගන ශිල්පියකු බවට පත් විය. විජය කුමාරතුංගයන්ට ස්වකීය කලාදිවිය තුළ දී ගායන හැකියාව ද පහන් ටැඹක් විය. එදා ඔහුගේ ගායන හැකියාව හඳුනාගත් ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් ඔහුව ‘සිතිජය‘ ඔපෙරාවට ද සම්බන්ධ කර ගනු ලැබීය. එමෙන්ම ඕනෑම ගීතයක් කෙටි කාලයක් තුළ දී අසන්නන්ගේ හදවතට සමීපකර වීමට හැකියාවක් පැවති විජය කුමාරතුංගයන්ගේ අතිශය ජනප්‍රිය ගීත අතර ගඟ අද්දර මා, සීතලේ නිසංසලේ,පායා සීත රැයේ, රැල්ලෙන් රැල්ලට පා වෙන ඔරුවේ, සැරයටියෙන් අපි යනෙන තුරා, දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම්, මිණි කිංකිණි හඬ පරදා, එක වරක් ඔබට මා එපා නම් සහ කරඹ යායේ ලවැලි පාරේ අදිය ප්‍රමුඛ වේ.

විජය කුමාරතුංගයන් මෙරට දේශපාලන ක්ෂේත්‍රය තුළ ද මහජන නියෝජිතයකු ලෙස කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කිරීමට සමත් විය. දේශපාලනික පරිණත බවකින් යුත් ඔහුට රට ජාතිය වෙනුවෙන් අව්‍යාජ මෙහෙවරක් සිදු කිරීමට සැබෑ වුවමනාවක් පැවතියේ ය. ඒ වෙනුවෙන් ඔහු විසින් ගනු ලැබූ ඇතැම් තීන්දු තීරණ සහ උත්ස­ාහයන් සෑම විටම අගය කළ යුතු ය.එසේම විජය කුමාරතුංගයන් කලා කරුවෙක් ද නැතහොත් මහජන නියෝජිතයෙක් ද යන්න පිළිබඳව හඳුනාගැනීමටත් වඩා ඔහු විසින් අපට දායාද කළ මානුෂික ගුණාංග ඉතාම වැදගත් වනු ඇත. මිනිසුන් අතර ඉපිද මිනිසුන් අපමණකට ආදරය කර මිනිසුන් අපමණකගෙන් ගරුබුහුමන් ලද විජය කුමාරතුංගයන් එදා, අද මෙන්ම හෙට දිනයේ දීත් සිහිපත් කළ යුතු උතුම් මිනිසෙකි.
( උපුටා ගැනීම සිළුමින පුවත් පත ඇසුරෙනි )

පුවත්

Recent Post