පිටපතට කලින් මම බලන්නේ අධ්‍යක්ෂකගේ මනුස්සකම ගැන… සනත් විමලසිරි

0 Feb 14, 2018 10.02am Art

කලා ලෝකේ හමුවන තරු අතර දක්ෂතාව, හැකියාව, ජනප්‍රියත්වය එක සේ රඳවාගත් ප්‍රවීණ, ජනප්‍රිය රංගන ශිල්පියෙක් තමයි සනත් විමලසිරි කියන්නේ. වෘත්තියෙන් ගුරුවරයෙක් වන ඔහු වේදිකාව, පුංචි තිරය වගේම සිනමාව හරහාත් සහෘද හදවත් ස්පර්ශ කරන රංගන ශිල්පියෙක්. ඉතින් මෙවර සොඳුරු පිළිසඳරක යෙදෙන්න රිවිසරසියට ඔහු අපිත් එක්ක එකතු වුණා.

මොනවද මේ දවස්වල වැඩ කටයුතු?
මේ දවස්වල නම් කොළඹ විශ්වවිද්‍යාලයත් එක්ක එකතුවෙලා පර්යේෂණාත්මක අධ්‍යයන කාර්යයක නිරතවෙලා ඉන්නේ. ඒ වගේම සමස්ත පුද්ගලයාගේම සමාජ හිතකර ආකල්ප සංවර්ධනය කිරීමේ රසවින්දනාත්මක වැඩසටහනක් ‘සනත් එක්ක ජීවිතේට ඉඩදෙන්න’ නමින් ක්‍රියාත්මක වෙනවා. ඒ කාර්යයන් එක්ක තමයි මේ දවස්වල වැඩිපුර කාලයක් ගතවෙන්නේ.

එතකොට කලාවට තියෙන දායකත්වය අඩුවෙලාද?
මේ කාර්යයත් කලාත්මක දායකත්වයක්. ජීවිතය වින්දනය කරන හැටියි මම මේ තුළින් සමාජගත කරන්න උත්සාහ කරන්නේ. ජීවිතේ විඳින්න නොදන්න සමාජයකනේ අපි අද මේ ඉන්නේ. ඒ නිසා කලාව තුළින් ජීවිතේ විඳින්නයි මම කියා දෙන්නේ. කලාව වින්දනය කරන ගමන් ජීවිතේ විඳවන්නේ නැතුව තරුණ ජීවිත රැකගන්න කලාත්මක දායකත්වයකුයි මම මෙයින් සපයන්නේ.

දැන් රංගනය මගහැරිලද තියෙන්නේ?
රංගනය මගහැරිලා නැහැ. දැනටත් සිරස ටීවී එක්ක සම්බන්ධවෙලා නිර්මාණයකට දායකවෙලයි ඉන්නේ. සමහර තැන්වලදී ලැබෙන නිර්මාණවල ගුණාත්මක භාවය වගේම ඒ ඒ පුද්ගලයන්ගේ අපට තියෙන සැලකීම් නිසා ඇතැම් නිර්මාණ මගහැරෙනවා. ඒ හැරුණු කොට රංගනයෙන් ඉවත් වීමක් නම් වෙලා නැහැ.

ඒ කියන්නේ තෝරලා බේරලාද නිර්මාණ සෆදහා යොමුවෙන්නේ?
හැමදේටම කලින් මම නිර්මාණ කාර්යයේදී මනුස්සකම ගැන හිතලයි නිර්මාණ තෝරාගන්නේ. දෙවනුවයි පිටපත ගැන හිතන්නේ. මොකද හරි උජාරුවට මානව හිතවාදය ගැන නිර්මාණය වන නිර්මාණ ඇතුළේ ඒ නිර්මාණය කරන මිනිස්සු ළඟ මනුස්සකමක් ගෑවිලාවත් නැත්නම් ඇයි අපි එහෙම අය එක්ක වැඩ කරන්නේ. ඒ නිසා සල්ලිම හඹාගෙන යන මිනිස්සු එක්ක, මනුස්සකමක් නැති මිනිස්සු එක්ක මම කලාවට සම්බන්ධ වෙන්නේ නැහැ.

වේදිකාව ගැනත් කතා කරමු?
වේදිකාවේ දැන් වසර කිහිපයකට සිට මම මනමේ කුමාරයාගේ චරිතයට රඟපානවා. ඒ වගේම රත්නාවලී නාට්‍යයේ උදේන රජතුමාට රංගනයේ යෙදෙන්නෙත් මම. තව චාමික හත්ලවත්තයන්ගේ රජා මං වහලා වේදිකා නාට්‍යයත් වේදිකාගත වෙනවා. එහි හොඳම නළුවාට හිමි සම්මානය 2016 දී මට ලැබෙනවා. ඒ නිර්මාණෙත් එක්ක තමයි ඉතින් මම වේදිකාවේ රැඳෙන්නේ.

ඔබ වඩාත් කැමති වේදිකාවටද? පුංචි තිරයටද?
ඒ ගැන තර්ක නෑ. මම කැමති වේදිකාවට. මොකද වේදිකාවේ බොරු නෑ. එතැන තියෙන්නේ ඇහැට පෙනෙන පරම සත්‍යය සහ හැකියාව. කැමරාවක් ඉස්සරහදී ඒ කැමරා ශිල්පියාගේ හැකියාව අධ්‍යක්ෂකගේ මෙහෙයවීම මත අපිට රඟපාන්න පුළුවන්. නමුත් වේදිකාවේ එහෙම බෑ. වැරදුණොත් ඉතින් වැරදුණාම තමයි.

ඒ කියන්නේ වේදිකා රංගනය ආපහසු කාර්යයක්?
අනිවාර්යයෙන්ම පහසු නොවන රංගනයකුයි වේදිකාව මත අපි රඟදක්වන්නේ. වේදිකාව මත උඩින් පල්ලෙන් රංගනය අතපත ගාපු පිරිස්වලට පැවැත්මක් නෑ කොහෙත්ම. අති දක්ෂයන්ට පමණයි වේදිකාවේ සාර්ථක වෙන්න පුළුවන්. කොටින්ම කීවොත් වේදිකා රංගනය කියන්නේ සෙල්ලම් කරන්න පුළුවන් දෙයක් ‍නෙවෙයි.

බොහෝ දෙනෙක්ට වර්තමාන කලාව ගැන තියෙන සෘණාත්මක ආකල්පයමද ඔබටත් තියෙන්නේ?
වර්තමාන කලාවේ පිරිහීමක් මම දකින්නේ නෑ. වර්ධනීය අවස්ථාත් මේ කලාව ඇතුළෙ තියෙනවා. හැබැයි පිරිහුණු මිනිස්සුන්ගේ අතපෙවීම් නිසා කලාව ගැන සෘණාත්මක ආකල්පයක් සමාජගත වෙලා තියෙනවා කියලා මාත් පිළිගන්නවා. ඇතැම් නිර්මාණවල අපි දකිනවා දෙපැත්ත කැපෙන වචන, අනවශ්‍ය විලාසිතා මගින් ආකර්ෂණය දිනාගෙන රසවින්දනය මොට කරන අවස්ථා. පවු‍ලේ අයත් එක්ක රසවිඳිය හැකි මට්ටමක ඇතැම් නිර්මාණ නෑ. ගුණාත්මක පිරිහීමක් දකින්න ලැබෙනවා. ඒ වගේම තමයි කලාව දේශපාල අතකොළුවක් වීම. දේශපාලනය කියන්නෙම කලාවට සුදුසු දෙයක් ‍නෙවෙයි.

ඔබ වෘත්තියෙන් රංගන ශිල්පියෙක් පමණක්ම ‍නෙවෙයි නේද?
ඔව්, මම නාට්‍ය හා රංග කලාව පිළිබඳ ගුරුවරයෙක්. මාලබේ රාහුල බාලිකා විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට කටයුතු කරනවා. තව ශ්‍රී ජයවර්ධනපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සහාය කථිකාචාර්යවරයෙක් ලෙස අනුයුක්තව සේවය කරනවා. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ බාහිර කථිකාචාර්යවරයෙක් ලෙසත්, නීති ජාතික අධ්‍යාපන ආයතනයේ බාහිර කථිකාචාර්යවරයෙක් හැටියටත් ඊට අමතරව මානව ශක්ති උපදේශකවරයෙක් ලෙසත් කටයුතු කරනවා.

ගුරුවරයෙක් නළුවෙක් වුණාම ලැබෙන ප්‍රතිචාර ගැනත් කියන්න යමක් ඇති නේද?
ගුරුවරයා ජනප්‍රිය කෙනෙක් වීම නිසා විශේෂ කැමැත්තකින් විෂයට තියෙන අවධානය වැඩිවීමක් දකින්න පුළුවන්. ඒ වගේම ඉතින් හැමෝම හරි ආදරෙයි. ඇතැම් අවස්ථා තියෙනවා නළුකම නිසා ‍පොඩි ‍පොඩි කරදරකාරී ගැටලු මතුවෙන. මොකද නාට්‍ය  ගැන, චරිත ගැන දිගින් දිගටම කතා කර කරන ඉන්න යන අවස්ථාවලදී තරමක් දුරට ජනප්‍රියත්වය බාධාකාරී වෙනවා.

කොහොමද දරුවන්ගේ කලාවට තියෙන ලැදියාව?
විනාශ කරපු සංස්කෘතියක නෂ්ටාවශේෂ ටිකක් තමයි අද දරුවන්ට රසවිඳින්න කියලා ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඇහට පේන කනට ඇහෙන දේ රස විඳිනවා විනා වෙනත් යමක් සොයාගෙන යන්න දරුවෝ යොමුවෙලා නෑ. හරියට ඇඟ වැහෙන්න අඳින්න පලඳින්න නොදන්න සංකර සමාජයකටයි අද අපි කලාව උගන්වන්නේ. ආදරය, සෙනෙහස, රසවින්දනය නොහඳුනන විභාග මානසිකත්වයම හිස දරාගත්තු යාන්ත්‍රික පිරිසක් අද අනාගතේට දායාදවෙලා ඉන්නේ. ඉතින් විවිධ වූ කලා මාධ්‍යයන්ට යොමුවූ දරුවෝ ඉන්නවා. ඔවුන් ගැන ඇත්තටම සතුටු වෙන්න පුළුවන්.

විශ්වවිද්‍යාල තුළත් මේ දේමද ඔබ දකින්නේ?
ඔව්, ඉතින් අවුරුදු 13ක් මේ විභාග කේන්ද්‍රීය රටාවට යොමුවුණු දරුවන්මයි විශ්වවිද්‍යාල තුළටත් යන්නේ. ඔහුගෙනුත් මීට වඩා දෙයක් අපේක්ෂා කරන්න බෑ. අසාධාරණය වෙනුවෙන් කතා කරන්න සංවිධානය වෙන්න  පවා අද ශිෂ්‍යයෝ පසුබසින තත්ත්වයක් තියෙන්නේ. මොකද අද රටේ තියෙන්නේ ශිෂ්‍ය මර්දනයක්. ඒ නිසා බොහෝ පිරිස් ඉදිරියට එන්න තරමක් බියයි.

චරිතයක් තෝරාගන්නකොට ගුරු භූමිකාව ගැනත් හිතන්න වෙනවා නේද?
අනිවාර්යයෙන්ම මම ගුරුවරයෙක් කියලා අමතක කරලා චරිත තෝරාගන්නේ නැහැ. වෘත්තීය ගරුත්වය රැකෙන චරිතයි මම තෝරාගන්නේ. ඇතැම් චරිත තියෙනවා ගුරු භූමිකාව නිසා මා අතින් ප්‍රතික්ෂේප වුණු. මට අවශ්‍ය මගේ රංගනයෙන් දරුවෝ ඉස්සරහා සමාජය ඉස්සරහා යහපත් ප්‍රතිරූපයක් ගොඩනගා ගන්න. සැබෑ ජීවිතයේදීත් මට අවශ්‍ය ඒ යහපත් ප්‍රතිරූපයට හානියක් නොවන අයුරින් ජීවත් වෙන්නයි.

ඔබේ හැකියාවෙන් අපේ කලාවට මනා දායකත්වයක් ලැබුණා කියලා හිතනවාද?
එහෙම නියම දායකත්වයක් ලැබුණු අවස්ථාවන් තියෙනවා. සංගීත ශිල්පියෙක්, සංගීත ගුරුවරයෙක්, නර්තන ශිල්පියෙක්, රංගන ශිල්පියෙක් එතකොට සටන් නළුවෙක් යනාදී විවිධ පරාසයන් හරහා කලාව වෙනුවෙන් මගේ උපරිම දායකත්වය ලබාදෙන්න මට අවස්ථාව ලැබුණා.

පෞද්ගලික ජීවිතේ තොරතුරු ගැනත් කතා කරමු?
මගේ බිරිඳ විනීතා එරන්දනී. ඇයත් නියැළෙන්නේ ගුරු වෘත්තියේමයි. ශ්‍රී ජයවර්ධනපුර බාලිකාවේ ඇය සේවය කරනවා.  අපිට දූලා දෙන්නෙක් ඉන්නවා. ලොකු දූ අනුලා බාලිකා විද්‍යාලයේ 8 ශේ්‍රණියේත් චූටි දූ ලයිසියම් ජාත්‍යන්තර පාස‍ලේ 4 ශේ්‍රණියේත් අධ්‍යාපනය ලබනවා. එතකොට මගේ අම්මයි අප්පච්චියි විශ්‍රාමික සෞන්දර්ය ගුරු උපදේශකවරු. මගේ අයියා මහින්ද විමලසිරි. ඔහුත් කලාවට සම්බන්ධයි.

 මොනවද ඉදිරි වැඩකටයුතු?
මුලින්ම කියපු රසවින්දනමය ක්‍රියාදාමය දිගටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම මගේ ඩ්ච් ආචාර්ය උපාධිය සම්පූර්න කරගන්න තමයි මේ කාලයේ මම වෙහෙසෙන්නේ.

( උපුටා ගැනීම රිවිර පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post