මංජුල පීරිස් මංචනට කිව්ව අනාවැකිය හරි යන ලකුණු

0 Dec 06, 2017 10.13am Art

මංචන පීරිස් කියන්නේ ජේ‍යාතීර්වේදී මංජුල පීරීස්ගේ පුතා. ඒ නිසාම මංචනට එල්ල වන චෝදනා, අපහාස, මඩ ප්‍රචාර අති ප්‍රබලයි. ඒ සියල්ලට නොසැලී මුහුණ දෙන මංචන සිනමා කර්මාන්තය තුළ තම උත්සාහයෙන් දුර ගමනක් යන්න සිහින දකින තරුණයෙක්. ඔහු දකින ඒ හීනයේ තරම දිගහරින්න මංචන 'හදගැස්මට' එකතු වුණා.

වයස කියන්න කැමැතිද?

අවුරුදු 23 යි.

පුංචි සන්ධියෙදී කලා ක්ෂේත්‍රයට අත්පොත් තිබ්බ මංචන තාමත් කලාවත් එක්ක බැඳිලා ඉන්නවා නේද?

ඔව්. මම කලාවට ආවේ රූපවාහිනි වෙළෙඳ දැන්වීමකින්. ඊට අමතරව මේ වෙද්දි මම මියුසික් වීඩියෝ අටකටත් සම්බන්ධ වෙලා තිබෙනවා.

මංචනට තාත්තා කියූ හොඳම අනාවැකිය මොකක්ද?

කවදා හෝ මම සිනමා ක්ෂේත්‍රය තුළ දුර ගමනක් යනවා කියන එක.

සිනමාව ගැන හීනයක් මංචනටත් ඇති?

මම සිනමාවට හුඟක් කැමැතියි. මගේ එකම හීනය සිනමාව. පුංචි කාලෙදි මම අම්මයි තාත්තයි එක්ක නිතරම චිත්‍රපට බලන්න ගියා. ජෝ අබේවික්‍රම, ගාමිණී ෆොන්සේකා මහත්තයා තමයි මගේ ජීවිතේ වීරයෝ වුණේ. ප්‍රධාන නළුවා තිරය තුළ මතුවෙද්දී ප්‍රේක්ෂකාගාරයෙන් නැඟෙන විසිල් හඬට, ඒ අවස්ථාවට මම තදින්ම ඇලුම් කළා. කවදා හරි මමත් මේ වගේ නළුවෙක් වෙනවා කියන දේ එදා මම හිතට ගත්තා.

තවම නම් අපි නිර්මාණවලින් මංචන නළුවෙක් විදිහට දැක්කේ නෑ?

ළඟදිම දකීවි මගේ පළමු චිත්‍රපටය. එය අධ්‍යක්ෂණය කළේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ ඩොනල්ඩ් ජයන්ත. ප්‍රධාන නළුවා හේමාල් රණසිංහ. ප්‍රධාන නිළිය පූජා උමාශංකර්. මමත් සැලකිය යුතු චරිතයක් එහි නිරූපණය කරනවා. දැනට චිත්‍රපටය නම් කරලා තියෙන්නේ 'රාජා රාණි' කියලා. පස්සේ නම වෙනස් වෙයිද දන්නේ නෑ. කොහොම නමුත් ලබන අවුරුද්දේ චිත්‍රපටය තිරගත වෙයි.

රංගනය හිතුව තරම් ලෙහෙසිද?

ඩොනල්ඩ් ජයන්ත වැනි අධ්‍යක්ෂවරයෙක් යටතේ මුලින්ම රඟපාන්න ලැබීම මම ලද ලොකු භාග්‍යයක්. ඒ නිසාම සිනමාව ගැන මට තිබුණු කැමැත්ත තවත් වැඩි වුණා. ඔහුත් එක්ක දිගටම වැඩ කරන්න ලැබුණොත් මට දුර ගමනක් යන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා. ඊට අමතරව තවත් චිත්‍රපට දෙකක් සඳහා මට ආරාධනා ලැබිලා තිබෙනවා. එකකට නම් මම කැමතියි. අනෙක් චිත්‍රපටයේ තිර රචනය තවම කියවන්න ලැබුණේ නෑ. ඒක කියවලා රඟපානවාද නැද්ද කියලා තීරණය කරනවා.

රංගනය පිළිබඳ හැදෑරීමක් කළාද?

එක වතාවක් අපේ රටට ආවා ඉන්දියානු අධ්‍යක්ෂවරයෙක්. රංගනය පිළිබඳ යම්තාක් දුරකට මම ඉගෙන ගත්තා ඔහුගේ පන්තිවලට සහභාගි වීමෙන්. ප්‍රවීණ නළු මහේන්ද්‍ර පෙරේරා රංගනය පිළිබඳ පවත්වන පන්තිවලට ගිහින් රංගනය හදාරන්න බලාපොරොත්තු වෙනවා. හැදෑරීමක් නැතිව මේ ගමන යන්න අමාරුයි. ගමන ගියා වුණත් පැවැත්මක් නෑ. මට ඕනේ පැවැත්මක් ඇති නළුවෙක් වෙන්න.

පහුගිය කාලේ වෙබ් අඩවිවලින් මංචනට ගොඩක් මඩ ගැහුවා නේද?

නළුවෙක් විදිහට කලඑළි බහින්නත් කලින් මට ලැබෙන පූර්ව ප්‍රචාර විදිහටයි ඒ ගොසිප් මම දකින්නේ. මං ගැන නොදැන සිටිය බොහෝ දෙනෙක් මේ දේවල් නිසා මාව හඳුනාගත්තා. ඒක මට කළ ලොකු උදව්වක්.

හැමදාම තාත්තාගේ සල්ලිවලින්ද ජීවත් වෙන්න හිතන්නේ?

අපෝ නෑ. කොල්ලෙක් විදිහට මමම හම්බකරලා මම තනිවම චිත්‍රපටයක් කරලා 'මෙන්න මම තනිවම දෙයක් කළා' කියලා අම්මාටයි තාත්තාටයි පෙන්වන්න මට ඕනි.

ලොකුකමකට නෙමෙයි. ඒ අම්මයි තාත්තයි මං වෙනුවෙන් කළ කැපකිරීම්වලට කෘතගුණ සැලකීමක් විදිහට. මගේ අම්මයි තාත්තයි මගේ හෙවණැල්ල වගේ. මම යන්න ඕනි ගමන මොකක්ද කියලා ඒ අය මට පෙන්වනවා. නමුත් අනවශ්‍ය බලපෑම් නෑ. නිදහස උපරිමයෙන් දීලා තියෙනවා.

මංචනට ලස්සනට නටන්නත් පුළුවන් නේද?

නර්තනය මම හුඟක් දුරට හැදෑරුවා. රංගනයත් ඒ තරමටම හදාරන්නයි මට ඕන.

මංචනට ගෑනු ළමයින්ගේ ඇල්ම බැල්මත් නොඅඩුව තිබෙනවනේ. නැද්ද තවම ප්‍රේමවන්තියක්?

තවම නෑ. විවාහයටත් තවම මම පොඩි වැඩියි. ගෙදරිනුත් කලබලයක් නෑ. දක්ෂ නළුවෙක් විදිහට ඉස්සරහට ගිහින් පස්සේ ඒ ගැන හිතනවා.
(උපුටා ගැනීම මව්බිම පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post