ශිවන්‍යා මං වගේ කියනවාට කැමැතියි පූර්ණිමා විදේශිකා

0 Sep 14, 2017 09.25am Art

පළමුව ඇය ශිවන්‍යා වුවාය. දෙවනුව ශිවන්ගි ලෙසින් සිය හඬ අවදි කරන්නීය. සුරූපී ඇගේ රුව වඩාත් ගැළපෙන්නේ රංගනයට වුව ද ඇගේ නම් වැඩි කැමැත්ත තමන්ගේ හඬින් රටක් හඳුනනවාටය.

පූර්ණිමා විදේශිකා නමැති ඇයගේ හඬ අපට බොහෝ සෙයින් ළෙංගතු වූයේ ප්‍රේම දඩයම ටෙලි සිතුවම තුළිනි. එහි ඇය ශිවන්‍යාට හඬ කැවීය.

* පූර්ණිමා, බොහෝ විට හඬ කැවීමේ ශිල්පීන් වඩාත් ජනප්‍රිය වන්නේ හඬින්. නමුත් ඔබ රුවින් පවා ජනප්‍රිය වුණා?

ඒක මගේ වාසනාවක්. මං මෙච්චරටම ජනප්‍රියයි ද කියලා හිතෙනවා. පානදුරේ මං ඉන්න ගෙදරට ගමේ පුංචි ළමයි පවා හොයාගෙන ඇවිත් තියෙනවා. එහෙම ඇවිල්ලා මගේ හඬ අහලා සතුටු වෙනවා. කැම්පස් එකේ වුණත් එහෙමයි. මගේ නමට වඩා මාව ජනප්‍රිය ශිවන්‍යා කියලා. සූ සූ කියලා කතා කරන අයත් ඉන්නවා.

* ශිවන්‍යා ඔබේ පළමු හඬ කැවීම නේද?

ඔව්.

* කොහොමද ඔබට ඊට අවස්ථාව ලැබුණේ?

මගේ වොයිස් ටෙස්ට් එකකින් අනතුරුවයි ඒ සඳහා අවස්ථාව උදා වුණේ. මං හිතුවේ නැහැ මං පළමුවරට ඩබ් කරන චරිතය මෙතරම් ජනප්‍රිය වේවි කියලා.

* ශිවන්‍යා නිසා ඔබට තව මොනවද ලැබුණේ?

මට ප්‍රසන්ටර් කෙනෙක් වෙන්න අවස්ථාව උදා වුණා. ඒ වැඩසටහනේ නම 'හරිරහ'. ඒකෙ වැඩ කටයුතුත් කරගෙන යනවා. ශිවන්‍යා නිසයි ඒක ලැබුණේ.

* ඔබ වැනි සුරූපී අයකුට රංගනයට ආරාධනා නොලැබී තිබෙන්නට බැහැ?

ඔබ කිව්වත් වගේ රංගනයට ආරාධනා ලැබුණා. ඇතැම් නිර්මාණ බොහොම උසස් ඒවා. නමුත් හඬ කැවීම් වැඩයි අනෙක් කටයුතු නිසා ඒවා මඟහැරුණා. හිතට දුකයි ඉතින්.

* රංගනයට ආවා නම් ඔබට තව ජනප්‍රිය වන්නට තිබුණා?

මං ඒ ගැන හිතන්නේ නැහැ. නමුත් හැමදේම වෙන්නේ හොඳටනෙ. එහෙම හිතලා හිත හදා ගන්නවා.

* ඔබගේ රුව සහ ශිවන්‍යාගේ රුව තරමක් සමානයි. ඔබ දෙපොළගේ රුව රැගත් විවිධ පෝස්ට් මුහුණු පොතේ පළ වුණා?

ඒකත් මාව වඩාත් හඳුනාගන්න ඉවහල් වුණා. මං සතුටුයි ශිවන්‍යා මං වගේ කියනවට. දැන් සමහර අවස්ථාවලදි මං ශිවන්‍යාට සමාන ඇඳුම් පැලදුම් පවා අඳිනවා.

* මේ දිනවල ඔබේ හඬ කැවීම් කටයුතු කොහොමද?

ප්‍රේම දඩයම ධ්ධ් ශිවන්ගි නාටකයේ හඬ කවනවා. එහි ශිවන්්‍යාගේ දුව ශිවංගිටයි මං හඬ කවන්නේ.

* ශිවන්‍යාද ඔබ ද වඩාත් ලස්සන?

අම්මෝ, ශිවන්‍යා ලස්සනයි මට වඩා.

* පූර්ණිමාගේ ගම පානදුර කියලා කිව්වනෙ. ඊළඟට පවසන්න ඔබේ පාසල මොකක්ද කියලා?

මං ඉගෙන ගත්තේ පානදුර ශ්‍රී සුමංගල බාලිකාවෙන්.

* උපන් දිනයත් මතක් කළොත්?

1996. 02. 10

* පවුලේ විස්තර?

මගේ තාත්තා විදෙස් ගතවෙලා ඉන්නේ. අම්මයි අයියයි මල්ලියි මමයි තමයි පවුලේ පිරිවර.

* මොන විශ්වවිද්‍යාලයෙද ඔබ උසස් අධ්‍යාපනය හදාරන්නේ?

කැලණිය විශ්ව විද්‍යාලයේ පළමු වසරේ.

* පෙම්වතකෙ ඉන්නවා නම් ඒ ගැන විස්තර කියන්න පුළුවන්?

තවම නැත කියලයි කියන්න වෙන්නේ.

* ඔබ ගැන කෙටියෙන් හඳුන්වන්න බලන්න?

නිදහසේ ඉන්න කැමැති කෙනෙක්.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post