කැලණි පාලම, දික්තල කාලගෝල නාට්‍යවලින් මැණිකෙට කැපිල්ලක්

0 Sep 14, 2017 09.23am Art

• ඔබත් මංගල තෑග්ගේ දෙවැනි ගමන යන්න එකතු වෙලානේ?

ඔව්. දශක තුනකට විතර ඉහතදී තමයි 'මංගල තෑග්ග' චිත්‍රපටය නිර්මාණය කළේ. එච්. ඩී. ප්‍රේමරත්නයන්ගේ ඒ නිර්මාණය ඒ යුගයේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඒ ගැන තිබ්බ අවධානය අපෙන් ගිලිහුණත් සනත් ගුණතිලක කියන අපේ සහෘද ශිල්පියා එදා ඒ නිර්මාණයේ හිටපු පිරිස සම්බන්ධ කරගෙන මංගල තෑග්ගේ දෙවැනි ගමන නිර්මාණය කළා. මමත් එදා වගේම අදත් මේකලාගේ චරිතය කරමින් එයට දායක වෙලා ඉන්නවා.

• එදා එකතු වූ ශිල්පීන් අදත් නිර්මාණයකට එකතු වීම විශේෂයි නේද?

ඇත්තටම ඔව්. අද කාලේ එහෙම එකතුවක් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ ශිල්පීන්ගේ එකතුව ගැන මම සතුටු වෙනවා. සනත් ගුණතිලක මගේ සහෘද ශිල්පියා, මේ නිර්මාණයට මගේ සම්බන්ධ වීම අගය කළා. ඔහු කිව්වා මම ඒ නිර්මාණයට මැණිකක් වුණා කියලා. ඇත්තටම ඒ වචන පවා අපිව ජීවත් කරවනවා.

• මංගල තෑග්ගේ හිටපු පැරැණි මිතුරන් එක්ක නව නිර්මාණයේ වැඩ කරන්න ලැබීම සුන්දර අත්දැකීමක් වෙන්නත් ඇති?

ඒ අත්දැකීම හරිම සුන්දරයි. ඒ දවස්වල ඉඳලම ඒ ශිල්පීන් එක්ක පුදුමාකාර බැඳීමක් තිබ්බේ. ඒ නිර්මාණය අපි පුදුම තෘප්තියකින් කළේ. රවින්ද්‍ර, සනත්, රමණී, මේ හැමෝම එකතු වෙලා අපි එදා වගේම එකමුතුවෙන් ශක්තියෙන් මේ කාර්යය කළා. ඒ ගැන ඇත්තටම සතුටුයි.

• ඔබ නිර්මාණ ද්විත්වයටම සම්බන්ධ වූ ශිල්පිනියක් ලෙස මේ නිර්මාණයේ සාර්ථකත්වය දකින්නේ කොහොමද?

වචන දෙකක් නෑ. සනත් ගුණතිලක කළ මේ නිර්මාණය අති සාර්ථකයි කියන්න පුළුවන්. මංගල තෑග්ග චිත්‍රපටයට වගේම මංගල තෑග්ගේ දෙවැනි ගමන නිර්මාණයටත් මට සම්බන්ධ වෙන්න ලැබීම ලොකු භාග්‍යයක්. සනත්, චිත්‍රපටයේ තිබුණු දර්ශන පවා ටෙලිනාට්‍යයට සූක්ෂ්මව දායක කරගෙන තියෙනවා. චිත්‍රපටයයි ටෙලිනාට්‍යයයි සම්බන්ධ කර තිබෙන ආකාරය විශිෂ්ටයි. චිත්‍රපටය නොබලපු කෙනෙක්ට වුණත් තේරුම් ගත හැකි ආකාරයට තමයි ටෙලිනාට්‍ය නිර්මාණය වෙලා තිබෙන්නේ.

• යම් නිර්මාණයක දෙවැනි කොටසක් නිර්මාණය වීම අරුමයක් නෙවෙයි. නමුත් ඔබ මෙහි විශේෂත්වයක් දකින්න හේතු තියෙන්න ඇති?

මම සනත් ගුණතිලක සහෘද ශිල්පියාගේ අධ්‍යක්ෂණ කුසලතාව අගය කරනවා. අද මේ වගේ හොඳ නිර්මාණ එළි දක්වන්න දායක වෙන පිරිස අඩුයි. ජාතික, සංස්කෘතික, ආගමික වශයෙන් වටිනා යමක් නිර්මාණය කරන්න බොහෝ අය බයයි. අද තියෙන ටෙලිනාට්‍ය සම්ප්‍රදායත් විකෘතියක්. එවැනි යුගයක තමයි මේ වගේ නිර්මාණයක් එළියට එන්නේ. ඒ නිසා මම එය අගය කරනවා.

• චිත්‍රපටයක දෙවැනි කොටස ටෙලි නාට්‍යයකට නැඟෙද්දී එහි ගුණාත්මකභාවයේ යම් යම් හානි ඇති වෙයි කියලා ඔබට හිතුණේ නැද්ද?

නැහැ. මේ කරන නිර්මාණය හොඳ නිර්මාණයක් වේවා කියලා තමයි මම ප්‍රාර්ථනා කළේ. මම ප්‍රාර්ථනා කරලා තමයි යමක් භාරගෙන කරන්නේ. අපි කරන නිර්මාණයට හොඳ දායකත්වයක් දෙනවා වගේම එය හොඳින් නිර්මාණය වෙන්න නිතර ප්‍රාර්ථනා කරනවා.

• මේ ටෙලිනාට්‍ය ඇප් එකක් හරහා එළියට එන්නේ. ඔබ එය දකින පැතිකඩ කොයි වගේද?

නවීන තාක්ෂණයත් එක්ක නිශ්චිත වෙලාවක් වෙන් කරගෙනම මේක බලන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හැබැයි ටෙලිනාට්‍යයක් විදියට හරි, මෙය මාධ්‍යයකින් විකාශය වෙනවට මම කැමැතියි. මොකද අධ්‍යක්ෂවරයාගේ ඒ හැකියාව ඒ හරහා තවත් දැක ගන්න පුළුවන්.

• ඔබ මේ දවස්වල සම්බන්ධ වෙන නිර්මාණ ගැනත් කියමු?

මේ දවස්වල විකාශය වෙන 'තුරුම්පු ආසියා' ටෙලි නාට්‍යයට සම්බන්ධ වෙලා ඉන්නවා. ඊට අමතරව 'මනමාලයා' කියන වේදිකා නාට්‍යයත් එක්ක විදේශ සංචාරයකටත් එකතු වෙන්න ඉන්නවා.

• පුංචි තිරයේ වැඩ කරන්නේ තෝරා ගැනීම් එක්කද?

එහෙම නැහැ. අද ශිල්පීන් ශිල්පිනියන්ව අගය කරනවට වඩා නිර්මාණවලදී බලන්නේ මුදල ගැන. අපිටත් වඩා ප්‍රවීණ ශිල්පීන් අපිට කියනවා අපි දැන් කම්කරුවෝ වගේ නේද කියලා. කලා වෘත්තිය දැන් වැටිලා තියෙන්නේ. අපිට නිර්මාණයකට දායකත්වය ලබා දෙන්න ලැබෙන්නෙත් අඩුවෙන්. එවැනි පසුබිමක අපිව මතක තියාගෙන අපිව හොඳ දේකට සම්බන්ධ කර ගන්න පිරිසට අපි ස්තුතිවන්ත වෙන්න ඕනෑ.

• නොකියා කියන්නේ දැන් ඔබට වැඩ ලැබෙන්නේ අඩුවෙන් කියන එකද?

එහෙම වැඩවල අඩුවකුත් තියෙනවා. ඉස්සර නම් මුලින්ම හිතන්නේ නිර්මාණය ගැන. හැබැයි දැන් මුලින්ම හිතන්නේ වේතනය ගැන. දැන් ටෙලි නාට්‍යයක ඡ්නඪඵධඤඥ එකකට ගෙවන මුදලත් එක්ක ඔය දේවල් සිද්ධ වෙන්න පුළුවන්. හැම දේකම දෙපැත්තක් තියෙනවා. ඒ නිසා ඒ අයට ‍ෙදාස් කියන්නත් බෑ. අපිටත් ඉන්න තැනින් පහළට වැටෙන්න බෑ. ඒ නිසා ලැබෙන දෙයට අපි උපරිම දායකත්වය දීලා පාඩුවේ ජීවත් වෙනවා.

• ඔබ හඬ කැවීම්වලට සම්බන්ධ වෙන්නෙත් නෑ නේද?

පාරේ ලේන්සුවක් දාගෙන හිටියත් මම මගේ හඬ විකුණන්නේ නෑ. අපිට හැකියාව තියෙද්දි මොකටද අපි වෙන රටවල දෙයක් වෙනුවෙන් අපේ හඬ විකුණන්නේ.

• ඔබ කාලයක් දකින්න ලැබුණු කැලණි පාලමේ වගේම දික්තල කාලගෝල නාට්‍යයෙත් ඔබ පේන්න නෑනේ?

ගොඩක් අය පෝස්ටර් බලලා මගෙන් අහනවා ඇයි මම ඒ දර්ශනයට ආවේ නැත්තේ කියලා. මම නිසා වේදිකා නාට්‍ය බලන්න ආපු අය එහෙම අහන්නේ. මම දශක තුනකට වඩා ඒ නාට්‍ය දෙකට සම්බන්ධ වෙලා හිටියා. නමුත් මම දැන් ඒ නාට්‍යවල නැහැ. ඒ නිර්මාණ කරපු අයගෙන්ම තමයි මම ඒ නාට්‍යවල නැත්තේ ඇයි කියලා අහන්න ඕන. මම නම් කලාවට අකටයුත්තක් කරන කෙනෙක් නෙවෙයි.

• ඔබව වේදිකා නාට්‍ය දෙකෙන් ඉවත් කරලා වෙන ශිල්පිනියන් සම්බන්ධ කරගත්ත බව ඔබ දැනගෙන හිටියද?

නැහැ. ඔවුන් මට කිව්වේ නැහැ. නමුත් ප්‍රචාරක කටයුතුවලදී මගේ රුව, මගේ නම සඳහන් කරනවා. ඒ නිසා තමයි ගොඩක් අය මම නිර්මාණයේ නැත්තේ ඇයි කියලා අහන්නේ. මම ඒ අයටත් කියන්නේ ඒක අහන්න ඕන නිර්මාණය කරන අයගෙන් කියලා.

• ඔබ මේ ගැන නිර්මාණකරුවන්ගෙන් විමසුවේ නැද්ද?

මම මොකටද එයාලගෙන් අහන්නේ. මගේ නොවෙයිනේ ඒ නාට්‍ය. මනුෂ්‍යත්වය ගැන හැඟීමක් නැති රූකඩ එක්ක කතා කරලා වැඩක් නෑ.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post