මට වැඩිපුර චරිත ලැබෙන්නේ මහත නිසා-ඩිල්කි මිහිරාජි

0 Sep 08, 2017 09.58am Art

ඩිල්කි මිහිරාජිගේ වයස අවුරදු විසි එකයි. මේ වයසට බොහෝ නිළියන් ස්ලිම් ඇඟක් තියාගෙන ඉන්න උත්සාහ කළාට ඩිල්කි නම් එහෙම නැහැ. ඇය මහතට මහතේ බෝලෙ වගේ ඉන්නවා. ඩිල්කි නම් කියන්නේ තමන්ට වැඩිපුරම චරිත ලැබෙන්නේ මේ ස්වරූපය නිසාලු.

ආයුබෝවන් ඩිල්කි?

ඔබටත් එසේම පතනවා.

අනිත් නිළියන්ට වඩා ඔබ මහතයි නේද?

මේ මහත ගැන තමයි ගොඩක් දෙනෙක් අහන්නේ. ඒක දැන් මට සාමාන්‍ය දෙයක් බවට පත් වෙලා. මට බොහොම වාසියි මේ මහත.

දැන් මෙහෙම බෝලෙ වගේ හිටියට ක්ෂේත්‍රයට එනකොට ඔබ මෙහෙම නැහැ?

ඒ කාලේ මං පුංචියිනෙ. හරියටම කිව්වොත් දෙදහස් තුනේ හෝ හතර තමයි ක්ෂේත්‍රයට මං එන්නේ.

නිවේදිකාවක් විදිහට?

ඔව්. එතකොට මට අවුරුදු හතක් අටක් විතර ඇති. මගේ තාත්තා සිරසේ මාමලා නැන්දලට මං ගැන කියලා තිබුණා. ඒ ඔස්සේ මට පුංචි පුංචි වැඩ සටහන්වලට සම්බන්ධ වෙන්න ලැබුණා. ළමා නිවේදිකාවක් විදිහට සිරසේ ළමා වැඩ සටහන් රැසක්ම ඒ කාලේ ඉදිරිපත් කළා.

ඩිල්කි අඟර දඟර ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයක් මැව්වා නේද?

මං පළමුවෙන්ම රඟපෑවේ අන්දර වැට නාට්‍යයේ. ඊට පස්සේ රෝස කැලේ චිත්‍රපටයෙත් රඟපෑවා. අඟර දඟර චිත්‍රපටයට එකතු වුණේ ඉන් අනතුරුවයි. එහි මං ශෙරීන්. ශනුද්‍රිගේ යාළුවා. චිත්‍රපටය නරඹපු අයට නම් මතකත් ඇති.

පසුකාලිනව දායක වූ නිර්මාණ ගැන මතක් කළොත්?

නිල පළිඟු දිය, මෝසම් සුළඟ, ගවේෂණ, සයිබර් ක්‍රයිව් ආදී ටෙලි නාට්‍යවල රඟපෑවා. චිත්‍රපට නම් පහලොවක් විතර එන්න තියෙනවා.

රඟපෑව චිත්‍රපට කිහිපයක නම් කියන්න පුළුවන්ද?

පුළුවන් පුළුවන්, පාටක් නැති ආදරයක්, බ්‍රේකිං නිවුස්, රීලෝඩ්, කිඩ්නැප්, නැති බැරි ටාසන්, සත් කුමරියෝ, සසරේ පිපාසේ ඉන් කිහිපයක්.

ඩිල්කිගේ මහත නිසා වැඩිපුර ලැබෙන්නේ කමඩි චරිත නේද?

අනේ ඔව්. මේ මහත හින්දමයි කමඩිවලට කතා කරන්නේ.

කෙට්ටු නොවී ඉන්නේ අවස්ථා නොලැබේවි කියන බයටද?

කෙට්ටු වෙන්න අදහසකුත් තියෙනවා. වැඩි දෙනකු හදන්නේ කෙට්ටු වෙන්නනෙ. මං වගේ අය අඩුයි.

ඔබේ මහත නිසා අපහසුතාවයට ලක්වුණු අවස්ථා නැතිද?

කොහෙත්ම නැහැ. ගොඩක් අය කියන්නේ මං හරිම කියුටි කියලයි. දර්ශන තලයකට ගියාම එතන ඉන්න හැමෝම මගෙත් එක්ක හිතවත් වෙනවා. එහෙම ආදරය ලබන්න මං පින් කරලා තියෙනවා කියලයි මං විශ්වාස කරන්නේ.

ඩිල්කිගේ පදිංචිය කොහේද?

පන්නිපිටිය.

ඉගෙන ගත්තු පාසල මොකක්ද කියලා කිව්වොත්?

කොට්ටාව ආනන්ද විදුහල.

ඩිල්කිගේ වෘත්තීය රංගනය?

ඔව්.

රඟපාලා ලැබෙන මුදල් ප්‍රමාණවත්ද ජීවත් වෙන්න?

මදි. නමුත් මං හරි කැමැත්තෙන් මේ වෘත්තියේ නියැලෙන්නේ. හිතේ සතුට මට වැදගත් මුදල්වලට වඩා. ඒක නිසා රංගනයේ යෙදෙනවා.

සුදේශ් වසන්ත පීරිස්ගේ නැති බැරි ටාසන් චිත්‍රපටය නිසා ඔබ මඩ නෑව අවස්ථාව ගැනයි මං ඊළඟට අහන්නේ?

යාල කැලයේ තමයි ඒකේ ෂූටිං තිබුණේ. ජීප් එකක් තල්ලු කරලා මඩ වලකට වැටෙන්න ඕනෑ. මාව වැටුණ වැටිල්ලක් ආයේ නැතිවෙන්න. දර්ශනය ඉවර වුණාම නාගන්න තැනක් තිබුණේ නැහැ. අන්තිමේ පැය ගාණක් මඩ පිටින් ඉන්න වුණා.

ඩිල්කි කියන්නේ මොන වගේ කෙනෙක්ද?

හරිම විවෘත කෙනෙක්.
(සරසවිය පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post