රෝයිට මෙහෙම නම් අනෙක් අයට?

0 Sep 07, 2017 09.47am Art

රෝයි-සුමනා දිගු කලකට පසු හමුවී...

එය එක්දහස් නමසිය හැටේ දශකයේ මුල භාගයයි. මෙරට සිනමාව ආරම්භ වී දශක දෙකකට ආසන්න කාලයක් ගත වී හමාරය. ඒ වන විට මෙරට නිෂ්පාදනය වූයේ දකුණු ඉන්දියානු ආභාසය ඇති දේශීය චිත්‍රපටයන්ය. බොහෝ ඒවා සඳහා දකුණු ඉන්දීය කාර්මික ශිල්පීන් පමණක් නොව අධ්‍යක්ෂවරුන් ද සම්බන්ධ වූයේය. පී. නීලකණ්ටන් එවන් අධ්‍යක්ෂවරයෙකි. ඔහු ලංකාවට පැමිණ ‘සුජාගේ රහස’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරත්දී මෙරටින් ඔහුට අපූරු නළුවෙකු මුණ ගැසුණේය. ආධුනික නළුවෙකු ලෙස දොරට වඩින්නට සුදානම්ව ‘සුජාගේ රහස’ චිත්‍රපටයේ රඟපාන මේ නවක නළුවා තුළින් ඔහු සුවිශේෂත්වයක් දුටුවේය. විටෙක ඔහුගේ මුහුණ දකුණු ඉන්දියානු චිත්‍රපටවල එවකට රඟපෑ ජනප්‍රිය නළුවෙකුගේ මුහුණට සමාන යැයි සිතුණි. ඉන්දියානු සිනමාව තුළ අත්දැකීම් සපිරි මෙම අධ්‍යක්ෂවරයාට සිතුණේ මේ නළුවාට සිනමාව තුළ දිගු ගමනක් ඇති බවය.

‘ඔබ ගැළපෙන්නේ දකුණු ඉන්දියානු සිනමාවට. කැමති නැත්ද ඉන්දියාවට යන්න . . .’ වරක් ඔහු මේ නළුවාට ඉන්දියාවට පැමිණෙන්නැයි ආරාධනා කළේය. දේශීය සිනමාව තුළ දිගු ගමනක් යන්නට බලාපොරොත්තුවේ දෑස් දල්වාගෙන සිටි ඔහු ඒවා ගැන උනන්දුවක් නොවීය. එහෙත් වර්තමානයේ නම් ඔහුට සිය දහස්වර සිතෙනුයේ එදා ඒ ගමන ගියා නම් කියාය. මේ නළුවා අන් කවරකුවත් නොව අපේ සිනමාව තුළ නළුවෙකු, අධ්‍යක්ෂවරයකු පමණක් නොව චිත්‍රපට නිෂ්පාදකවරයකු ද වශයෙන් අමරණීය සලකුණත් සනිටුහන් කළ රෝයි ද සිල්වාය.

‘දැන් මගේ සිනමා ජීවිතයට වසර 53 ක් සපිරෙනවා. නළුවෙක් වශයෙන් සිනමාවට පැමිණි මම ඊට පස්සේ අධ්‍යක්ෂවරයෙක්, නිෂ්පාදකවරයෙක් වශයෙන් විවිධ අයුරින් සිනමාවට දායක වුණා. අපි අපේ සිනමා ඉතිහාසයට ගියොත් 1947 දී තමයි පළවෙනි කථානාද සිංහල චිත්‍රපටය ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වුණා කියලා සැලකෙන්නේ. අපි ඇත්ත කතා කළොත් මුලින්ම අපි චිත්‍රපට කාර්යය ගැන දැනගන්නේ දකුණු ඉන්දියාවෙන්. ඒ කාලේ චිත්‍රපටල වැඩ කළේ දකුණු ඉන්දියානු අධ්‍යක්ෂවරු, සංගීතඥයන්, කාර්මික ශිල්පීන්. 1956 දී එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා ඉන්දියාවට යාම නැවැත්වූවාට පස්සේ චිත්‍රපට කරන හුඟ දෙනෙක් හිතුවා කර්මාන්තය ඉවරයි කියලා. නමුත් එයින් පස්සේ මේ රටේ චිත්‍රාගාර හැදුණා. ආර්. ටී. ස්ටුඩියෝ, නව ජීවන, සිනමාස්, සිලෝන් තියටර්ස් ඒ අතර වෙනවා. ඒ වුණාට අපි චිත්‍රපට කළේ ඉන්දියානු සිනමාවට යටත් වෙලයි. සිනමාස් සහ සිලෝන් තියටර්ස් තමයි වැඩි වශයෙන් සිංහල චිත්‍රපට පෙන්නුවේ. සිලෝන් එන්ටර්ටේන්ට්මන්ට්ස් වැඩි වශයෙන් පෙන්නුවේ දමිළ හා ඉංග්‍රීසි චිත්‍රපට. මේ තුන්ගොල්ලට තමයි සිනමා ශාලා හිමි වෙලා තිබුණෙත්. ඒ නිසා ඔවුන්ගේ රුචිකත්වය අනුව තමයි අපිට චිත්‍රපට හදන්න වෙලා තිබුණේ. මේ සමාගම්වල ඕනෑ එපාකම් ඉටුකරන්න සිද්ධ වුණා අධ්‍යක්ෂවරුන්ට. නමුත් ඒ අය චිත්‍රපටය හොඳට දිවෙව්වා. සිනමා ශාලා ලස්සනට පාලනය කළා. ඒ නිසා නිෂ්පාදකවරුන්ට කරදර විඳින්න සිද්ධ වුණේ නෑ.

රෝයි ද සිල්වා අතීතයට යයි. චිත්‍රපට කර්මාන්තයේ සහ කලාවේ ඉතිහාසය අතැඹුලක් සේ දන්නා ඔහුට මේ ස්මරණය ද රමණීයය. එහෙත් ඔහුගේ සිනමා ගමන් මඟ රමණීය වූ එකක්ම නොවූයේය. දහසක් දුක් කම්කටුලු බාධක මැද වුවත් තමන් බෙහෙවින් ආදරය කරන සිනමාව වෙනුවෙන් ඔහු ඒවා විඳ දරා ගත්තේ සතුටු සිතිනි. නළුවෙකු ලෙස සිනමා ගමන් මඟ ඇරැඹූ ඔහුට රංගනයෙන් පමණක් තෘප්තිමත් වන්නට කිසිසේත් නොහැකි විය.

‘සිනමාව ඉන්දියානු ආභාසයෙන් ඉවත් වුණේ ලෙස්ටර් ජේම්ස් පීරිස් ‘රේඛාව‘ තැනීමත් සමඟයි. ඔහු කැමරාවත් අරන් චිත්‍රාගාරයෙන් එළියට බැස්සා. රේඛාව වාණිජමය අතින් සාර්ථක නොවුණට ප්‍රේක්ෂකාගාරවල ජීර්ණය වෙලා තිබුණ චිත්‍රපටය වෙනස් වුණා. මුල් කාලේ අපි රඟපෑවෙත් අපි අධ්‍යක්ෂණය කළ අධ්‍යක්ෂවරුන් කියන විදියට. දෙමළ නළුවන් රඟපාන ආකාරයට තමයි අපි රඟපෑවේ. ඒ කාලේ මම රඟපාපු බොහෝ චිත්‍රපට දෙමළ චිත්‍රපට ආභාසය ඇතුව කරපු ඒවා තමයි. ඔය කාලේ වෙනකොට අපිට අපේම නිර්මාණ කරගැනීමේ උනන්දුව එනකොට තමයි අපි සියලුදෙනාම එකතු වෙන්න නළු නිළි හවුල හැදුවේ. 1968 බිහි වුණ පළමු නළු නිළි හවුලේ මමත් සාමාජිකයෙක්. ඒක සංවිධානය කළේ ගාමිණී ෆොන්සේකා. එදා හිටපු නළු නිළියන් එකතු කරගෙන රත්මලානේ ගාමිණී ෆොන්සේකාගේ නිවසේ තමයි පළමු රැස්වීම තිබ්බේ. කාරක සභාවට මාවත් පත් කරලා තිබුණා. මම එතකොට චිත්‍රපට දෙකක විතර රඟපාපු ආධුනික නළුවෙක්. ඔය සංගමේ සභාපති වුණේ එඩී ජයමාන්න. ඩොමී ජයවර්ධන, හියුගෝ ප්‍රනාන්දු ඇතුළු ප්‍රවීණයෝ රැසක් සම්බන්ධ වෙලා හිටියා. අපි කතිකා කරගත්තා අපේ නිර්මාණ ස්වාධීනව කරන්න අපට ශක්තියක් නැති නිසා චිත්‍රපට සංස්ථාවක් හදමු කියලා. මේ යෝජනාවට ගාමිණී ටිකක් පස්ස ගැහුවා. ඒකට හේතුව වුණේ ඒ කාලේ ඔහු සිනමාස් සමාගමත් සමඟ දිගින් දිගටම වැඩ කරපු නිසා. ඒ නිසා අපි කට්ටිය ගියා එවකට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක මුණ ගැහෙන්න. එතුමාට චිත්‍රපට සංස්ථාවක් දාන්න කතා කළාම ඊට වඩා වැඩ තියෙනවා කියලා අපව ගණන් ගත්තේ නෑ. ඒකෙන් පස්සේ නළු නිළි සංගමය දෙකට කැඩුණා. ඩොමී ජයවර්ධනගේ මුලිකත්වයෙන් හෙළ චිත්‍රපට නළු නිළි හවුලක් වෙනම හැදුණා. අනිත් කණ්ඩායම ගාමිණී ෆොන්සේකාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය වුණා. විජය - මාලිනී පවා හිටියේ ගාමිණීගේ කණ්ඩායමේ.

රෝයි සිහිපත් කරනුයේ දේශීය සිනමාවේ උන්නතිය වෙනුවෙන් ඔවුන් නිර්මාණය කරගන්නට උත්සාහ දැරූ චිත්‍රපට සංස්ථාව බිහි කිරීමේ මූලික පියවරයන්ය. එවකට ආධුනික නළුවකු වුව ද සිනමාවේ දැවැන්තයන් සමඟ එක් වී දේශීය සිනමාව ආරක්ෂා කරගැනීමේ නොපසුබට උත්සාහයකට රෝයි ද සිල්වා උර දුන්නේය. රෝයිට සිනමාවෙන් තොර දිවියක් නොවන්නේය යන්න සත්‍යයක්ම කරමින් ඔහු සිය පෙම්බරිය ලෙස තෝරා ගන්නේ ද සිනමා තරුවකි. සුමනා ද ගහට පොත්ත මෙන් රෝයි ගේ ජීවන ගීතය ගයන්නට සරිලන සිනමාවටම කැපවුණු උවැසියා ලෙස පේ වූවාය. දෙදෙනාගේ සුසංයෝගය ද සිනමාවේ ඉදිරි ගමන ශක්තිමත් කරන්නට සුවිශේෂ හේතුවක් විය. චිත්‍රපට සංස්ථාවක් ඉල්ලා හෙළ නළු නිළි හවුල කළ අරගලයන්ට රෝයි - සුමනා ද සිය පූර්ණ දායකත්වය සැපයුවේය. එවකට විරුද්ධ පක්ෂ නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සොයා හොරගොල්ල වලව්වට පිටත් වූ හෙළ නළු නිළි හවුලේ සාමාජිකයන් අතර රෝයි - සුමනා ද විය. ඩොමී ජයවර්ධන, ස්ටැන්ලි පෙරේරා, ශේන් ගුණරත්න, ඇන්තනි සී. පෙරේරා ඇතුළු පිරිසත් මේ අතර විය. මෙහි සුවිශේෂීම කාරණාව වූයේ ඩොමී සහ හියුගෝ යන දෙදෙනාම සිනමාස් සමාගම සමඟ එක්ව වැඩ කරත්දීම චිත්‍රපට සංස්ථාවක් ඉල්ලා අරගල කිරීමය.

‘අපි 1970 පෙබරවරි 11 වැනිදා හොරගොල්ල වලව්වට ගිහින් මැතිනිව මුණ ගැහුණා. ඒ සාකච්ඡාවට ඩොමී, ස්්ටැන්ලි පෙරේරා, ශේන් ගුණරත්න, ඇන්තනි සී. පෙරේරා, එල්සන් දිවිතුරගම, එල්. එම්. පෙරේරා, ගර්ලි ගුණවර්ධන, පියදාස ගුණසේකර වැන්මෝ සහභාගි වුණා. සිරිමාවෝ මැතිනිය අපට පොරොන්දු වුණා එතුමිය ජයග්‍රහණය කළොත් චිත්‍රපට සංස්ථාව පිහිටුවනවා කියලා. ඒ වෙලාවේ ඩොමී ජයවර්ධන කිව්වා අපිට කට වචනයට විශ්වාසය තබන්න බෑ, ලිඛිතව දෙන්න කියලා. එතුමිය අපිට ලිඛිතව ඒ පොරොන්දුව දුන්නා. ඒ ලියුම අදත් මා ගාව තියෙනවා. මේ පොරොන්දුව පිට අපි මැතිනි සමඟ රට පුරා දේශපාලන වේදිකාවලට ගියා. ජීවිතයත් මරණයත් අතර සටනක් අපි ඒ දවස්වල කළේ. හෙළ නළු නිළි හවුලට සිරිමාවෝ මැතිනිය වූ පොරොන්දුව එතුමිය අගමැතිනි වීමෙන් පසු අකුරටම ඉෂ්ට කළේය. ජාතික චිත්‍රපට සංස්ථාව පිහිටුවා එහි සාමාන්‍යාධිකාරී ලෙස ඩී. බී. නිහාල්සිංහ පත් කළේය.

මැතිනි ඒ දවස්වල කරපු කතාවලදී කිව්වා ජාතික චිත්‍රපට සංස්ථාව සෑදීමේ ගෞරවයෙන් 50% ක්ම හෙළ නළු නිළි හවුලට අයත් විය යුතුයි කියලා. අපි හැම දෙනෙක්ම එදා එතුමිය වටා එක් රොක් වුණේ දේශීය සිනමාව ගොඩ නඟා ගැනීමට හා එහි අභිවෘද්ධිය වෙනුවෙනුයි. අපි කවුරුත් ඒ වෙනුවෙන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන බලාපොරොත්තු වුණේ නැහැ. මැතිනිය ජයග්‍රහණය කිරීමෙන් පස්සේ අපිටත් විවිධ ස්ථානවල විවිධ රැකියා දෙන්න හැදුවා. ඒත් අපි කවුරුත් ඒවා බාර ගත්තේ නෑ. අපිට අවශ්‍ය වුණේ සිනමාවේ ඉදිරි දියුණුව පමණයි. නිහාල්සිංහ මහත්මයා සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වුණාම සිනමාවේ දියුණුවට විවිධ ප්‍රතිපත්ති සැලසුම් සකස් කළා. ඒ කාලේ හැමෝටම හිතපු හැටියෙන් අධ්‍යක්ෂවරු වෙන්න පුළුවන්කමක් තිබුණේ නෑ. හැමෝටම තිබුණා පරීක්ෂණයක්. චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න නම් ඒ පරීක්ෂණය සමත් වෙන්න ඕනෑ. අඩි 1000 ක් නෙගටිව් නොමිලේ දෙනවා. කැමරා අධ්‍යක්ෂවරයකුත් දෙනවා. ඒකෙන් කෙටි චිත්‍රපටයක් කරලා පෙන්වන්න ඕනෑ. ඊට පස්සේ චිත්‍රපටයක් කරන්න ණය මුදලකුත් දෙනවා. රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතිය අනුව ප්‍රදර්ශනය වන දිනයකුත් දෙනවා. මමත් අධ්‍යක්ෂවරයෙක් ලෙසට දොරට වැඩියේ එහෙම තමා. මට තාමත් මතකයි මගේ ඒ කාලේ මගේ අධ්‍යක්ෂ අංකය 139.’

සිංහල සිනමාවේ ස්වර්ණමය යුගය ගැන රෝයි සිහිපත් කරයි. එකල දේශීය සිනමාපට නැරැඹූ ප්‍රේක්ෂකයින්ගේ ප්‍රමාණය දිනෙන් දින වර්ධනය වූ ආකාරය ඔහු දත්ත හා ඉපැරණි වාර්තා පිටපත් රැගෙන පැහැදිලි කර දෙයි. ඉන් පසු නිහාල්සිංහයන් චිත්‍රපට සංස්ථාවෙන් සමුගත් පසු දේශීය චිත්‍රපට නරඹන්නන්ගේ සංඛ්‍යාව පහළ වැටුණු අන්දම ද ඔහු පහදා දෙයි.

රෝයි මෙරට සිනමාවට චිත්‍රපට 33 ක් දායාද කළ අපූරු නිර්මාණකරුවෙකි. මෙරට ප්‍රථම ඉංග්‍රීසියෙන් තැනූ චිත්‍රපටය වූ ධ්බ’ඵ ච ථචබබඥප ධට බඪථඥ නිර්මාණය කළේ ද ඔහුය. මේ සා විශාල චිත්‍රපට සමුදායකින් ඔහු මෙරට සිනමා කර්මාන්තයට දායාද කළ, හඳුන්වා දුන් නළු නිළි කැල ද අති විශාලය. වර්තමානයේ ඔවුන් සිනමා ක්ෂේත්‍රයේ සුපිරි තරු ලෙසින් බැබලෙමින් සිටීම රෝයිට ආඩම්බරයකි. ඔහු මේ සියල්ල සිදු කළේ කිසිදු පෞද්ගලික ලාභ අපේක්ෂාවකින් තොරවය. හුදෙක් කර්මාන්තය වෙනුවෙන් තමන්ගෙන් ඉටු විය යුතු යුතුකමක් ලෙසිනි. එපමණක් නොව එක්තරා වකවානුවක දේශීය සිනමා කර්මාන්තය බිඳ වැටී ප්‍රේක්ෂකයන් සිනමා ශාලාවලින් ඉවතට ඇදෙද්දී යළිත් ප්‍රේක්ෂකාගාර සෙනඟින් පුරවන්න සමත් නිර්මාණ බිහි කළේ ඔහුය.

‘1990 දශකය වෙනකොට දේශීය සිනමා කර්මාන්තය කිසියම් පිරිහීමකට ලක් වී තිබුණා. ප්‍රේක්ෂකයෝ සිනමාවෙන් ඈත් වෙමින් හිටියා. සමහරු මේ හිඩැස වහන්න කාමුක චිත්‍රපට හැදුවා. හැබැයි මම ඒ වෙනුවෙන් චිත්‍රපට 07 ක් හදලා බොක්ස් ඔෆිස් වාර්තා තිබ්බා. චෙරියෝ ඩොක්ටර්, චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, ලව් 94, ඔක්කොම කණපිට, රෑ ඩැනියෙල් දවල් මිගෙල් - 1, 2, සූරයන් අතර විරයා මේ චිත්‍රපට. මේ ඔක්කොම ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය වුණා. ඒ කාලේ සිනමා ශාලා අයිති අය කිව්වා රෝයි නිසා සිනමා ශාලාවල තීන්ත ගෑවා. අලුත්වැඩියා කළා කියලා.’

රෝයි කියන්නේ අතීතයේ තමා කළ කී දෑ පිළිබඳ කිසියම් සතුටකිනි. එහෙත් ඔහුගේ හදවත තුළ කිසියම් වූ නොකී පසුතැවීමක් හෝ දුකක්, කනගාටුවක් ඇතැයි විටෙක මට සිතේ. චිත්‍රපට බෙදා හැරිම පෞද්ගලික අංශය සතු වූ විටත් ඔහු ඊ. ඒ. පී. සමාගම, සිලෝන් තියටර්ස්ලාටත් චිත්‍රපට හැදුවේය. මේ කතා කරන වර්තමානයේ ද ඔහු චිත්‍රපට දෙකක් නිර්මාණය කර ඇත්තේය.

‘අලුත් චිත්‍රපට දෙකක් මම වැඩ ඉවර කරලා තිබෙනවා. මේ චිත්‍රපට දෙකම කළේ ඇමරිකාවේ. එකක් ‘සිහින ලොවක් සොයා’ අනෙක ‘ටොම් පචයෝ’. එකක් කරලා අවුරුදු 3 - 4 ක් වෙනවා. අනෙක කරලා අවුරුදු 1 1/2 ක් විතර වෙනවා. චිත්‍රපට දෙකම ප්‍රදර්ශනය කරගන්න බැරුව ඉන්නවා. සිනමාවට මෙච්චර සේවයක් කරපු රෝයි ද සිල්වාට මෙහෙම නම් අනෙක් අයට කවර කතාද? කියලා තමයි මට කියන්න තියෙන්නේ. දැන් මේ චිත්‍රපට බෙදා හැරිම ඒකාධිපති ක්‍රමයකට තමයි යන්නේ. ඒකට කිසිම ප්‍රතිපත්තියක් නෑ. අපි චිත්‍රපටය හදලා ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයට පෙන්නුවට පස්සේ අපි ආයෙත් ඒක ප්‍රදර්ශන සමාගම්වල අයට පෙන්වන්න ඕනෑ. ඔවුන් ඒක රිජෙක්ට් කළොත් අපිට පෙන්නන්න තැනක් නෑ. මගේ චිත්‍රපට දෙකටම වෙලා තියෙන්නේ ප්‍රදර්ශනය කරගත නොහැකිවීමේ සන්තෑසිය තමයි.

රෝයි - සුමනා යුවළ සිනමාවෙන් යමක් හම්බ කරගත්ත ද පෙරළා ඒ සියල්ල යළි සිනමාවටම දායක කළ අයය. ඔවුන් සිනමාවෙන් ඉපිද ඒ තුළ ජීවත් වූවා සේම ඉන් පරිබාහිරව තම පෞද්ගලිකත්වය වෙනුවෙන් ගෙවල් දොරවල්, යාන වාහන, ඉඩකඩම් හරි හම්බ කළ අය නොවූහ. එබැවින් චිත්‍රපට දෙකකට පොදු ආයෝජන මෙසේ සිර වී තිබීම ඔවුනට බෙහෙවින් අසිරුතාවලට මුහුණ දෙන්නට වන සිද්ධිය වනු නොඅනුමානය.

විශේෂයෙන්ම පසුගිය වකවානුවේ සුමනා තදබල ලෙස රෝගීවීම ද ඔවුන් බෙහෙවින් අපහසුතාවට පත් කළ සිද්ධියක් විය. පෞද්ගලිකව මේ සියලු අසීරුතා විඳිමින් වුව ද අදත් ඔවුන් කතා කරනුයේ සිනමාව හා කර්මාන්තය පිළිබඳවය.

‘චිත්‍රපට කර්මාන්තයට දැන් සෙනසුරා ලබලා තියෙන්නේ. දිනෙන් දිනම පිරිහෙනවා. සිනමාවට ආදරය කරන මිනිසුන් වශයෙන් අපට මේ දිහා බලාගෙන ඉන්න බෑ. අද සිනමාවට මිනිස්සු ගෙන්වන්නේ කොහොමද. ටිකට් එකක් රු. 300 - 400/- යි. මේ අධික මිලත් සිනමාව බිඳ වැටෙන්න හේතුවක්. අනිත් හේතුව තමයි චිත්‍රපට බෙදා හැරීමේ ක්‍රමවේදයක් සැකසීම. මම සංස්කෘතික ඇමතිතුමාට යෝජනාවක් කරනවා නැවත වරක් චිත්‍රපට බෙදා හැරීම සංස්ථාවට බාර දෙන්න කියලා.

අපේ සිනමා ඉතිහාසය තුළ රෝයි ද සිල්වා වැන්නෝ බොක්ස් ඔෆිස් රජවරුය. එහෙත් වර්තමානයේ ඔවුනට ද තම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ගැනීම අභියෝගයට ලක් වූ කාරණාවකි. වාර්තා පිට වාර්තා තබමින් ආදායම් ලැබූ චිත්‍රපට සේම, සිනමාව වෙනුවෙන් සම්මාන රැසක් ද හිමි කරගත් ඔහු වැන්නෙකුගේ අගය වරක් සිග්නිස් උලෙළකදී විග්‍රහකොට තිබුණේ මෙසේය.

‘සිනමාව කෙරෙහි ලාංකික ප්‍රේක්ෂකයාගේ අවධානය හීන වන විට ඔවුන් නැවත ආකර්ෂණය කරගනු පිණිස අවර ගණයේ රාගාන්විත තේමාවන් කරා අධ්‍යක්ෂවරන් නැඹුරුවීමේ ප්‍රවණතාවයක් බවට පත් විය. එබඳු පරිසරියක වෙළෙඳපොළ සඳහා ලිංගික තේමාවෙන් බැහැරව පොදු රස වින්දනය සඳහා වු විනෝදාත්මක චිත්‍රපටයන් ලෙස ඉතා දීර්ඝ කාලයක් ප්‍රේ‍්‍රක්ෂකයන්ගේ අඛණ්ඩ අවධානය දිනාගැනීම පිළිබඳ රෑ ඩැනියෙල් දවල් මිගෙල් චිත්‍රපටය සිග්නීස් ජූරියේ අවධානයට පාත්‍ර විය’.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post