සරත් කුලාංග ගැන දෙයියොත් දන්නේ නෑ-ලූ

0 Aug 18, 2017 09.25am Art

“ඇයි බං මට නොකිව්වේ, මමත් එනවනේ පාන් කන්න.” සරත් කුලාංගත් ඒ කතාවට අලගු තිබ්බා. කාලය ගෙවිලා ගියා. හදිසියේම හද්දින්නත් තරු වැඩසටහනට කුලාංගත් ගියා. ඒ වැඩසටහන අතරවාරයේදි ඔහුගෙන් මේ මාලු ඇඹුල් තියල් කතාවත් නිවේදිකාව විමසුවා. ඒ වැඩසටහන අර යහළුවත් නරඹලා තිබුණා. එය නරඹලා සරත්ට ඔහු දුරකථන ඇමතුමක් ලබාදුන්නත් නිකමටවත් මාලු ඇඹුල් තියල් ගැන නම් අහලා තිබුණේ නැහැ.

සරත් කුලාංග කියන්නේ දක්ෂ නළුවකු පමණක් නොවෙයි. දක්ෂ අධ්‍යක්ෂවරයෙක්. සංගීතඥයෙක්. කලා ලොවේ මෙවැනි භූමිකා රැසක ම සැරිසරන ඔහුගේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයට මේ මාසේ 24 වැනිදාට වසර හයක්. 2011 වසරේ අගෝස්තු 24 වැනිදා ලුම්බිණි රඟහලේ වේදිකා ගතකළ ‘දෙයියොත් දන්නේ නෑ’ නාට්‍යය අද දක්වා ම කොළඹ, ගාල්ල, කඩවත, නුවර නගරවල වගේ ම ත්‍රිකුණාමලය, අඟුණකොළපැලස්ස, මොනරාගලින් බොහොම ඈත ගම් නියම්ගම්වලත් සංචාරය කළා. එතැනින් නොනැවතුණු ‘දෙයියොත් දන්නේ නෑ’ නාට්‍යය කිහිපවරක් ම ඔස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු විදේශ රටවල් කිහිපයකමත් වේදිකා ගත කිරීමට තරම් වාසනාවන්ත වුණා.

මේ විදියට දර්ශන වාර තුන්සියයට ආසන්න සංඛ්‍යාවක් වේදිකා ගතවුණු ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ වසර හයක මේ අතීතය සමරමින්, එය මේ මස 20 වැනිදා සවස 6.30ට බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර් එකේ වේදිකා ගත කිරීමට නියමිතයි. එදාට මේ නාට්‍යය වේදිකා ගතවීමට අමතරව තවත් කටයුත්තක් සිදුවෙනවා. ඒ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ පිටපතත් පොතක් විදියට එළිදැක්වීමයි. ඒ නිසා එදාට මේ විශේෂිත කටයුතුවලින් අනතුරුවයි ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා ගතවන්නේ. මේ පෙළ ගැසෙන්නේ එහි අධ්‍යක්ෂ සරත් කුලාංග සමඟ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ අතීතයේදී සිදුවුණු රසමුසු සිදුවීම පිළිබඳ මතකය ගෙනහැර පාන්නයි.

සරත් කුලාංගගේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය නිර්මාණය වුණේ මිනිස්සුන්ගේ සිත් සුවපත් කිරීමේ අදහස් ඇතිව. මේ අදහස ඇති නාට්‍යයක් නිර්මාණය කිරීමට සරත් කුලංගට යෝජනාව ගෙනාවේ යහළුවෙක්. ඒ නාට්‍ය සංවිධායක ජූඩ් ශ්‍රීමාල්.

“ඔයා මෙතෙක් කාලයක් කළේ අනෙක් අයගේ නාට්‍ය කර කර ඉන්න එකයි. ඒ නිසා ඔයාගේ ම නාට්‍යයක් කළොත් නරකද? මම පිටපතක් දෙන්නම්.”

එහෙම පැවසුව ඔහු සරත්ගේ අතට පත්කළේ අජිත් මෙන්ඩිස් ලිව්ව වේදිකා නාට්‍යය පිටපතක්. ඒ පිටපත සරත් කුලාංග නාට්‍යවේදියාගේ සිතට ඇල්ලුවා. එහෙන් මෙහෙන් සුළු සුළු සංශෝධන කරලා ඔහු ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකාවට රැගෙන ආවා. ඉන් වැඩිපුර ම කියැවෙන්නේ ස්ත්‍රිය ගැන.

මෙහි රඟපාන්නේ වර්තමානය වනවිට ප්‍රේක්ෂකයන් අතර බොහොම ජනප්‍රිය පිරිසක්. මුලින් ම එහි ප්‍රවීණ නළු විජය නන්දසිරි වගේම ආනන්ද අතුකෝරලත් රඟපෑවා. ඔහුගේ සමුගැනීමත් එක්ක දැන් ඒ චරිතයට පණ දෙන්නේ මිහිර සිරිතිලක. ආනන්දගේ තිබුණු කාර්යබහුල බවත් එක්ක ඔහු නාට්‍යයෙන් ඉවත් වුණත් ඒ චරිතය රඟපෑවේ මුලින් ම මිහිර සිරිතිලක. දැන් ඒ චරිතය රඟපාන්නේ ඉන්දික ජයසිංහ. ඊට අමතරව කුමාර තිරිමාදුර, තාරක උපේන්ද්‍ර, ඉන්දික ජයසිංහ, තුෂාරි ගුණරත්න කියන නළු නිළියනුයි මෙහි රංගන දායකත්වය දක්වන්නේ.

ඔවුන් සියලුදෙනා ම ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයට එක්රොක් වුණේ බොහොම කැමැත්තෙන්. දුර පළාතක වේදිකා නාට්‍යය වේදිකා ගත කිරීමට යන අවස්ථාවලදි සියල්ලන්ගේම රස කතාවලිනුයි මුළු බස්රථයම පිරෙන්නේ. එක් කෙනෙකු එක් රස කතාවක් කියා අවසන් කරන විට ම මෙන්න තවත් කෙනෙක් තවත් රස කතාවක්. ඒ කතා අතර මෙහි සිටින අයට සිදුවන ඇබැද්දිත් නැතිව ම නොවෙයි.

මේ සිදුවීම සිදුවන්නේ නුවර කටුගස්තොටදී. ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය වේදිකා ගත කිරීමකට යන අවස්ථාවක. ඒ යන ගමනේදි බසය වෙනදා වගේ ම නැවැත්තුවේ තේ බීමට සිතාගෙන. සියල්ලන් ම බසයෙන් බැස්සේ අවට සිරිය නරඹන ගමන්. ඔවුන්ගේ දර්ශන පථයට ලක්වුණේ රංචු ගැසිලා ඉන්න රිලව් රංචුව. අවට හැමතැනම විසිරිලා සිටි උන්ට සිනහ වෙවී කට්ටිය ම එතැන තිබුණු කඩයට රිංගුවා. ඒ මේතරම් දුරක් පැමිණ ගමන් විඩාව නිවා ගැනීමටතේ කෝප්පයක් පානය කිරීමට. තේ කෝප්පයක් පානය කළාට පස්සේ හැමෝම කඩෙන් එළියට බැස්සේ නැවතත් ගමන් ආරම්භ කිරීමට සිතාගෙන. ඒත් ඒ අවට සිටි රිලවුන් රංචුවේ කිහිපදෙනෙකුගේ අත්වල තිබුණේ පරළු පාන්.

“මෙන්න බොලේ රිලවුනුත් පරළු පාන් කනවා.”

සරත් අයියා කිව්වේ හිනාවෙවී. බස්එක ළඟට යනවිටයි හැමෝටම කාරණය වැටහුණේ.

“අන්න විජය අයියාගේ පාන් ටිකට වැඩේ දීලා.”

බස්එකට මුලින් ම නඟින්නට ගිය මිහිර කෑ ගහලා කිව්වේ අනෙක් අයට. රියැදුරුගේ ආසනෙත් රිලවු කිහිපදෙනෙක් ම. අවසානයේදියි හැමෝම දැන ගත්තේ. ඒ කාල තියෙන්නේ විජය අයියා කන පාන්පෙති ටික බව.

‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය සරත් කුලාංගගේ වුණත්, නඩේගුරා විදියට මුල්තැන හිමිවුණේ විජය නන්දසිරිට. කොහොමත් ඔහු වේදිකාවට බොහොම ගුරු කළ ප්‍රවීණ නළුවෙක්. මේ නාට්‍යයේදි ඔහු වේදිකාවට පිවිසෙන්නේ නාට්‍යය ආරම්භ කරලා විනාඩි පනහකට පස්සේ. ඒත් ඔහුගේ අපූරු ගුණාංගයක් තිබුණා. කොයිතරම් වේලාවකට පසුව ඔහු වේදිකාවට පා නැඟුවත් මුලින් ම අංගරචනා කටයුතුවලට පිවිසෙන්නේ ඔහුයි. ඒ කටයුතු අවසන් වුණාට පස්සේ නාට්‍යය ආරම්භ කරනවාත් එක්ක ම තිරය අසල පුටුවක වාඩිවන විජය අයියා ඉන් නැඟිටින්නේ විනාඩි පනහකට පස්සේ. ඒ ඔහුගේ චරිතයට වේදිකාවට පිවිසෙන්නට. ඒ වගේ අපූරු කතා ටිකකුත් ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ තිරය පිටුපස සැඟවිලයි තිබුණේ. ඒ වගේ ම විජය අයියා අප අතරින් සමුගැනීමට දවස් කිහිපයකට පෙරත් සිටියෙත් ‘දෙයියොත් දන්නේ නෑ’ එක්ක.

“අපූරු සහෘදයෙක් අපට නැතිවුණා. ඔහු නැති අඩුව මේ නාට්‍යයේදි අපට බොහොම දැනෙනවා.”

සරත් කුලාංග සිය මිතුරා පිළිබඳ මතකයට නැඟුවේ සැබෑ ම ශෝකයෙන්.

ඈත පළාත්වල වේදිකා ගතවුණු ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය අවසන් වුණාට පස්සේ ඊළඟ දවසේ සියල්ලන්ට ම වෙනත් වැඩක්. ඒ නිසයි රථාචාර්යතුමාට සිදුවන්නේ හැටට හැටේ වේගයෙන් කොළොම්පුරවරයට සියල්ලන් ම රැගෙන එන්න. මේ එන අතරතුර හදිසියේ ම ට්‍රැපික් පොලිසියෙන් වැටෙන දඩය ගැන නම් කතා දෙකක් නැහැ.

“සරත් අයියේ, බස්එක පොලිසියෙන් අල්ලලා.”

හොඳ නින්දක් නිදාගෙන ඉන්න සරත් කුලාංගව, කුමාර තිරිමාදුරව, මිහිරව ඇහැරවන්න කොන්දොස්තර තැන දෙපාරක් හිතන්නේ නැහැ. ඉක්මනට එන්න ඉන්න පිරිසගේ වග තුග ගැන කතාවට දක්ෂ පොලිස් තැන, නාට්‍ය කණ්ඩායමේ පැය භාගයක් පමණ ඒ වෙලාවෙදි ගන්නේ ඔවුන්ට තිබෙන ආදරේට.

“මේ රටක් වටින මහත්වරුන්ව පරිස්සමෙන් අරගෙන යන්න එපැයි.”

අවසානයේ කාරුණික පොලිස් නිලධාරියා පවසන්නේ රියැදුරුට අවවාදයක් දෙන ගමන්.

මේ සිදුවීම නම් වුණේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ මංගල දර්ශනය දවසේ. ලුමිබිණියේ නාට්‍යය රඟදැක්වීමට සියල්ල සූදානම්. ටික වෙලාවක් ගියාට පස්සෙයි දේවාලය සහිත වේදිකා පසුතලයට විජය අයියා පිවිසෙන්නේ. එදා විජය අයියා ඒකට ගොඩවුණා විතරයි, මෙන්න වේදිකා පසුතලය විජය අයියාගේ ඇඟ උඩ. නොසිතුව අවස්ථාවක සිදුවුණු මේ කලබැගෑනිය සාමාන්‍ය තත්ත්වයට ගෙනෙන්නට ඒ වෙලාව අනුව දෙබස් කිහිපයක් කියන්නටත් විජය අයියාට සිදුවුණා.

මේ ඇබැද්දිය සිදුවුණේ ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ ආරච්චිලට. ආරච්චිලගේ චරිතය පණ පොවන තිරිමාදුරට. ආරච්චිලට තෙවරක් ම වේදිකාවට පිවිසීමට තිබෙන්නේ බෙර පදයකින්. ඔහුගේ අතේ තිබෙන්නේ බස්තමක්. ඒ වෙලාවේ වේදිකාව ආලෝකවත් වුණාට පිටුපස තිරයත් එක්ක තිබෙන නළුවන් ඉන්න ප්‍රදේශය තිබෙන්නේ කළුවරේ. ඔන්න දැන් ඒ පිවිසීමට තිබෙන එක් අවස්ථාවකදි ආරච්චිල වේදිකාවට පිවිසෙන බෙර පදය වැයෙනවා. ආරච්චිල අතදාලා බස්තම ගත්තා. අරගෙන කකුල තිබ්බා විතරයි. ආරච්චිලට දැනෙනවා කවුදෝ තිරය පිටුපස ඉඳගෙන තට්ටුවක් දානවා. ඔහු ආයෙත් වේදිකාවට යන්න තවත් පාදයක් තිබ්බා.

“ඒයි ඔය අතේ තියෙන්නේ බස්තම නොවෙයි.කොස්ස.”

සරත් කුලාංගගේ හඬ තිරිමාදුර හඳුන ගත්තා. එවිටයි තිරිමාදුර බස්තම දෙස බැලුවේ. ඊට පස්සේ කොස්ස පැත්තකට දමලා බස්තම හෙව්වා. ඒ අතර විජය අයියා කොහොම හරි ප්‍රේක්ෂාගාරය පාලනය කර ගත්තා. ඒ ආරච්චිල වේදිකාවට පිවිසෙනතුරු.

දවසක් ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යයේ පිරිස ත්‍රිකුණාමලය ප්‍රදේශයට පිවිසුණේ නාට්‍යය වේදිකා ගත කිරීමට සිතාගෙන. ඒ ගමනට එදා අධ්‍යක්ෂවරයාගේ යහළුවකුත් සහභාගි වුණා. සියල්ලන් සමඟම හිතවත් වුණු මේ අමුත්තා ඒ ගමන යන අතරතුර අසල තිබුණු කඩයට මොනවාද කියනවා කට්ටියම බලාගෙන. ඒ ගමන ගිහින් එන අතරතුර අර කඩයෙන් ඔහු පෙට්ටියක් අරගෙනයි රථයට පිවිසුණේ.

“අයියේ ඔය පෙට්ටියේ තියෙන්නේ මොනවද?”

මිහිර ඇහුවේ තිරිමාදුරගේ මුහුණ බලන අතරතුර.

“මේ කේක් එකක්.”

අමුත්තා පැවසුවේ ඇඟට පතට නොදැනී. ඒත් තිරිමාදුරට ඒ ගැන තිබුණේ සැකයක්. අමුත්තා එහාට මෙහාට වනතුරු සිටි ඔහු මේ පෙට්ටිය බැලුවේ ඇත්ත දැන ගන්න සිතාගෙන.

“මාලු අඹුල් තියල්....”

තිරිමාදුරට කියැවුණා. ඔහු මිහිරගේ මුහුණ බැලුවේ දෙමුද වැඩක් කියන්න වගේ. එසැණින්ම ඒ අසල තිබුණු කඩයකින් පාන් ගෙනාව කට්ටියට මාලු ඇඹුල් තියල් එක ඉවර කරන්නට වැඩි වෙලාවක් ගියේ නැහැ. ඒ විතරක් නොවෙයි, මේ වුණු සිදුවීම ගැන සරත් කුලාංග දැනුවත් කිරීමටත් තිරිමාදුර අමතක කළේ නැහැ.

“ඇයි බං මට නොකිව්වේ, මමත් එනවනේ පාන් කන්න.”

සරත් කුලාංගත් ඒ කතාවට අලගු තිබ්බා. කාලය ගෙවිලා ගියා. හදිසියේම හද්දින්නත් තරු වැඩසටහනට කුලාංගත් ගියා. ඒ වැඩසටහන අතරවාරයේදි ඔහුගෙන් මේ මාලු ඇඹුල් තියල් කතාවත් නිවේදිකාව විමසුවා. ඒ වැඩසටහන අර යහළුවත් නරඹලා තිබුණා. එය නරඹලා සරත්ට ඔහු දුරකථන ඇමතුමක් ලබාදුන්නත් නිකමටවත් මාලු ඇඹුල් තියල් ගැන නම් අහලා තිබුණේ නැහැ.

“මම වැඩසටහන බැලුවා.”

ඔහු කියලා තිබුණේ එපමණයි. කොහොම වුණත් අවසානයේ මාලු ඇඹුල් තියල්වලට වුණ දේ ‘දෙයියොත් දන්නේ නෑ’.

දිනෙන් දින ම ‘දෙයියොත් දන්නේ නෑ’ වේදිකා නාට්‍යය වේදිකා ගත වෙන්නේ මේ වගේ කතා සාගරයක් පසුපස තියාගෙන. එවැනි සුන්දර මිනිස්සු පිරිසක් සිටින මේ නාට්‍යය නරඹන්න අපත් ඔබට ආරාධනා කරනවා. 20 වැනිදා පුංචි තියටර් එකට එන්න. ‘දෙයියොත් දන්නේ නෑ’ නරඹන්න.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post