විසුවියස්‌ කඳු පාමුල කරන්න ඉතාලියට ගිය නිලුක්‍ෂි ප්‍රනාන්දු

0 Aug 16, 2017 09.16am Art

* නිලුක්‍ෂි කාලෙකින් ටෙලි නාට්‍යයක දකින්න ලැබෙනවා.

මම දිගටම වැඩ කරා. විකාශය වෙන්න වැඩ ඉවර කරපු නාට්‍ය පහක්‌ විතර තියෙනවා. ඒත් තාමත් රූගත කිරීම් කරගෙන යන "තව දුරයි ජීවිතේ " නාට්‍යය විකාශය වෙනවා. ඒ හරහා තමයි මම මේ දවස්‌වල රසිකයො අතරෙ ඉන්නෙ.

* කොහොමද ලැබෙන ප්‍රතිචාර

ගොඩක්‌ හොඳයි. මේ නාට්‍යයේ තේමාවටත් මගේ චරිතයටත් ගොඩදෙනෙක්‌ කැමැති බව පේනවා.

* පහුගිය කාලේ මොකද කළේ.

ඉතාලියට ගියා විසුවියස්‌ කඳු පාමුල කියන ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට. මේකත් ලස්‌සන කතාවක්‌. මහන්සිවෙලා කරපු හොඳ නිර්මාණයක්‌ වගේම අලුත් අත්දැකීමක්‌.

* සැමියයි දියණියත් මේ ගමනට එකතු වුණාද?

නැහැ. මම තනියම ගියේ. ඒ දෙන්නත් එක්‌ක යන්න තිබුණ නම් හොඳයි. ඒත් ඉතිං ඒකට බජට්‌ නැහැනෙ.

* පදිංචිය වෙනස්‌ කළා කියලත් ආරංචියි

නෑ. එහෙම දෙයක්‌ වුණේ නෑ. මමයි මහත්තයයි දුවයි ගල්කිස්‌සෙ අපේ ගෙදර තමයි තාමත් පදිංචිය.

* මෙතෙක්‌ ඔබට ලැබුණ චරිත අතර ප්‍රේක්‍ෂකයන්ට දැනුණු චරිතයක්‌ තියෙනවද?

මගේ පළමු නිර්මාණය වූ සද්ගුණාකාරයේ වසන්ති චතුරාණිගෙ කුඩා කාලෙ පොඩි රෝස කියන චරිතෙ ඔය කියන විදියේ චරිතයක්‌. ඊළඟට ගැහැනු ළමයි නාට්‍යයේ කුසුම්ගෙ චරිතෙ. මම මෙතෙක්‌ කරපු චරිතවලින් බොහොමයක්‌ ප්‍රෙAක්‍ෂකයන්ට දැනුණ ඒව.

* නිලුක්‍ෂි ගොඩක්‌ අහිංසකයි කියන කතාව ඇත්තද?

එහෙම කියනව නම් ඒක ඇත්ත වෙන්න ඇති. මම සාමාන්‍යයෙන් පුංචි කාලෙ ඉඳල මගේ වැඩ කරගෙන පාඩුවේ ඉන්න කෙනෙක්‌.

* ඒ අහිංසක කමෙන් අයුතු ප්‍රයෝජන ගන්න හදපු අය එහෙම ඉන්නවද?

මම අහිංසකයි තමයි ඒත් ඔතෑනි චරිතයක්‌ නෙමෙයි. පවුලෙ වැඩිමලා විදිහට අම්ම තාත්ත මා ගැන තියපු විශ්වාසය නොබිඳ නංගිලා තුන්දෙනා බලාගෙන හොඳින් වගකීම් දරපු කෙනෙක්‌. බාහිර වැඩවලදී ඉදිරියට ආවා මිසක්‌ කවදාවත් මුළු ගැන්විලා හිටියෙ නෑ. ඒ තුළ මගේ අහිංසක කමෙන් අයුතු ප්‍රයෝජන ගන්න කිසිකෙනෙක්‌ ඉදිරිපත් වෙලා නෑ.

* එතකොට චරිත ලැබෙන්නෙ පෙනුම නිසාද අහිංසක නිසාද?

ඔය දෙකම නිසා නෙමෙයි චරිත ලැබෙන්නෙ රංගනයට තියෙන දක්‍ෂතාවය නිසා වෙන්න ඕන. හැබැයි පෙනුමයි අහිංසක කමයි ඒ සඳහා බලපාන වෙලාවලුත් තියෙනවා.

* සැමියා ජනක සමඟ ගෙවන ජීවිතේ ගැනත් විස්‌තර ටිකක්‌ කියමුද?

හරිම සුන්දරයි. ජනක කියන්නෙ මම හඳුනා ගත්තු දවසෙ ඉඳල අද වෙනකම් කිසිම වෙනසක්‌ නොවී එදා හිටපු විදියටම ඉන්න කෙනෙක්‌. ඒ වගේම මාව තේරුම් අරන් මං ගැන තියෙන විශ්වාසය ගැනත් මට ලබාදෙන රැකවරණයත් ඉතා ඉහළයි. අපි සතුටින් ජීවත් වෙනවා.

* රංගනයෙන් ඔබව ඈත් කරන්න ඔහු උත්සාහ කරලම නැද්ද?

අද වෙනතුරු මගේ රංගන කටයුතුවලට ඔහුගෙන් කිසිම බාධාවක්‌ එල්ලවෙලා නෑ. මම බාරගන්න චරිතයක්‌ ගැන පවා ඔහු හොයන්නෙ බලන්නෙ නෑ. ඒ මා ගැන තියෙන විශ්වාසය නිසා. මම තමයි ඒව එකින් එක ඔහුට කියන්නෙ එයා දන්නව මම වැරදි දෙයක්‌ කරන්නේ නෑ කියල. මම කවදාවත් ඒ විශ්වාසය කඩ කරන්නෙත් නෑ.

* රඟපෑම - ගෙදර දොරේ වැඩ දියණියගේ වැඩ සමබරව කරන්නේ කොහොමද?

සැමියගේ ගෙදරිනුත් මගේ ගෙදරිනුත් අපිට වැඩ වැඩි වෙලාවට ගොඩක්‌ උදව් ලැබෙනවා. අනික මගේ දුවත් පුංචි වුණාට අපි දෙන්නගෙ කාර්ය බහුලකම තේරුම් අරන් ඉන්න කීකරු දරුවෙක්‌. ඒ හැමදේම මට වාසනාව ට ලැබුණු දේවල්. ඒ තුළ මට හැමදේම අවුලක්‌ නැතුව කරගන්න අවස්‌ථාව උදාවෙලා තියෙනවා.

* දැන් දුව ලොකු නිසා පෙම්වතියගෙ චරිතය බාර නොගෙන හිටියොත් හොඳ නැද්ද?

මගේ දුව මානවී දුලන්‍යාට තාම අවුරුදු 6 යි. අම්මගෙ රැකියාව රංගනය කියන එක තේරෙනව. ඒත් පෙම්වතියගෙ චරිතෙද එහෙම නැත්නම් කරන්නෙ වෙනත් චරිතයක්‌ද කියන එක ගැන එයාට තාම තේරුමක්‌ නෑ. ඒත් වයසත් එක්‌ක එයා තේරුම් ගනියි අම්ම කරන්නේ රඟපෑමක්‌ නෙ කියල. ඒ නිසා මට පෙම්වතියගෙ චරිතෙ බාරනොගෙන ඉන්න අවශ්‍ය වෙන එකක්‌ නෑ.

* ගැහැනු ළමයි ටෙලිනාට්‍යය නිලුක්‍ෂිට විශේෂයි කියල හැමෝම කියනවා?

ඔව්. ඇත්තටම ලොකු විශේෂයක්‌ තියෙනව. ගැහැනු ළමයි නාට්‍යයේ වැඩ කරන්න ගිහින් තමයි මට මගේ මහත්තය ජනකව මුණගැහුනෙ. ඔහු කැමරා ශිල්පියෙක්‌ විදියට වැඩ කරා. ඇත්තටම ඔය කියන විශේෂය නිසා තමයි අද මම මේ විදිහට ජීවත් වෙන්නෙ.

(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post