මනුයි ලහිරුයි චයිනා ටවුමේ වැඩ

0 Jul 17, 2017 09.44am Art

දැන් ආදරය විඳිනවා...
එයා කවුද කියලා පත්තරවල දාන්න ඕනෑ නෑ

ශනුද්‍රියි යුරේනි එක්‌ක ඔය කියන විදිහේ සම්බන්ධයක්‌ නෑ

රම්බරීට ඔබ ආදරය කරන්න ඇති. ඒ වගේම සුදු ගවුමෙන් ඔබ පාසලේ සොඳුරු මතකයන් අතරේ අතරමං වෙන්නත් ඇති වගේම නූතන සංගීතය අතික්‍රමණය කරමින් ළබැඳියට ඔබ සරාගයෙන් මත්වෙලා ආදරය කරන්නත් ඇති. ඒ ඔහුගේ ගීත රචනයේ නිර්මාණාත්මක බවින් ඔද වැඩුණු දක්‌ෂතාවයමයි. කොහොම වුණත් පසුගිය අතීතය ගැන ආපසු හැරිලවත් බලන්නට අකමැති ඔහු නමින් ගීත රචක මනුරංග විඡේසේකර. පොඩ්ඩක්‌ නැවතිලා අහන්න, දකින්න මේ ඔහුගේ කතාව ........

ඉතිං මනුරංග කොහොමද ජීවිතේ ?

වරදක්‌ නෑ. පාඩුවෙ ගීත වැඩටික කරගෙන ඉන්නවා.

කාර් රේස්‌ යනව කියල ආරංචියක්‌ ආවා. ඇත්තද?

ඒකත් එක්‌තරා විදියකට රේස්‌ එකක්‌ තමයි. ඔය කියන්නෙ මගේ වැඩසටහන ගැනනේ.

ඔව්... ඔව්... අපි කියමු ඒ ගැන විස්‌තර ටිකක්‌ ?

ස්‌වාධීන රූපවාහිනියේ සිකුරාදා රාත්‍රි 7.00 ට තමයි විකාශය වෙන්නේ Race With Dilantha Maalagamuwa කියලා.

කොහොමද ඒ අත්දැකීම ?

ඒක අමුතුම අත්දැකීමක්‌. ඒ රූගතකිරීම්වල තමයි ඉන්නේ මේ දවස්‌වල. එහෙම තමයි ඉතිං.

දැන් අලුතින් සිංදුවක්‌ කරන්න කාලේ හරි නේද ?

අවසානෙට ගීත 02 ක්‌ කරා. එකක්‌ දසුන් මධුෂාන් ගායනා කරන බත්කූරෝ ගීතය සහ මිහිඳු ආරියරත්න ගායනා කරන නම නොදන්න මගේ දුවණි කියන ගීත දෙක තමයි අන්තිමට ආවේ. ඊට කලින් සරාගයේ සිංදුවක්‌ ආවා. ළඟදීම ගීතයක්‌ කරනවා. බලාපොරොත්තුවෙන් ඉමු.

ඒ ගැන ඉඟියක්‌ ?

මම සහ ළහිරු එකතුවෙලා කරන අලුත්ම සිංදුව තමයි චයිනා ටවුන් කියන සිංදුව. මේ දවස්‌වල ඒ ගීතයේ රූගත කිරීම් කරන්න සූදානම්. දැනට ඒකෙ රූගත කිරීම් කරනවා.

මනුරංග ගීත රචනා කරන්නේ එකම පිරිසකට විතරක්‌ නේද?

නෑ... නෑ.... එහෙම නෑ. එහෙම සීමා වෙච්ච පිරිසක්‌ නෑ. මගේ අවශ්‍යතාව දැනෙන පිරිසට විතරයි මම සිංදු ලියන්නේ. මම අනවශ්‍යයි කියලා හිතෙන අයට මොකටද මම සිංදු කරන්නේ? මම ඕන කියල හිතෙන පිරිස්‌ මට හම්බවෙනවා. ඒ අයට සිංදු ලියනවා.

ඒ කියන්නෙ මනුරංග ඕන කියල හිතෙන ඕන කෙනෙක්‌ට සිංදු ලියනවා ?

ගීතයක්‌ ලියල දෙන්න කියලා ඉල්ලන ඕන කෙනෙක්‌ට ගිතයක්‌ ලියල දෙන්න මම සූදානම්. එච්චරයි.

මනුරංග කියන ගීත රචකයා කොයි වගේ කෙනෙක්‌ද ?

කොටින්ම කිව්වොත් ඒ ගීත රචකයා වතුර වගේ. දාන භාජනේ අනුව හැඩගැහෙනවා. මගේ ශෛලිය මේක, මම ලියන්නෙ මේ ගීත විතරයි, මගේ ආර මේක මේක කියල එකක්‌ මට නැහැ. මම හොයාගෙන කවුරුන් හෝ කෙනෙක්‌ එනවනන් ඔහු කුමන සංගීතවේදීයෙක්‌ වුණත් ඒ ඕනම දේකට සාධාරණයක්‌ කරන්න පුළුවන් ගීත රචකයෙක්‌ මම. රම්බරී සිට ලබැදියේ දක්‌වා පරාසය තුළ ඕන එකක්‌ මම ලියනවා.

රම්බරීට බැන්න පිරිස ආයෙමත් එකතු කරගන්න මොනවද යෙදූ උපක්‍රම ?

විශේෂයි කියලා උපක්‍රම නැහැ. මම බොහොම ස්‌වාභාවිකත්වයට ඉඩදෙන කෙනෙක්‌. ලියවෙන දේට මම ඉඩදෙනවා. ඒක තමයි මගේ තියෙන උපක්‍රමය. නැතුව මම ඔය වරුගණන් අරගෙන සිංදු ලියන කෙනෙක්‌ නෙවෙයි. මගේ සිංදුව ඒ වෙලාවට එන මුල්ම අදහස තමයි. ඒකයි මම විස්‌වාස කරන්නේ.

එතකොට එහෙන් මෙහෙන් අහුල ගත්ත ඕනම හිස්‌ වචනයක්‌ මනුරංගට ගීතයක්‌ කියල කෙනෙක්‌ කිව්වොත් ?

මොනව කියන්නද. ඒ කෙනාට බොහොමත්ම ස්‌තුතියි කියනවා අදහසට.

යුරේනිට සිංදුව ලිව්වේ මොකක්‌ හෝ හේතුවක්‌ නිසාද ?

නෑ ඉතිං ඒක සරල දෙයක්‌නේ. යුරේනි මට කිව්ව වේදිකාවට ගැළපෙන පාස්‌ බීට්‌ තියෙන සිංදුවක්‌ ලියල දෙන්න කියලා. අවශ්‍යතාවය ඉටුකළා.

යුරේනිට ශනුද්‍රිට මොකද ඒ තරම් සමීප ?

ඒ මගේ හොඳම යාලුවන්ගෙන් දෙන්නෙක්‌. තව ඉන්නව ඒ වගේම ලොකු පිරිසක්‌. ගොසිප්වල කියයි ඒව මේවා. ඒව ගොසිප්වලටම හොඳයි කියල තමයි මට කියන්න තියෙන්නේ.

ඒ යාළුකම ආදරයකට සමීප නැද්ද ?

ශනුද්‍රි එක්‌ක හරි යුරේනි එක්‌ක හරි විවාහ වෙන්නවත් යාලු වෙන්නවත් අනියම් සම්බන්ධයක්‌වත් මොකවත් නෑ. ඒ දෙන්න මගේ හොඳම යාලුවෝ විතරයි. ලංකාවේ ඉතින් ගෑණු ළමයෙක්‌ට එයාගෙ හොඳම යාලුවා පිරිමි ළමයෙක්‌ වෙන්නත් බෑ. පිරිමි ළමයෙක්‌ට ගෑණු ළමයෙක්‌ හොඳම යාලුවා වෙන්නවත් බෑනේ. මාත් එක්‌ක යාලුවෙන්න නම් ඒ දෙන්නටම පිස්‌සු තියෙන්න ඕන මට හිතෙන විදියට.

ඒ වුණාට දැන් මනුරංග පෙම්වතෙක්‌නේ ?

ඔව්.. මං පෙම්වතෙක්‌. මං දැන් ආදරය විඳිනවා.

පෙම්වතිය ගැන කියන්න කැමතිද ?

මට කියන්න බැරි තරම් හංගගෙන ඉන්න කරුණු කාරණයක්‌ නෑ. මාත් එක්‌ක ආදරය කරන ළමයගේ කැමැත්තක්‌ නෑ ප්‍රසිද්ධ මාධ්‍යයට පැමිණෙන්න. එතන ඉතිං පත්තරේ දාන්න දෙයක්‌ නෑනේ. මම සාමාන්‍ය මිනිහෙක්‌.

කවද වගේද විවාහවෙන්න හිතන් ඉන්නේ ?

තාම ඉතිං කාල වකවානුවක්‌ හිතලා නෑ. ඒකත් ඉතින් අනිත් දේවල් වුණා වගේ සුපුරුදු පරිදිම වෙයි.

පෙම්වතියට සිංදුවක්‌ ලියන්න අදහසක්‌ නැද්ද ?

එහෙම මේකටම සිංදුවක්‌ ලියනවා කියලා මම සිංදු ලියන්නේ නෑ. මම විඳින ඒ ආදරේ නොදැනුවත්වම ගීතයක්‌ බවට පත්වේවි.

අතීතයේ ඒ ගත්ත තීන්දු තීරණ ගැන අද පසුතැවෙනවද ?

පසුපස ගැන හිතන්න, ඒ ගැන පසුතැවිලිවෙන්න මම ඒ ගැන හිතන්න ඕන. ඒක නිසා පසුපස වෙන්නෙ මොකද්ද කියලා මම දන්නේ නෑ.

ගීත රචකයාට වඩා මනුරංග කියන කෙනා වෙනස්‌ද ?

ම්.. ම්.. මනුරංග කියන්නේ වෙඩිත් වැදිලා ලේත් ගිහිල්ලා පපුව නවතිනකන් වෙඩිවැදුණා කියල හිතන්නෙ නැති ජාතියේ මනුස්‌සයෙක්‌. කිසිම දෙයක්‌ ඕනවට වඩා ඇඟට ගන්නෙ නෑ මම.

නිවේදනය කරන්න ගිහිල්ලා අනාගත්තා නේද ?

කවුද කියන්නේ මම අනාගත්ත කියල ? මට තාම කවුරුවත් කියල නෑ මම අනාගත්ත කියලා. ගී පද රචකයෙක්‌ වෙන්න කලින් මම නිවේදකයෙක්‌ පාසල් කාලයේ ඉඳන්ම. මම ගී පද රචකයෙක්‌ වෙන්න ගිහින් අනාගත්ත කිව්වොත් දෙපාරක්‌ හිතනවා. ඒත් මේක මම පිළිගන්නේ නෑ.

පොතක්‌ ලියන්න හිතුවෙ මොකද ?

මට එන අදහස්‌ ගීත වලින්ම ලියන්න බැහැ. එච්චර ගීත ලියන්නත් බෑනේ. ඒ දේවල් ප්‍රකාශ කරන්න මාධ්‍යයක්‌ අවශ්‍ය වුණා. ඒ නිසයි පොතක්‌ ලිව්වේ.

එතකොට රඟපෑම් වැඩකටයුතු ?

හොඳින් කෙරීගෙන යනවා. සුපුන් රත්නායකගේ මගේ ආදර අවනඩුව කියන නාට්‍යයේ රඟපෑවා.

ප්‍රවීණ ගීත රචකයො මනුරංගගෙ ගීත රචනය ගැන මොකද කියන්නේ ?

ප්‍රවීණ අය ගොඩක්‌ මුණගැහිල තියෙනවා. හැබැයි මට මුකුත් කියලා නෑ තාම. එහෙම කියන්න තරම් දෙයක්‌ කරල නැතුව ඇති නේද? මම එහෙම කරපු දවසට ඒ අය එහෙම කියයි. උත්සාහ කරනවා ඒ මට්‌ටමට එන්න.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post