අද නිර්මාණය වන බොහෝ ගීත කුණු ගොඩවල්

0 Jul 13, 2017 09.33am Art

ඉන්ද්‍රජිත් ‍ෙදාලමුල්ලගෙන් අලුත් නිර්මාණ රසිකයන්ට ඉදිරියේදී අහන්න ලැබෙයිද?

මම මේ වෙනකොට අලුත් නිර්මාණ විස්සක් විතර කරලා තිබෙනවා. දෙසැම්බර් මාසෙ අලුත් ඇල්බම් එකක් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. දුෂාන් ජයතිලක, ඩෙන්සිල් නුගේගොඩ, එස්.එස්. සේරම් යන ශිල්පීන් ඒ වෙනුවෙන් මට ගොඩක් උදවු කළා. 'හිමිවීමම ආදරය නොවේ' 'පින්තාරුවක් සේ', 'කියන්න රහසින් ළංවීලා' වගේ ලස්සන සින්දු ටිකක් ඒ ඇල්බම් එකට ඇතුළත් වෙනවා.

ඔබත් රීමේක් රැල්ලට අනුගත වුණා නේද?

මගේ ජනප්‍රිය ගීත දෙකක් වුණ 'දුරස් වන්නට' සහ 'මලක් වී ඔබ' කියන ගීත දෙක රීමේක් කළා. අනුගත වුණාද කියන එක නෙමේ වැදගත්. අලුත් පරම්පරාවට ඒ සින්දු අහන්න සලස්වන්නයි මට ඕන වුණේ. නව රැල්ලට අපිත් අනුගත විය යුතුයි. කොහොම වුණත් මගේ හැම නිර්මාණයකම සංගීතය කළේ මමමයි. ඒ නිසා රීමේක් කරන එක මට එච්චර ගැටලුවක් නෙමෙයි.

සංගීත ක්ෂේත්‍රයට ඇවිත් දැන් ලොකු කාලයක් ගතවෙලා නේද?

ඔව්. ඇත්තටම මම ගායකයෙක් විදියට නෙමෙයි මේ ක්ෂේත්‍රයට ආවේ, වාදකයෙක් විදියට. 1989දී විතර පටන් ගත්ත 'සෙවන් අප්' කියන වාදක මඬුල්ලේ විද්‍යුත් ඕගන් වාදක ශිල්පියා වුණේ මම. ඒ බෑන්ඩ් එක පවුලේ අය එකතුවෙලා කරපු වැඩක් කිවුවොත් හරි. මගේ සහෝදරයන් සියලුදෙනාම ඒ බෑන්ඩ් එකේ හිටියා.

බෑන්ඩ් එකේ ඕගන් ගහපු පුද්ගලයා හිටි හැටියෙම ගායකයෙක් වෙන්නේ කොහොමද?

අපි සෙවන් අප් සංගීත පහස කියලා ව්ර්ණීව්ඉඊර්ණීර්ථී එකක් කළා. ඒකෙ පොඩි සින්දු කෑල්ලක් කියන්න මටත් අවස්ථාව ලැබුණා. ඒ සින්දුව අහපු වජිර දේශප්‍රිය කියන මහත්මයා කිව්වා සින්දුවක් කරමු කියලා. ඒ විදියට තමයි ඕගන් ගහපු කෙනා ගායකයෙක් වුණේ.

ඉන්ද්‍රජිත් ‍ෙදාලමුල්ල කියන ගායන ශිල්පියාගේ සින්දු අස්වැන්න ගැන මතක් කළොත්?

මේ වෙනකොට මම ගීත දෙසීයක් විතර කරලා තියෙනවා. ඒ වගේම කැසට් තුනක් සහ සී.ඩී. දෙකක් කරලා තියෙනවා. 'දුරස් වන්නට සිතන හැමවිට' ගීතය තමයි මුලින්ම ජනප්‍රිය වුණේ. ඒ ගීතය පටිගත කළේ 1993දී. 'සමුගෙන යන්න කලින්', 'ගත බබළයි', ඔබ මගේ සෙනෙහස යදින දිනේ', 'සිතක් තියනවා' වැනි මගේ ගීත අදටත් ජනප්‍රියයි.

ආදර ගීත ගායනා කළ ඔබට ඒ කාලේ රසිකාවියන්ගෙන් ලොකු ආකර්ෂණයක් තියෙන්න ඇති?

රසිකාවියො විතරක් නෙමෙයි හැමදෙනෙක්ගෙන්ම ප්‍රතිචාර ලැබුණා. ලියුම් මිටි ගණන් එන්නේ. විදෙස් රටවලට ගියාමත් එහෙමයි. ඇත්තටම මම මේ වෙලාවෙ මගේ බිරිය මල්ලිකා ‍ෙදාලමුල්ලව මතක් කරන්නේ බොහෝම ආදරයෙන්. මොකද රසික ප්‍රතිචාර වැරැදි විදියට තේරුම් අරගෙන නෑ ඇය කවදාවත්. ඇය මගේ වෘත්තීය පිළිබඳව හොඳ දැනුවත් භාවයකින් ඉන්නේ. ඒ ගැන මට සතුටුයි.

ජනප්‍රියත්වය කියන දේ එක ලෙස පවත්වාගෙන යනවා කියන දේ ටිකක් අමාරු දෙයක් නේද?

ජනප්‍රියත්වය කියන දේ එක ලෙස තියාගන්න නම් අපි හොඳ නිර්මාණ රසිකයන්ට දෙන්න ඕනේ. සින්දුවකින් රසිකයෙක්ව අඬවන්න පුළුවන් නම් ඒක හොඳ නිර්මාණයක්. ඒත් දැන් ඉන්න ගායකයො බලන්න එයාල අඬ අඬා සින්දු කියනවා. රසිකයෝ හිනාවේවී අහන් ඉන්නවා. මගේ ජනප්‍රියත්වය අඩුවෙලා නැහැ. දවසකට ප්‍රසංග පහ, හයක මම සින්දු කියනවා.

හැබැයි ඔය අඬ අඬ කියන ගීත හිට් වෙනවා නේ. රසිකයො කියන්නේ ප්‍රවීණ ශිල්පීන් අලුත් නිර්මාණ කරන්නේ නැති නිසා ඒ නිර්මාණ ජනප්‍රිය වෙනවා කියලා?

එහෙම දෙයක් නෑ. අපි නිර්මාණ කරනවා. හැබැයි ඒ ගීත ප්‍රචාරය වෙන්නේ නෑ. අපේ පරණ ගීත විතරයි ප්‍රචාරය වෙන්නේ. මුදල් ප්‍රශ්නයත් ඒකට බලපානවා. අද අලුත් ගීතයක් මාධ්‍යයෙන් ප්‍රචාරය කරගන්න ගොඩක් මුදල් අවශ්‍යයි. අද ගීත බලෙන් අහන්න දීල තමයි ජනප්‍රිය කරන්නේ.

හැමදාම අලුත් පරපුරට බනින එක අසාධාරණයි නේද?

මම නම් කාටවත් බනින්නේ නෑ. හැබැයි අපි ඇත්ත කතා කරන්න ඕනේ. අද නිර්මාණය වෙන බොහෝ ගීත කුණු ගොඩවල්. පද රචනා ගන්න දෙයක් නෑ. මේ සින්දු පොඩි ළමයි පවා අහනවනේ. රසවින්දනය කියන දේ නැති තැන සමාජය විනාශ වෙනවා. හරිම අපරාධයක් ඒක. මේ තරම් අවරගණයේ පද රචනා නම් මම කවදාවත් අහලා නෑ. නියම තරුණ ගායක ගායිකාවන් පිරිසක් අපිට ඉන්නවා. ඔවුන් අපිට සම්පත්. හැබැයි ඉතින් මේ දැන් ලියවෙන පදවලට ගීත කිවුවොත් ඔවුන් විනාශයි.

චෝදනා කර කර ඉන්නවාට වැඩිය ඔවුන්වත් එකතු කරගෙන ගමනක් යන්න බැරිද?

එහෙම යනව නම් ඉතින් එයාල අපි කියන දේ අහන්න ඕනේ. ප්‍රවීණ ශිල්පීන්ට ගරු කරන්නවත් සමහරු දන්නේ නෑ. ඉතින් කොහොමද ඔවුන් එක්ක එකට ගමනක් යන්නේ. නවකයො දාහක් ගත්තොත් දෙතුන් දෙනෙක් හොඳයි. එහෙම මම දැකපු නියම දක්ෂයෙක් තමයි කසුන් කල්හාර කියන්නේ.

ගායකයෙක් වගේම ඔබ ව්‍යාපාරිකයෙක්?

මම පොඩි කාලෙ ඉඳලම සංගීත භාණ්ඩ වාදනය කළා. මම පාසල් ගියේ මිනුවන්ගොඩ නාලන්දා විදුහලට. බැලුවොත් මම ඉන්නේ සංගීත කාමරයේ. ව්‍යාපාර පසුබිමක් කොහොමත් අපේ පවුලේ තිබුණා. මගේ පියා තෝමස් අප්පුහාමි. එතුමා ව්‍යාපාරිකයෙක්. අම්මා ජන ගී ගායිකාවක්. ඇගේ නම ඒ.ඒ.ඩී. දයාවතී. මම සංගීත කටයුතු කරන්නේ මගේ ජීවන තෘප්තිය වෙනුවෙන්.

ළඟදි අපි අතරින් වෙන්වෙලා ගිය ප්‍රින්ස් උදය ප්‍රියන්ත කියන්නේ ඔබත් සමඟම ක්ෂේත්‍රයට ආපු සමකාලීන මිතුරෙක් නේද?

අනේ ඔව්. උඹ, බන්, බොලන් කියල අපි කතා කරන්නේ. ඒ තරම් මිත්‍රත්වයක් අපි අතර තිබුණා. ප්‍රින්ස් කියන්නේ හරිම හොඳ පාඩුවේ ඉන්න කෙනෙක්. කිසි කෙනකුට කරදරයක් නෑ. ඔහුට අත්වෙච්ච ඉරණම ගැන හරිම කනගාටුයි. ගොඩක්ම දුක, අඩු වයසින් ප්‍රින්ස්ට ජීවිතයෙන් සමුගන්නට සිදුවෙච්ච එක ගැන. ඒක ඉතින් ජීවිත ස්වභාවය.
(මව්බිම පුවත් පත ඇසුරෙනි)

පුවත්

Recent Post