කීර්තිගේ 40 වසරක යටගියාව අහන්න BMICH එකට ගොඩවෙන්න

0 May 14, 2017 10.12am Art

ශ්‍රී ලංකීය සංගීත ක්‍ෂේත්‍රයේ ආදරණීය ළයාන්විතයාගේ සංගීත දිවියට වසර 40යි... සඳලතා පෑයු රාත්‍රියක තව දවසක්‌ හමුවී කඳුළට සමාව දී වසර 40ක ගෙවුණු යටගියාව සිහිකරන්නට ලබන 20 වැනිදා රාත්‍රි 07ට බණ්‌ඩාරනායක අනුස්‌මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රන ශාලාවේදි ඔහු සූදානම් වෙයි.. කීර්ති පැස්‌කුවල් නම් හිත හොඳ කලාකරුවා බොහෝසෙයින් කාර්යබහුල මොහොතක දශක හතරක ඉතිහාසය ගැන මීවිත හා මෙසේ කතා කළා...

Ö ඔබේ සංගීත දිවියට අවුරුදු 40ක්‌.?

ඔව් මම සංගීත දිවිය ආරම්භ කළේ පාසැල් කාලයේ ඉඳලා. ඒ කාලයේ ආශාවට අපි ඥාති සහෝදරයින් කීප දෙනෙක්‌ එකතු වෙලා කැලිප්සෝ සංගීත කණ්‌ඩායමක්‌ පටන් ගන්නා 'හේලියන්ස්‌' කියලා. ඒ ආරම්භය වෙනකන් තමයි අවුරුදු 40 ක්‌ පිටිපස්‌සට යන්නේ.

Ö දශක හතරක ඉතිහාසය දෙස නැවත හැරී බැලුවොත්?

ඇත්තටම යම්කිසි දෙයක්‌ වෙනුවෙන් කෙනෙකුට කැපවීමක්‌ තිබුණොත් ඒක ජයගන්න පුළුවන් කියන එක තමයි ඉතිහාසය දිහා නැවත හැරී බැලුවම මට හිතෙන්නේ..

Ö ක්‍ෂෙත්‍රයේ ඉහළට යන්න පුංචි කාලේ ඉඳලම හිතාගෙන හිටියද?

නැහැ. මෙච්චර දුර එන්න ලැබෙයි කියලා හිතුවේ නැහැ. පුංචි කාලේ විනෝදෙට තමයි සංගීත කණ්‌ඩායමකට සම්බන්ධ වුණේ. දෛවයේ වාසනාවට තමයි මාව මේ පාරට වැටිලා මේ පාර දිගේ ගමනක්‌ එන්න ලැබුණේ. හැබැයි දිග ගමනක්‌ යන්න අදහස්‌ නොකළත් හරියට දෙයක්‌ කරන්න ඕනේ කියන අදහස පුංචි කාලේ ඉඳලම හිතේ තිබුණා.

Ö ඔබේ යුගයේ සංගීත කණ්‌ඩායම් කලාව මොනවගේaද?

ක්‌ලැරන්ස්‌ විඡේවර්ධන තමයි සංගීත කණ්‌ඩායම් කලාවේ කැලිප්සෝ සංගීත රටාව ඇතිකළේ. අපි ඔහුව තමයි ඒ කාලයේ අනුගමනය කළේ. ගැලැක්‌සීස්‌, මවුන්ට්‌ චයිම්ස්‌, ෆොaචූන්ස්‌, කියන සංගීත කණ්‌ඩායම් කිහිපයක මම ගිටාර් වාදනය කළා. ඒ කාලයේ තමයි ලංකාවේ කැසට්‌ පට නිර්මාණය වුණේ. බොහෝ ජනප්‍රිය ගායන ශිල්පීන්ට කැසට්‌ පට සඳහා අපි සංගීතය සපයලා තියෙනවා. ඒ යුගයේ තමයි තබ්ලාව, සැක්‌සෆොaනය, වයිලීන්, ලීඩ් ගිටාර්, බේස්‌ගිටාර් කියන නවතම සංගීත භාණ්‌ඩ කණ්‌ඩායම් සංගීතයට එකතු වුණේ.

Ö ගිටාර් වාදකයෙක්‌ වුණු ඔබ ගායන ශිල්පියෙක්‌ වුණේ කොහොමද?

81 අවුරුද්දේ තමයි මම මුල්ම ගීතය ගායනා කළේ. හන්තානේ නිල් කඳුවැටි අතරේ කියන් ගීතය. 'අමිල' කියලා කැසට්‌ පටයක්‌ සඳහා තමයි ඒ ගීතය මා ගායනා කළේ.එඩ්වඩ් ජයකොඩි, සුජාතා අත්තනායක, නිරංජලා සරොජනී, වර්නන් පෙරේරා, වගේ ගොඩක්‌ ගායන ශිල්පීන්ගේ මුල්ම කැසට්‌ ගීතය අඩංගු වන්නේ මේ අමිල කියන කැසට්‌ පටයේ.

Ö අවුරුදු 40ක සංගීත දිවි සැමරුම මොනවගේද?

ඒ සඳහා විශේෂ ප්‍රසංගයක්‌ සූදානම් කරලා තිබෙනවා මැයි 20 වැනිදා රෑ 7ට බීඑම්අයිසීඑච් එකේ.

Ö මොකක්‌ද මේ ප්‍රසංගයේ විශේෂය?

මේ ප්‍රසංගයෙදී සංගීතය කොටස්‌ හතරකින් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. දශක 4ම නියෝජනය වන විදිහට. ඒ කියන්නේ ප්‍රසංගයේ මුලකොටස කැලිප්සෝ සංගීත රටාවෙන් ඉදිරිපත් කරනවා.එහි සංගීතය අධ්‍යක්‍ෂණය කරන්නේ නාලක සජී. ඒට පස්‌සේ 70 සහ 80 දශකය නියෝජනය කරමින් කොටස්‌ දෙකක්‌ තියෙනවා. සරත් ද අලවිස්‌ ඒ කොටසේ සංගීත අධ්‍යක්‍ෂණය කරනවා. හතරවැනි කොටසේ නව සංගීතය මහේෂ් දෙනිපිටිය විසින් මෙහෙයවනවා. ඒ වගේම මට මේ ගමන එන්න අත හිත දුන් කිහිප දෙනෙකුට ගරු බුහුමන් දැක්‌වීමක්‌ ද මේ ප්‍රසංගයේදි සිදුකරනවා.

Ö ප්‍රසංගයට එක්‌වන අනෙක්‌ ශිල්පීන් කවුද ?

ඇනස්‌ලි මාලේවන, සමිතා එරන්දතී, නිරෝෂා විරාජිනී, නෙලූ අධිකාරි, මරියසල් ගුණතිලක, එරල් ප්‍රනාන්දු, ධම්මිකා බණ්‌ඩාර, කසුන් පැස්‌කුවෙල්, චාරුනී පැස්‌කුවෙල්, ෙච්තනා රණසිංහ යන අයත් සහාය ශිල්පීන් හැටියට මෙම ප්‍රසංගයට සහභාගි වෙනවා.

Ö මේ ප්‍රසංගයේදි ඔබේ අලුත් ගීතත් ගායනා කරනවාද?.

අනිවාරයෙන්ම ඔව්. මේ ප්‍රසංගයේදී මගේ 'තරු පොකුර' කියන ගී තැටිය එලි දක්‌වනවා. එහි අඩංගු ගීත 04ක්‌ මා මේ ප්‍රසංගයේදී ගායනා කරනවා.

Ö බොහෝ ශිල්පීන් එක්‌ ගීතයක්‌ හෝ දෙකක්‌ පමණක්‌ එලිදක්‌වන යුගයක ඔබ ඇයි ගී 18ක සංයුක්‌ත තැටියක්‌ම නිර්මාණය කළේ. ?

ඒකට හේතුවක්‌ තමයි මේ ගීත සියල්ල මට ලැබුණේ වියදමකින් තොරව.

Ö රියෑලිටි තරු තේරුවා ඇති කියලා කවුරු හරි කිව්වොත්?

මෙය සංවිධානය කරන ආයතනය, තරග කරුවන්, ප්‍රෙක්‍ෂකයින් කියන කණ්‌ඩායම් තුනෙන් කවුරු හරි කිව්වොත් මම හොඳ විනිශ්චය කරුවෙක්‌ නෙමෙයි කියලා එදාට මම අයින් වෙනවා.

Ö එහෙත් විනිශ්චය ලබාදීමේදී ඔබට යම් යම් බලපෑම් එල්ල වෙනවා නේද?

මගේ මිතුරන්ගේ දරුවන් මේ තරගයට එනවා. ක්‍ෂේත්‍රයේ අයගේ දරුවන් එනවා. තරගය අතර තුර එස්‌එම්එස්‌ එනවා. ඇමතුම් එනවා පුලුවන්නම් සපොර්ට්‌ එකක්‌ දෙන්න කියලා.. ඒත් මම කීර්ති පැස්‌කුවල්. සංගීතය සහ කලාව කියන්නේ උත්තරීතර විෂයක්‌. එයට අපි වැරැද්දක්‌ කළොත් විශාල වශයෙන් බලපානවා. ඒ නිසා අබ මල් රේණුවක්‌ තරම්වත් වැරැද්දක සංගීතයට මම කරන්නේ නැහැ. කලාව කියන්නේ දේවත්වයෙන් සැලකිය යුතු දෙයක්‌.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post