තව සීන් එකක් තිබුණා නම් බන්ධනය මරු විල්මන් සිරිමාන්න

0 May 12, 2017 09.43am Art

මේ දිනවල සාර්ථක ලෙස උදයකාන්ත වර්ණසූරියගේ ‘බන්ධනය’ චිත්‍රපටය තිරගත වෙයි. ගමක වෙසෙන පවුල් දෙකක අරෝවක් මුල්කර ගෙන විහිද යන මේ චිත්‍රපටයේ එහි එක් පවුලක සොහොයුරකුගේ චරිතය රඟපාන්නේ විල්මන් සිරිමාන්න ය. හදි හූනියම් කිරීම නිසා ‘බන්ධනය’ චිත්‍රපටයෙන් ඉක්මනින් ඔහු සමුගත්තත් ඔහුගේ මතකය චිත්‍රපටය අවසන් වුවද අපගේ මතකයෙන් ඈත් නොවේ. මේ ඉඩහසර වෙන් වන්නේ කලකට පසුව ඔහු සමඟ සිය රංගන ජීවිතය හා ‘බන්ධනය’ චිත්‍රපටය පිළිබඳ කළ කතාබහකට ය.

ඔබ කොළොම්පුරවරයට පිවිසෙන්නේ ගම්බද පළාතක සිට නේද?

මාතර අකුරැස්ස කළුබෝවිටියන කියන සුන්දර ගම්පියසේයි මා ඉපදුණේ. මා අධ්‍යාපනය ලැබුවෙත් ඒ අවට පාසලකයි. ඒ කාලයේ මා වඩාත් ප්‍රිය කළේ පාසල් යනවාට වඩා කට්ටිපනින්නයි. මේ හේතු නිසාමයි මා කොළඹට පිවිසෙන්නේ. කැලණිය බොල්ලෑගල පදිංචිව සිටි මා ඇතුළු බොහෝදෙනෙක් කලාවට බොහොම ආදරය කළ අයයි සිටියේ. පළමුවෙන් ම කළේ අප සියලුදෙනාගේ ම එකමුතුවෙන් කලා කවයක් නිර්මාණය කර ගැනීමයි. එහි සිටි සියල්ලන්ට ම උපදෙස් දුන් අමරසේන මාස්ටර් මගේ ජීවිතයේ අමතක නොවන චරිතයක්. මේ කලා කවය හරහා පළමුවෙන් ම පුරුදු පුහුණු වුණු වේදිකා නාට්‍යය හරහා ඔහු මගේ දක්ෂතා හඳුනා ගත්තා.

මුලින් ම ඔබ රංගනය ගැන ඉගෙන ගන්නේ කාගෙන් ද?

කොළඹ පැමිණියාට පස්සේ දවසක් මට කතරගම යන විනෝද ගමනකට සහභාගි වීමට අවස්ථාව ලැබෙනවා. එහිදි මුණ ගැසෙන සංජීව ගුණපාල මහත්තයායි මාව දයා වයමන් ළඟට කැඳවා ගෙන යන්නේ. එහිදි මුලින්ම රඟපාන්නට නොලැබුණත් ඔහුගේ සෙවණේ ගෙවූ කාලය හරියට ම විශ්වවිද්‍යාලයක සිටියා වගේයි. රංගනය ගැන බොහෝ දේවල් මා ඉගෙන ගන්නේ ඔහුගේ ඇසුරේදියි. වේදිකා පසුතල, සැරැසිලි කරන අයුරු වගේ ම දැන්වීම් ගහන විදිය, ඒවා නිර්මාණය කරන විදිය ආදී සියලු දේත් මා එහිදි ඉගෙන ගත්තා.

ඔබ රංග ශිල්ප ශාලිකාවට පැමිණෙන්නේ ඊට පසුව ද?

ඒ 1976 වසරයි. ධම්ම ජාගොඩ මහත්තයාගේ රංග ශිල්ප ශාලිකාවේ පාඨමාලාව ආරම්භ කළේ ඒ කාලයේ. ඒ අයත් සමඟ ඊට සහභාගි වන්න කියලා මට ආරාධනා ලැබුණා. එතැන හතළිහක් පමණ පිරිසක් සිටියා. දවසක් ධම්ම ජාගොඩ මහත්තයා මට කතා කළා. ඔහු පැවසුවේ ඔවුන් මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ‘මනමේ’ ආරම්භ කරන බවත්, එහි ගායක කණ්ඩාමට හෝ වැදි පිරිසට පැමිණිය හැකි බවයි. ඒ අනුව මා 77 වසරේ ‘මනමේ’ රඟපෑවා. ඒ පුහුණු වීම් අතරතුර දයා වයමන් රඟපෑ ‘නටඹුන්’ නාට්‍යයේ ඔහු කළ චරිතය කරන්නට ආරාධනා කළා. ඔහුගේ නාට්‍යයක පළමුවෙන් ම රංගනයෙන් දායකත්වය දක්වන්නේ ඒ නිර්මාණයේයි.

ඔබ ‘මනමේ’, ‘සිංහබාහු’ වැනි නිර්මාණවල කොපමණ කාලයක් රඟපානවා ද?

‘මනමේ’ නාට්‍යයේදී ශිෂ්‍යයෝ, වැදි පිරිසේ රඟපෑවා. වරක් වැදි දෙටු විදියටත් රඟපෑවා. රාජගුරු විදියට දින කිහිපයක් රඟපෑ බව මට මතකයි. ඒ වගේ ම ගායක කණ්ඩායමේත් මද්දල් වාදනය අඩු තාලත් වාදනය කරලා තිබෙනවා. ඒ කාලයේ විජය නන්දසිරි මහත්තයා විදේශ ගත වුණාට පස්සේ සිංහබාහුගේ චරිතය මා රඟපෑවා. ඒ අනුව ‘සිංහබාහු’ හා ‘මනමේ’ නාට්‍යවල වසර තිහක කාලයක් පමණ රඟපෑව බව මට මතකයි. එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තයා අපේ රටට පැමිණියාට පස්සේ ඔහු නිර්මාණය කළ ‘වෙස්සන්තර’ නාට්‍යයටත් රංගනයෙන් මාව සහභාගි කර ගත්තා. ඉන්පසුව එතුමා නිෂ්පාදනය කළ සියලු ම නාට්‍යවල මා රඟපානවා. ඒත් ‘බවකඩතුරාව’ ටෙලි නාට්‍යයේ පුහුණු වීම්වලට ගියත් මට එහි රඟපෑමට නොහැකි වුණේ මගේ ව්‍යාපාර කටයුතු සඳහා කොළඹ අතහැර නුවර යෑමට සිදු වීම නිසයි. ඒ වගේ ම දයානන්ද ගුණවර්ධනගේ ‘ගජමන් පුවත’ නාට්‍යයටත් මට දායක වීමට ලැබෙන්නේ අහම්බයෙන්. බන්දුල විතානගේගේ ‘වැනීසියේ වෙළෙන්ඳා’, පුණ්‍යසේන ගුණසිංහගේ ‘මිණි සලඹ’ ආදී නිර්මාණ රැසකටමත් රංගනයෙන් දායක වීමට මට අවස්ථාව ලැබෙනවා.

ඔබ කවදත් ආදරය කරන්නේ වේදිකාවට ද?

තවමත් මම වේදිකාවට කැමැතියි. එදා වේදිකාවෙන් පසුව මා ටෙලි නාට්‍යවලටත් රංගනයෙන් දායකත්වය දැක්වූවා. යහළුවකුගේ අදහසකට අනුව ‘නෙලන්න බැරි මල්’ ටෙලි නාට්‍යය නිෂ්පාදන කළා. ඒ සඳහා තවත් යහළුවෝ දෙදෙනෙකුත් මුදල් දායකත්වය ලබා දුන්නා. ඒ වගේ ම මේ වනවිට ටෙලි නාට්‍ය රැසක ම සතුටු විය හැකි චරිත කිහිපයක් ම රඟපාලා තිබෙනවා. මා මෑත කාලයේ රඟපෑ ‘අග්නි’ ටෙලි නාට්‍යය සඳහා මට ජූරියේ විශේෂ සම්මානයකුත් ලැබුණා. ටෙලි නාට්‍ය කිහිපයක් සඳහා ම මට සම්මාන ලැබිලත් තිබෙනවා. එහෙත් චිත්‍රපටවල දැවැන්ත චරිත නිරූපණය කරලා නැහැ. නමුත් අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම්ගේ ‘කොමන්මෑන්’ චිත්‍රපටයේ සෑහෙන එක්තරා චරිතයක් රඟපෑවා. ඒ බෝම්බ නිෂ්පාදනය කරන, ඒ ගැන විශේෂඥ දැනුමක් තිබෙන ත්‍රස්තවාදියකුගේ චරිතයක්. ඉන්පසුව ඔහු නිර්මාණය කළ ‘මේ වගේ ආදරයක්’ චිත්‍රපටයේ මා රඟපාන්නේ ඇමැති කෙනෙකුගේ චරිතයක්. ඊට පස්සේ කෙටි චිත්‍රපට රැසකටමත් මා රංගනයෙන් දායක වෙනවා. වෙළෙඳ දැන්වීම් කිහිපයකත් මගේ රුව ඔබ සැමට දැක ගැනීමට හැකියි.

උදයකාන්ත වර්ණසූරියගේ නිර්මාණ රැසකට ම ඔබ රංගනයෙන් දායක වනවා. එහි ආරම්භය සිදුවුණු අයුරු ඔබට මතක ද?

ඔහුගේ ‘එකගෙයි කුරුල්ලෝ’ ටෙලි නාට්‍යයටයි මා මුලින් ම රංගන දායකත්වය දක්වන්නේ. එහි මා රඟපෑවේ ප්‍රධාන චරිතය කළ ප්‍රධාන නළුවාගේ යහළු ගැහැනු ළමයාගේ අයියාගේ චරිතයයි. ඒත් මට කියන්න කිසිම දෙබසක් තිබුණේ නැහැ. එහෙම වුණත් ටෙලි නාට්‍යය සඳහා නිර්මාණය වුණු ප්‍රචාරක පටය සඳහා ඔහු යොදාගෙන තිබුණේ මගේ රඟපෑමයි. ඊට පස්සේ ඔහුගේ ‘ගිනි අවි සහ ගිනි කෙළි’, ‘දියයට ගින්දර’, ‘සොඳුරු චාරිකා’ ආදී චිත්‍රපටවලට රංගනයෙන් දායක වීමට මට අවස්ථාව සැලසුණා.

ඒ අයුරින් ම ‘බන්ධනය’ චිත්‍රපටයටත් ඔබ රංගනයෙන් සහභාගි වනවා?

මේ චිත්‍රපටයට මා සම්බන්ධ වන්නේ උදය මට කතා කරලා චිත්‍රපටයක රඟපාමු ද කියලා මගෙන් විමසීමෙන් පසුවයි. ඊට පස්සේ ස්ක්‍රීන් ටෙස්ට් එකකට ඔහු මට එන්න කියනවා. එවිටයි මගේ බිරිය විදියට රඟපාන්නේ සුවිනීතා කෝන්ගහගේ බව මා දැන ගන්නේ. සිරිල් අයියත් සමඟ මා මුලින් ම රඟපාන්නේ ගුණසේන ගලප්පත්තිගේ ‘මූදු පුත්තු’ වේදිකා නාට්‍යයේ පූරක ලෙසයි. බොහොම ඉස්සර පටන් ම ඔහුත් සමඟ මගේ තිබෙන්නේ ළඟ සම්බන්ධයක්.

‘බන්ධනය’ චිත්‍රපටයේ කියැවෙන කතාව ඔබ ජීවත් වුණු පරිසරයත් සමඟ බොහෝ බද්ධයි?

ඉතිහාසයේ මා ලබාගත් අත්දැකීම් හා මගේ ජීවන අත්දැකීම් මුසු කරමිනුයි මා චරිත රඟපාන්නේ. මේ චරිතයත් රඟපාන්නේ ඒ ආකාරයෙන්මයි. අනෙක් කාරණය නම් චිත්‍රපටයේ සිදුවන මෙවැනි ප්‍රශ්න අපේ ගම්වල තවමත් තිබෙනවා. නගරවලත් තිබෙනවා. ඒ නිසා ඉඩම්වල ප්‍රශ්න අපේ ජානවල තිබෙන දෙයක්. මේ නිසා ‘බන්ධනය’ චිත්‍රපටයෙන් කියැවෙන දේ මා දැකලා තිබෙන්නේ පුංචි කාලයේ පටන්. ඒ නිසා මේ චරිතයේ මට අමුතුවෙන් රඟපෑමට දෙයක් තිබුණේ නැහැ.

චිත්‍රපටයේ අතරමඟදී ඔබ රඟපෑ මේ චරිතය සිනමා ප්‍රේක්ෂකයාගෙන් සමුගන්නවා?

මගේ පෞද්ගලික මතය නම් තව ටිකක් දුරට, සීන් තුනක් වගේ මගේ චරිතය ගෙනියන්න තිබුණා නම් යම් හැප්පීමක් හප්පන්න තිබුණ බවයි. මොකද ගම්වල එහෙමයි. එක්කෙනෙක් එක හූනියමක් කරන විට අනෙක් කෙනත් ඒකට තව හූනියමක් කරනවා. මා සිතන්නේ චිත්‍රපටයේ කාල පරාසයත් සමඟයි ඒ කාරණා ඇතුළත් කිරීම වෙනස් වන්න ඇත්තේ. මේ චිත්‍රපටයෙත් බේකරි කතා ඇතුළු සමහර සිද්ධි වෙනස් විදියකට කෙටි වුණා නම් චිත්‍රපටයේ තිබෙන භයංකාර බව, අභිරහස් බව, ගුප්ත බව තවත් ඉස්මතු වීමට ඉඩ තිබුණු බව මගේ හැඟීමයි. චිත්‍රපටය පිළිබඳ අදහස් දක්වලා තිබුණු කෙනෙකුත් ඒ ගැන කියලා තිබුණා මා දුටුවා. මෙලෙස පැවසීමෙන් මා අධ්‍යක්ෂවරයාට අභියෝග කිරීමක් නොවෙයි කරන්නේ.

කාලයක් ක්ෂේත්‍රයේ සිටි කෙනෙකු විදියට වෙනස් විය යුතු කාරණා ලෙස ඔබ දුටුවේ කුමන දේ ද?

වැඩිමහලු පරම්පරාවට ගෞරවය දැක්වීමක් අලුත් පරම්පරාවෙන් සිදු නොවන බවක් අපට පෙනෙනවා. ඔවුන් සලකන්නේ පත්තරේ විස්තර යන කලාකරුවන්ට පමණක් බවයි අපට පෙනෙන්නේ. අනෙක් වැඩිහිටියන්ට ඔවුන්ගේ කිසිම ගරුත්වයක් ඇත්තේ නැහැ. එය සිදු නොවිය යුතු දෙයක් විදියටයි මා දකින්නේ. මොක ද මෙතෙක් කාලයක් මේක රැකගෙන පැමිණි කලාකරුවන් පිරිසක් සිටිනවා. ඒ අය අමතක නොකළ යුතුයි. ඔවුන් බලාපොරොත්තු වන්නේ මුදල් නොවෙයි. ගෞරවයයි. ඒ වගේ ම ක්ෂේත්‍රයේ නිර්මාණවල යෙදී සිටින සෑම අංශයකට ම ගත යුත්තේ ඒ ඒ කටයුත්ත පිළිබඳ යම් පරිචයක් ඇති අයයි. එහෙම නොවුණොත් ඒ කාර්යයන් පරිහානිය කරා යන බවකුයි අපට පෙනෙන්නේ.

ඉදිරියේදී ඔබව දකින්නට ලැබෙන්නේ මොන වගේ නිර්මාණ ඔස්සේ ද?

මා රඟපාන්නේ ආත්ම තෘප්තිය සඳහායි. අප කරන රඟපෑම නැරැඹීමෙන් ප්‍රේක්ෂකයන් සතුටට පත්වෙනවා. ඒ නිසා කලා කෘතියකට සහභාගි වීමට ලැබීම මා සලකන්නේ කලාකරුවකුට කිරීමට ලැබෙන පුණ්‍ය කර්මයක් විදියටයි. ඉදිරියේදී දේවින්ද කෝන්ගහගේ අධ්‍යක්ෂණය කරන ‘ගිරිපුර වැසියෝ’ කියන චිත්‍රපටයේ චරිතයක් සඳහා මට ආරාධනා කරලා තිබෙනවා. ඒ කටයුත්තට සහභාගි වීමට සූදානමිනුයි මා ඉන්නේ.

පවුලේ තොරතුරු සඳහන් කළොත්?

මට ඉන්නේ පුතාල දෙන්නෙක් හා දුවක්. දෙවැනි පුතා සංගීතඥයෙක්. ලොකු පුතා නර්තන ශිල්පියෙක්. දුව ලයිසියම් ආයතනයේ උගන්වනවා. බිරිය පුෂ්ප මාලායි මගේ කලා කටයුතු සියල්ලට ම මගේ ළඟින් ම සිටිමින් සහයෝගය ලබා දුන්නේ.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post