මේ දිනවල ඡායාරූපවලට පෙනී සිටීමත් ආන්දෝලනාත්මක කතාවක්‌ වෙලා - සනත් අඩනිරුවත් වීමක්‌ එතැන නැහැ - අයිශාරා

0 May 08, 2017 09.20am Art

පැණි මකුළුවෝ හින්දා බාහිර පෙනුමත් වෙනස්‌ කරගත්තා
පැණි මකුළුවාගේ දැලට හසුවුණ අයිශාරා


ඉසුරු වීරසිංහ මුදලිගේ අධ්‍යක්‍ෂණයෙන් යූ. ආර්. පල්ලියගුරුගේ නිෂ්පාදනයෙන් මේ දිනවල තිරගතවන පැණි මකුළුවෝ සිනමා නිර්මාණයේ මහලු සැමියාගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රවීණ රංගන ශිල්පී සනත් ගුණතිලකයන්ය. එහි ප්‍රධාන නිළියගේ චරිතයට පණපොවන්නේ නිරූපණ ශිල්පිණියක හා වේදිකා නාට්‍ය රංගන ශිල්පිණියක වන අයිශාරා අතුකෝරාලය. පැණි මකුළුවෝ ගැන මේ ඔවුන් දෙපළ සමග කළ සංවාදයකි.

අයිශරා පැණි මකුළුවකුගේ දැලට හසුවෙලා කියන්නේ ?

පැණි මකුළුවෝ කියන්නේ මගේ පළමු චිත්‍රපටය. උදාර පල්ලියගුරු තමයි මේ නිර්මාණයට මාව සම්බන්ධ කරගන්නේ. පිටපතට කියවලා බැලුවහම ඇත්තටම මට ආස හිතුණා. මොකද මේ දිනවල ලංකාවේ ගොඩක්‌ ගැහැණුන්ට බලපාන ප්‍රශ්නයක්‌. ඉන්ටර්නෙට්‌ කියන දේ ආවහම බලපාපු ප්‍රශ්නයක්‌ ගැන තමයි කතාබහවෙන්නේ. ඒ හරහා සමාජයට පණිවුඩයක්‌ දෙන්න පුළුවන් හින්දා තමයි ගොඩක්‌ම ආසා හිතුණේ.

සනත් ගුණතිලක වැනි ප්‍රවීණ නළුවෙක්‌ සමග වැඩකරන්න ලැබීම ගැන මොකද හිතෙන්නේ ?

ඒ වගේ ප්‍රවීණයෙක්‌ සමග සිනමාවට එන්න ලැබීම ලොකු භාග්‍යයක්‌. පැණි මකුළුවෝ සිනමා නිර්මාණයට දායකවෙන්න ඒකත් හේතුවක්‌ වුණා. මම හිතනවා මට පුළුවන් විදිහට වැඩකළා කියලා.

සනත් කාලෙකට පස්‌සේ ඇඟට දැනෙන චරිතයකින් ආපහු රිදී තිරයට ගොඩවෙලා ?

පැණි මකුළුවෝ සමග වැඩකරන්න ප්‍රධානම හේතුව වුණේ එහි තිබුණ තිර රචනය හා මට ලැබුණ චරිතයයි. ඒ චරිතය මට සුවිශේෂයි. සියලුම කරුණුවලටව මේ චරිතයට තිබුණ උනන්දුව වුවමනාව මත මම මේ චිත්‍රපටය භාරගන්නවා. භාරඅරගෙන මම මේ චරිතයට යම්කිසි සාධාරණයක්‌ කරන්න උත්සාහ කරනවා. මම විශ්වාස කරනවා දැන් නම් ඒක නැතිවෙමින් යන දෙයක්‌. කිසියම් චරිතයක ඒ හැඟීම් ඒ වගේම චරිතය විසින් කියනු ලබන දේ තවදුරටත් ඉලක්‌කගත කිරීම සුදුසුයි කියලා. ඒක මම මේකටත් ආදේශ කළා.

පැණි මකුළුවෝ හින්දා බාහිර පෙනුමත් වෙනස්‌ කරගත්තා ?

ඔව්. බාහිර පෙනුමත් වෙනස්‌ කරගත්තා. ඇඟ වැඩිවුණා. චිත්‍රපටය අනුව අයිශ්ගේ සැමියා අයිශ්ට වඩා වයසින් වැඩිමහල් ව්‍යාපාරිකයෙක්‌. ව්‍යාපාර කටයුතු හින්දා ඔහුගේ සෞඛ්‍යයත් අමතක කරපු කෙනෙක්‌. ඒ හින්දා ඔහු රෝග කිහිපයකින් පෙළෙන කෙනෙක්‌. ඒ හින්දාම ඔහුගේ පෙනුමෙත් එතරම් ආකර්ෂණීය බවක්‌ නැහැ. මම කියන්නේ නැහැ මා තුළ ආකර්ෂණීය බවක්‌ තියෙනවා කියලා. තිබෙනවා නම් ඒක නැති කරගැනීමට සිද්ධවුණා. ඉතිං එහෙම කරලා තමයි චිත්‍රපටය කළේ.

පැණි මකුළුවෝ හදිසියේ තිරගත කරන්න හිතුවේ ඇයි ?

චිත්‍රපටය තිරගත කිරීමට ඉතාම අසීරු යුගයක තමයි කුමක්‌ හෝ වාසනාවකට චිත්‍රපටය තිරගත වෙනවා. මම ඒකෙදි වැඩියෙන්ම සංතෝස වෙන්නේ මේ චිත්‍රපටයත් සමග අයිශ්ගේ පළමු චිත්‍රපටය. ඒ වගේම දිනෙත්ගේ පළමු චිත්‍රපටය. දිනෙත් ඉදිරියට එන්න ඕනෑ රංගන ශිල්පියෙක්‌ කියලා මම විශ්වාස කරනවා.

ඇයි මේ චිත්‍රපටය සමාජයට වැදගක්‌ කියා ඔබ හිතන්නේ ?

උදාර පල්ලියගුරුගේ මේ නිෂ්පාදනය මම වැදගත් කොට සලකන්නේ වර්තමාන සමාජය තුළ තිබෙන්නා වූ සුවිශේෂ අපචාරයක්‌. මොකක්‌ද මේ අපචාරය. මේ ඉන්ටර්නෙට්‌ ස්‌කයිප් එක භාවිතයෙන් අපේ තරුණ මව්වරුන්, දියණියන් වෙන්න පුළුවන් ඒ අයව රැවටීමේ ව්‍යාපාරයක්‌ තියෙනවා. ඒක අපි හැම සතිපතාම පත්තරයකින් දකිනවා. අන්න ඒක පිළිබඳව කිසියම් ආකාරයක අවවාදාත්මක පණිවුඩයක්‌ ගෙනදෙන චිත්‍රපටයක්‌ හින්දා මේක තිරගත වීම පිළිබඳව සතුටුවෙනවා. ඒ හින්දා මම ඉල්ලා සිටිනවා මගේ චිත්‍රපටයක්‌ කියලා මෙය නරඹන්න එපා. විශේෂයෙන් මව්වරුන්, දියණියන්ගේ කතාන්දරයක්‌ කියලා. බැලුවහම තේරෙයි අපිටත් මේවාට අහුවෙන්න ඉඩ තිබේවි කියලා. ඔය අන්තර්ජාලය බහුලව භාවිතා කරන අයට මේක ගැටලුවක්‌ වෙන එකක්‌ නැහැ.

අයිශ් මේ දිනවල ඔබගේ අඩනිරුවත් දර්ශනයක්‌ සයිබර් අවකාශයේ සැරිසරනවා නේද?

චිත්‍රපටයේ එක සිද්ධියක්‌ තියෙනවා ස්‌කයිප් කෝල් එකක. ඒක ඇත්තටම අඩනිරුවත් නෙමෙයි. අතිනුත් පොඩ්ඩක්‌ දාලා තමයි කතාව ගිහිං තියෙන්නේ. අඩනිරුවත්වීමක්‌ එතැන නැහැ. නමුත් එතැන යම්කිසි පොඩි සිද්ධියක්‌ තියෙනවා. ඒක වැඩිපුර උලුප්පලා පෙන්වන්න තමයි හදන්නේ. චිත්‍රපටය බැලුවහම ඒ ගැන තේරෙයි. මේක පවුලේ චිත්‍රපටයක්‌.

චිත්‍රපටයේ තිබුණ පොඩි දෙයක්‌ සයිබර් අවකාශය හරහා ලොකු දෙයක්‌ කරලා. එහෙමද?

එහෙම වෙනවානේ අන්තර්ජාලයේ. ඒ සිද්ධියට අදාළ දර්ශනයේ ඡායාරූපයක්‌ තමයි ඔය අන්තර්ජාලයේ සැරිසරන්නේ. ඒක විවිධ වෙබ් අඩවිවලින් වැඩිපුර ප්‍රචාරය කරලා තියෙනවා. හැමෝම ඒ ගැන වැඩිපුර කතාබහ වෙනවා.

මේ හින්දා ඔබ කලකිරිලද ඉන්නේ ?

නැහැ. අපි ඕක දන්න දෙයක්‌නේ. කවුරු මොන වැඩේ කළත් ඔය වගේ පොඩි සිද්ධියක්‌ තිබුණහම ඒක ඉස්‌මතුවෙනවා. ඊට පස්‌සේ ඒ ගැන වෙබ් අඩවි කතාබහ වෙනවා. ඒක සාමාන්‍ය සිද්ධියක්‌. කමක්‌ නැහැ. මොනවාවුණත් මේ නිර්මාණය වැදගත් නිර්මාණයක්‌. සමාජයට පණිවුඩයක්‌ ලබාදෙනවා. ඡායාරූපයේ තියෙන්නේ මොකක්‌ද කියලා ඔය කතා සියල්ලටම උත්තර චිත්‍රපටය නැරඹුවහම ලැබේවි.

පැණි මකුළුවෝ ප්‍රචාරණයට වාසියක්‌ හින්දාද හොඳයි කියලා කියන්නේ ?

චිත්‍රපටයේ ඒ වගේ පොඩි සිද්ධියක්‌ ඇත්තටම තියෙනවා. නමුත් ඡායාරූපය දැක්‌කහම කෙනෙකුට හිතෙන්නේ පුළුවන් ඒ වගේ සිද්ධි මාලාවක්‌ තියෙනවා කියලා විතරයි.

සයිබර් අවකාශ්‍යයේ සැරිසරන අයිශ්ගේ ඡායාරූප පෙළ ගැන සනත් මොකද හිතන්නේ ?

ඉතිං ඕක අයිශ් නොකළානම් වෙන කවුරු හරි නිළියක්‌ කරන්න එපායෑ. මේ රංගනය කියන එක පිළිබඳව අවබෝධයකින් කටයුතු කරපු තරුණියක්‌ විදිහට මම අයිශ්ට ගරු කරනවා. මොකද මේකේ ආදීනව පෙන්වන්න එපායෑ. ඒකට කවුරු හරි කෙනෙක්‌ එපායෑ.

ඔබ ගොඩක්‌වෙලාවට සිනමාවේදී තරුණියන් එක්‌ක ඉන්නවා තමයි අපිට නිතර දකින්න ලැබෙන්නේ ?

(සිනාසෙමින්) මම තරුණයන් එක්‌ක හිටියොත් නේද ප්‍රශ්නයක්‌ වෙන්නේ. තරුණියක්‌ එක්‌ක හිටියාට ප්‍රශ්නයක්‌ නැහැනේ.

පැණි මකුළුවෝට ලැබෙන ප්‍රතිචාර ?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. පැණි මකුළුවෝ හදිසියේ තිරගත කරන්න නිෂ්පාදක සහ අධ්‍යක්‍ෂවරයා ලබාගත්තාට පසුව ඔවුන් ඉල්ලා හිටියා ප්‍රධාන චරිත රඟපාන අයිෂ්ට සහ දිනෙත්ට ඉදිරියට ඇවිත් චිත්‍රපටයේ ප්‍රචාරණ කටයුතුවලට දායකවෙන්න කියලා. මමත් ඒ කටයුත්තට දායකවෙනවා. ඒ හින්දා වැඩිපුර පින්තූරවලට පෙනී ඉන්න අලසකමක්‌ දක්‌වන මම මේ වකවානුවේ පුවත්පත්වල සඟරාවල ඡායාරූපවලට පෙනී සිටීම යම් ආකාරයකට ආන්දෝලනාත්මක කතාවක්‌වෙලා ඉන්නවා.

මේ දිනවල නිතර නිතර පුවත්පත්වල මුල් පිටුවල දකින්න ලැබෙනවා.

මොකක්‌ද ඒකේ රහස?

එකක්‌ පැණි මකුළුවෝ. අනෙක්‌ කාරණාව මම කරගෙන යන මංගල තෑග්ග. ඉතිං අපි දන්නවා ඕනෑම දෙයක්‌ ප්‍රචාරණය නැතිව කරන්න බැහැ කියලා. ප්‍රචාරය කරත් සමහර දේවල් ඉදිරියට එන්නේ නැහැ. මංගල තෑග්ග පොඩ්ඩකට අපි පැත්තකින් තියමු. පැණි මකුළුවෝ චිත්‍රපටයක්‌ ලෙස කෙසේ වෙතත් කතාවක්‌ ලෙස ඉතාමත්ම ආදර්ශවත් කතාවක්‌. ඉතිං ඒ වගේ දේකට පෙනී සිටීමේ පරම ෙච්තනාවෙන් තමයි මම මේ පින්තූරවලට පෙනී සිටින්නේ. ඉතිං ඒකට මම තරහවෙන්නෙත් නැහැ.

අයිෂ්, පැණි මකුළුවෝට ලැබෙන ප්‍රතිචාර ගැන කතා කළොත් ?

අන්තර්ජාලයේ සැරිසරන ඡායාරූප පෙළ හින්දා දැනට ගොඩක්‌ දෙනෙක්‌ට ඒ ගැන එතරම් ලොකු අවබෝධයක්‌ නැහැ. සමහරු මගෙන් ඇහැව්වා වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක්‌ද කියලා. නැහැ. මේක පවුලේ හැමෝටම නරඹන්න පුළුවන් චිත්‍රපටයක්‌. මට හිතෙනවා අනාගතයේදී හොඳ ප්‍රතිචාර ලැබේවි කියලා.

අයිශ් දිගටම සිනමාවේ රැඳෙන්නද අදහස?

ඔව්. මම දිගටම සිනමාවේ රැඳෙන්න තමයි කැමැති.

අනාගතයේදී වෘත්තීය සිනමා නිළියක්‌ වෙනවා. එහෙමද?

මගේ වෘත්තිය නීති ක්‍ෂේත්‍රය.

සනත් ගුණතිලකගේ මංගල තෑග්ග චිත්‍රපටයට දායක වෙනවා?

පැණි මකුළුවෝ හරහා තමයි මට සනත් අයියාව දැනගන්න ලැබෙන්නේ. ඊට පසුව ඔහුගේ මංගල තෑග්ග චිත්‍රපටයට දායකවෙන්න මට අවස්‌ථාව උදාවුණා.

පැණි මකුළුවෝ හි අයිශ්ගේ හැකියාවන් දැකලාද සනත් මංගල තෑග්ගට ඇයව යොදාගන්නේ ?

ඔය ප්‍රශ්නය ගොඩක්‌ දෙනෙක්‌ මගෙන් විමසුවා. මෙහෙමයි. හැකියාවත් එක්‌කම ඇත්තටම ජනප්‍රිය වීම සඳහා නෙමෙයි කිසියම් ආකාරයක තමන්ගේ හැකියාවක්‌ ඔප් නංවාගැනීම සඳහා දායකත්වයක්‌ කැපවීමක්‌ සැබෑ උනන්දුවක්‌ තියෙන තරුණියක්‌ විදිහට මම බොහොම කැමැත්තෙන් ඇයව මේ වැඩේට සහභාගි කරවාගත්තා. ඇය විතරක්‌ නෙමෙයි එතැන ඉන්න සියලුම දෙනාම ඒ පරමාර්ථයෙන් මූලික කරගෙන සම්බන්ධකරගත්ත අය. මොකද ඒ තරුණ පිරිස අතර ඉන්නවා සෑහෙන අත්දැකීම් බහුල පිරිසක්‌. ඒ සියලු දෙනාම මේ චින්තයෙන් බැහැරවෙලා හිටියා නම් මගේ වැඩේට සම්බන්ධ කරගන්නේ නැහැ.

සනත් වැඩිපුර වැඩකරන්නේ තරුණ පිරිස එක්‌ක. මොකද ඒ ගැන හිතෙන්නේ ?

ඉන්න ලැබෙන එක සතුටුයි. ඒ වගේම ඔවුන්ගෙන් ඉගෙනගන්න දේවල්. අපේ තිබෙන්නා වූ පරම්පරා වෙනසට හෝ සමහර වෙලාවල්වලදී ඒ අය නවීන තාක්‍ෂණයත් එක්‌ක හෝ ඔවුන්ගේ තියෙන අත්දැකීම් සමග සමහර අවස්‌ථාවලදී අපිට හිතෙනවා මේ අලුත් චින්තනය වැදගත් වුණා නේද කියලා. ඉතිං එහෙම අවස්‌ථාත් නැතිවාම නෙමෙයි.

අයිශ්ට ටෙලිනාට්‍යවලට ආරාධනා ලැබෙන්නේ නැතිද?

ආරාධනා ලැබෙනවා. පොඩි තෝරාගැනීමක්‌ එක්‌ක තමයි කරන්න හිතාගෙන ඉන්නේ.

ඇයි මේ තෝරාගැනීමක්‌ කරන්නේ ?

තෝරාගන්න එපායෑ. මොකද මම අලුත් කෙනෙක්‌. විශේෂයෙන් මම ප්‍රවීණයන් සමග වැඩකරන්න කැමැතියි. මොකද එතකොට මගේ රංගනය වැඩිදියුණු වේවි කියලා මට ලොකු විශ්වාසයක්‌ තියෙනවා.

දැන් නිරූපණයෙන් ඈත්වෙලාද ?

ඔව්. පොඩ්ඩක්‌ විතර මගහැරිලා තියෙනවා.

රඟපාන්න ආරාධනා ලැබෙන හින්දා නිරූපණය ඕනේ නැතිද?

එහෙම නැහැ. ඇත්තටම කිව්වොත් වේදිකා නාට්‍යයේ දර්ශනවාරවලට ආරාධනා ලැබෙන්නේ සති අන්තයේ. පැෂන් ෂෝ තියෙන්නෙත් සති අන්තයේ හින්දා පොඩ්ඩක්‌ ඒක මගහැරිලා තියෙනවා. නමුත් මම භාරගෙන තියෙන වැඩ කරනවා.

සනත් මංගල තෑග්ග ඇත්තටම ටෙලිනාට්‍යයක්‌ද? චිත්‍රපටයක්‌ද?

ඒක ගැන තවම මටත් තීරණයක්‌ ගන්න බැහැ. නිෂ්පාදක පිරිසත් මේ ගැන එහාට මෙහාට දෝලනය වෙනවා. සමහර විට කෙටි ටෙලිනාට්‍යයක්‌ වෙන්නත් පුළුවන් තවදුරටත් සංස්‌කරණය කරපු චිත්‍රපටයක්‌ වෙන්නත් පුළුවන්.


(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post