ඔය ඇස් දෙක හමුනොවුණොත්

0 Apr 20, 2017 09.48am Art

තුෂාර ධනංජය

අද තරුණ පරපුරේ ගීත නිතර ම වගේ විද්‍යුත් නාලිකාවල විකාශය වනවා. ඒ තරම කොයිතරම් ද කිව්වොත් ඒ ගීත එපා වනතුරු ම අපට අස්සවනවා. මේ ගීත ඉඳ හිට ඇසුණා නම් සමහර විට අතීතයේ ගීතවල ජනප්‍රියතාව, ඒ පදවල මතකය වර්තමානයේ ගීතවලටත් ලැබිය හැකියි. ඒ විතරක් නොවෙයි ඒ ගීතවල පදරචනය, සංගීතය, ගායකයාගේ ස්වරය යන අංශ සියල්ලේ ම තිබෙන්නේ මනා සංකලනයක්. ඒ නිසා ම ඒ ගීත අපගේ මතකයේ රැඳෙන්නේ ඉබේමයි.

කලකට පෙර ශ්‍රී ලංකන් ලයිෆ් රියැලිටි වැඩසටහනෙන් හොඳම ගායකයා ලෙස කිරුළ පැලඳ, ඒ ඔස්සේ සිය දක්ෂතා දක්වමින් ශ්‍රී ලාංකේය රසිකයන්ගේ හදවත දිනූ තුෂාර ධනංජය යළිත් වසර ගණනකට පසුව සිය මව්බිමට පිවිස සිටියි. විදේශ ගතව සංගීත කටයුතුවල නියැළෙමින් ඒ කටයුතු අවසන් කර මෙහි පැමිණ සිටින ඔහුගේ අලුත් ම තොරතුරු දැනගනු රිසියෙන් අපි ඔහුට කතා කළෙමු.

ඉතිං කාලයකට පස්සේ කොහොම ද?

අපේ රටෙන් ඈත් වෙලා ගිහින් මේ වනවිට මම වසර දෙක හමාරක් පමණ වෙනවා. යළිත් මා මව්බිමට පිවිසුණේ ඒ රටවලදි කළ සංගීත කටයුතු අවසන් කළ නිසයි. ඉදිරියේදී මගේ ම කියලා නිර්මාණ රැසක් කිරීමේ බලාපොරොත්තුවකුත් මට තිබෙනවා.

ඔබ මොනවගේ රටවල්වල ද සංචාරය කළේ?

කුවේට්, කටාර්, දෝහා වගේ රටවල්වලයි මා සංචාරයේ යෙදුණේ.

ඒ කාලයේ ඔබ ගායනා කළේ විජය කුමාරතුංගයන්ගේ ගීතයි. මේ වනවිටත් ඔබ ගයන්නේ ඒ ගීත ම ද?

අප මුල් කාලයේ ගායකයකු විදියට එනවිට ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත ගැයුවා තමයි. ඒත් දැන් ඒ විදියට ඔවුන්ගේ ගීත ගයන එක සුදුසු නැහැ. අපට කියලා පැවැත්මක් නිර්මාණය කරගත යුතුයි. ඒ සඳහා තමන්ගේ ම කියන ගීත නිර්මාණය කර ගායනා කළ යුතුයි. ඒ දවස්වල ම මා ගැයූ ‘මල් රොන් රොන් සොය සොයා’, ‘අප්සරා’ කියන ගීතවලට බොහෝ දෙනාගෙන් හොඳ ප්‍රතිචාර ලැබුණා. බොහෝදෙනා අතර ඒ ගීත ජනප්‍රිය වුණා. අදටත් මාව ඔවුන් හඳුන්වන්නේ ඒ ගීතයේ නමින්. ඒ වගේ ම මේ වනවිටත් මා තවත් එක් අලුත් ගීතයක් නිර්මාණය කර අවසන්.

ඉදිරියේදී ඒ ගීතය ඔබට ආදරය කරන රසිකයන්ට අසන්නට ලැබේවි ද?

‘ඔය ඇස් දෙක හමු නොවුණත්’ කියන මේ ගීතය ලිව්වේ අනෝමදස්සි කියන හිමියන් විසින්. එහි සංගීතය නිර්මාණය කළේ උපයංග ශ්‍රී වික්‍රමසිංහයි. ඒ නිසා ප්‍රසංග වේදිකාවේදී ගී ගැයීමට ලැබෙන ආරාධනාවලට මගේ ම කියන ගීත මට ගයන්න පුළුවන්.

ඔබගේ අදහස ගායකයකු විදියට ඉස්මතු වන්න ද?

මා කුඩා කාලයේදි ඉඳලා හීන මැවුවේ ගායකයකු වන්නයි. මට මැරෙනතුරු ගී ගයන්න වුවමනායි. ඒ සඳහා යම් පැවැත්මක් හදා ගත යුතුයි. එහි ආරම්භයටයි මා මේ මුල පුරා තිබෙන්නේ.

සංගීතය ම ජීවිතය යැයි කියාගෙන සිටියත් අද එය පමණක් ම ජීවිකාව ගෙන යෑමට ප්‍රමාණවත් බව ද ඔබ ඔය පවසන්නේ?

වර්තමානයේදී අපගේ ජීවිතකාව ගෙන යන්න සංගීතය ම පමණක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා යම් ව්‍යාපාරයක් කළ යුතුයි.

ඔබ සංගීත ක්ෂේත්‍රයට පිය නඟන්නේ වැව් බැඳී රාජ්‍යයෙන් නේද?

අනුරාධපුරයේ එප්පාවල මගේ ගමයි. මා පළමුවෙන් ම පාසල් ගියේ එප්පාවල ශ්‍රී සිද්ධාර්ථ ජාතික පාසලටයි. ඊළඟට මා පාසල් ගියේ පොල්ගහවෙල කො/ පරාක්‍රමබාහු ජාතික පාසලටයි. ඒ කාලයේ පටන් ම ගායකයකු වීමට සිතේ අදහසක් තිබුණත්, ඒ ක්ෂේත්‍රයට පිවිසෙන්නේ කෙලෙසදැයි මා දැනගෙන සිටියේ නැහැ.

ඔබ ගායකයකු වීම පිටුපස තිබෙන්නේ අපූරු කතාවක්?

මුලින්ම මා ගායකයකු වීමට සිතාගෙන සිටියත් ඊට උචිත අයුරින් කටහඬක් තිබුණේ නැහැ. වරක් මට මතකයි මා පාසල් ගායන තරගයකට සහභාගි වෙනවා. එතැනදි ඔවුන් මට ගී ගයන්නට බැහැ බව පවසමින් ඉන් ඉවත් කරනවා. එදා තමයි මා කවදා හෝ ගායකයකු විය යුතු බවට ඉටා ගත්තේ.

ඒ අධිෂ්ඨානය ඉටුකර ගත්තේ කොහොම ද?

එදා ඇති කරගත් මගේ දැඩි අධිෂ්ඨානය මා අත හැරියේ නැහැ. එකොළහ වසරේ දී පමණ මගේ ඒ අධිෂ්ඨානය කෙසේ හෝ ඉටු කර ගැනීමට මා ධෛර්යවත් වුණා. මට තිබුණේ සාමාන්‍ය කටහඬක්. ඒ නිසා මා නිතර ම සිතුව දෙයක් නම් මගේ කටහඬට යම් බරක් තිබිය යුතුය යන්නයි. මගේ කටහඬේ ඒ බර බව මා කෙලෙස හෝ නිර්මාණය කර ගත්තා. මේ සියලු කටයුතු අතර දිගු ගමනක් යෑමේ අදහසින් මා ශ්‍රී ලංකන් ලයිෆ් රියැලිටි වැඩසටහනට අයැදුම් කරනවා. ඒ ඔස්සේයි මට ගී ගයන්න හැකි බව සියල්ලන් ම දැන ගන්නේ. මේ කතාව මා පැවසුවෙත් අධිෂ්ඨානයකින් යම් දෙයක් කළොත් කිසිම දිනයක වරදින්නේ නැහැ යන අදහස කියා පෑමටයි.

ඔබ ගායකයකු වීමට පෙර සංගීතය ඉගෙන ගන්නවා ද?

ඒ ලෙවල්වලින් පස්සේ මා සංගීතය හදාරනවා. විශේෂයෙන් ම ගිටාර් වාදනය මා හදාරන්නේ තනිවමයි. ඒ සඳහා ගුරුවරයකු මට ඇත්තේ නැහැ. ගුරුවරයකු ළඟට යන්න වුවමනාව තිබුණත් විවිධ වැඩකටයුතු නිසා ම ඒ කාරණය කල් ගියා. ඒත් මේ වනවිට මට ගිටාරය හොඳට වාදනය කරන්න පුළුවන්.

නව පරපුරේ තරුණයකු විදියට ඔබත් ප්‍රවීණයන්ගේ දෝෂ දර්ශනයට ලක් වූ අයකු ද?

මා එලෙස කිසිවකුගෙන් චෝදනා ලබලා නැහැ. ප්‍රවීණයන් මගේ කටහඬට බොහොම කැමැතියි. ඔවුන් මේ මේ ගීත ගයන්නැයි කියමින් මට උපදෙස් දීලා තිබෙනවා. මා ඒවා පිළිගෙනත් තිබෙනවා. ඔවුන් අපට එවැනි උපදෙස් ලබා දෙන්නේ එවැනි කාලයක අත්දැකීම් රැසක් ඔවුන්ට තිබෙන නිසා අප සිතට ගත යුතු කාරණයක්.

අද බොහෝ නව පරපුරේ අයට සජීවව ගයන්න බැහැ. ඔබටත් මේ කාරණය අදාළ ද?

අද තාක්ෂණය දියුණුයි. ඒ නිසා ඕනෑම අයකුට තාක්ෂණය උපයෝගී කරගෙන ගී ගයන්නට හැකියි. එහෙත් එහෙම කළා කියලා සෑම ගීතයක් ම ජනප්‍රිය වන්නේ නැහැ. ඒ වුණත් ඔවුන්ට සජීවව ගයන්න නොහැකි නම් වරද තිබෙන්නේ ඒ ගායකයන්ගේ. මට ඔය කියන විදියේ කිසිම ප්‍රශ්නයක් ඇත්තේ නැහැ. ඒ වගේ ම අද හොඳට ගී ගයන්න හැකි දක්ෂ තරුණ ගායක පරපුරක් බිහිවෙලා සිටින බවත් මතකයට නැඟිය යුතුයි.

එහෙත් අදටත් බොහෝදෙනා ප්‍රිය කරන්නේ හැට, හැත්තෑව දශකවල ගීතවලටයි. ඒ ගීතවල පද මාලාව පවා මතකයෙන් කිව හැකියි. ඒ තත්ත්වය ඔබගේ පරපුරේ ගීතවලට නැත්තේ ඇයි?

අද තරුණ පරපුරේ ගීත නිතර ම වගේ විද්‍යුත් නාලිකාවල විකාශය වනවා. ඒ තරම කොයිතරම් ද කිව්වොත් ඒ ගීත එපා වනතුරු ම අපට අස්සවනවා. මේ ගීත ඉඳ හිට ඇසුණා නම් සමහර විට අතීතයේ ගීතවල ජනප්‍රියතාව, ඒ පදවල මතකය වර්තමානයේ ගීතවලටත් ලැබිය හැකියි. ඒ විතරක් නොවෙයි ඒ ගීතවල පදරචනය, සංගීතය, ගායකයාගේ ස්වරය යන අංශ සියල්ලේ ම තිබෙන්නේ මනා සංකලනයක්. ඒ නිසා ම ඒ ගීත අපගේ මතකයේ රැඳෙන්නේ ඉබේමයි. මේ සංකලනය අද බිහිවන බොහෝ ගීතවල ඇත්තේ නැහැ.

ඔබ සංගීත ක්ෂේත්‍රයේ ගායකයකු විදියට පැමිණීමට පමණක් ද කැමැත්තක් දක්වන්නේ?

නැහැ. මේ වනවිට ගායනයට අමතරව මා ගීතවලට තනු නිර්මාණය කරන්න, සංගීතය සපයන කටයුතුත් කරනවා. මේ වනවිටත් ගීත කිහිපයකට ම සංගීතය නිර්මාණය කරලා තිබෙනවා. එහෙත් ගීත ලියන්න නම් බැහැ.

මේ දවස්වල සංගීත ප්‍රසංගවලට සහභාගි වීමට අමතරව මොන වගේ දේවල් කිරීමට ද සැලසුම් කරගෙන ඉන්නේ?

සංගීතය සම්බන්ධයෙන් මා ඉගෙන ගත් දේවල් තවත් අයට කියාදීමට කැමැත්තෙන් ඉන්නවා. ඒ නිසා ඉදිරියේදි අනුරාධපුරයේ කටහඬ පුහුණු කරන පන්තියක් දැමීමට අදහස් කරගෙන සිටිනවා. සංගීත කටයුතුවලට කොළොම්පුරවරයට පැමිණ ගම් ප්‍රදේශයේ ම ජීවත් වීමටයි මා කැමැත්තක් දක්වන්නේ.

තුෂාර ධනංජයට කතා කරන්න ඔබත් කැමැති නම් 071-3046476 යන අංකය ඔස්සේ ඔබට ඔහුට ඇමැතිය හැකියි.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post