අද කාලේ තරුණියන්ට බංකු රබන් ගසන්න බැහැ අපේ බෙර හඬ ජාත්‍යන්තරයට ගෙන යන - ජනා

0 Apr 17, 2017 10.18am Art

අපේ බෙර හඬ ජාත්‍යන්තරයට ගෙනියන්න හදන තාරුණ්‍යයේ තව එක්‌ පුරුකක්‌ තමයි, ජනනාත් වරකාගොඩ කියන්නේ. ඉතිං මෙදා සිංහල අවුරුද්දේ දී අපේ සිංහල බෙරය ගැන කතා කරන්න අපි ජනාට කතා කළා. ජනා අපේ සිංහල බෙරය ගැන කිව්වේ මෙන්න මේ විදිහේ කතාවක්‌.

අපේ සිංහල බෙරයට මේ අවුරුද්දේ මොනවගේ ඉඩක්‌ද තියෙන්නේ ?

මෙහෙමයි. මේ අවුරුද්ද කියලා නැහැ. අපේ සිංහල බෙරය ලංකාවේ කවදාද ඇතිවුණේ. අවුරුදු දෙදහස්‌ හයසියයකට ප්‍රථම අපේ දළදා වහන්සේ ලංකාවට වැඩම කරපු දවසේ ඉඳන් දවුල, තම්මැට්‌ටම, ගැටබෙරය කියන බෙර වර්ග තුන තේවාව සඳහා අපිට ලැබිලා තියෙනවා. ඒත් එක්‌කම ඉන්දියානු ශාන්තිකර්ම ආභාසයත් සමඟ පහතරට බෙරය ලංකාවට ලැබුණා. හැබැයි මේ ජාති හතර ලෝකයේ කොහේවත් නැහැ. අපේ අලුත් අවුරුද්ද තේමාව කරගෙන අපිට විශේෂයෙන්ම දකින්න ලැබෙන බෙරය තමයි බංකු රබාන කියන බෙරය. ලෝකයේ කොහේවත් ඒ වගේ සංගීත භාණ්‌ඩයක්‌ දැකලා නැහැ. අපි වයලීනය ගත්තහම එක වාදකයයි වාදනය කරන්නේ. ගිටාරය ගත්තහමත් එහෙමයි. මේ භාණ්‌ඩය එක්‌වර හතර පස්‌දෙනෙක්‌ට වාදනය කිරීමේ හැකියාව තියෙනවා. අපි ඒaකට කියන්නේ බංකු රබාන කියලා.

බංකු රබානේ විශේෂත්වය මොකක්‌ද?

අවුරුදු කාලෙට බංකු රබානේ රබන් පදවලින් අහල ගම් හතකට ඇහෙන්න වාදනය කරනවා කියලා තමයි, ජනවහරේ සඳහන්වෙන්නේ. අටුකොටුපිරිලා අතමිට සරුවෙලා, එක නැකතකට, ශ්‍රී ලාංකිකයන් හැටියට මේ අවුරුද්ද සමරමු කියන සංකේතය ගෙනඑන්නේ රබානෙන්. මඟුල් තුලාවලදී පවා අපිට රබාන වැදගත් වෙනවා. ගැමි ගෙදරක දුවෙක්‌ හෝ පුතෙක්‌ දීග දෙන්න තියෙනවා නම් මාස තුනකට පෙර අපේ අහල පහල අත්තම්මලා එකතුවෙලා රබාර අරගෙන රත්කරලා වාදනය කරනවා. රබානක්‌ ගහනකොට අහලගම් හතකට ඇහෙනවා කියලා තමයි කියෑවෙන්නේ.

බෙර වර්ග කීයක්‌ තිබෙනවාද?

ඈත අතීතයේ බෙර වර්ග තිස්‌දෙකක්‌ අපිට තිබිලා තියෙනවා. ඒ තිස්‌දෙකෙන් අද අපට දකින්න ලැබෙන්නේ බෙර වර්ග දහයයි.

ඒ මොනවාද?

උඩරට බෙරය, පහතරට බෙරය, දවුල, තම්මැට්‌ටම, උඩැක්‌කිය, ඩැක්‌කිය, අත් රබාන, බංකු රබාන, බුම්මැඩිය සහ දඬුබෙරය.

හැබැයි මෑත භාගයේ මගේ ගුරුතුමා වන පියසාර ශිල්පාධිපති ගුරුතුමා ගැටබෙරයේ තුන්පැත්තයි, දවුලේ එක පැත්තකුයි යොදාගෙන ගැවුල කියලා බෙරයක්‌ නිර්මාණය කරලා ලංකාවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ බෙරයත් සමග අපේ රටේ දැන් බෙර වර්ග එකොළහක්‌ තියෙනවා.

අද වෙනකොට බංකු රබානේ හඬ ඇසෙන්නේ හරි අඩුවෙන්නේ නේද?

අද වෙනකොට ඇහෙන්නේ නැත්තේ අපේ ආත්තම්මලා තමයි, මේවායේ තියෙන පද වර්ග දන්නේ. අද තියෙන නවීකරණයත් සමග අපේ ගැහැනු දරුවන් මේ දේ ඉගෙන ගන්න සහ මේ දේට පෙළඹෙන්නේ හරි අඩුවෙන්. බොහෝදුරට රබන් ගසන අත්තම්මලාගේ ගෙවල්වල කාන්තාවන් නැතිතරම්. ඉන්නේ පිරිමි පාර්ශ්වය විතරයි. පිරිමි පාර්ශ්වය බංකු රබන් ගහන්න ඉගෙන ගන්න පෙළඹෙන්නේ නැහැනේ. හැබැයි තවමත් ඈත ගම්වල මේ දේවල් පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන යන පිරිසකුත් ඉන්නවා. නාගරික ප්‍රදේශවල තමයි රබන් ගසනවා දකින්න නොලැබෙන්නේ.

අද වෙනකොට අපේ තරුණයෝ බෙර පදයට වඩා බටහිර සංගීත ශෛලියට තමයි වැඩිපුර කැමැති ?

ලෝකයේ විවිධ සංගීත ශෛලීන් අපිට දකින්න ලැබෙනවානේ. ඒත් එක්‌කම හැම රටකටම ආවේණික වුණ ජන සංගීතයක්‌ තිබෙනවා. ඉතිං ඒවා ඒ ඒ රටවල මිනිස්‌සු වැළඳගත යුතුයි කියන මතයේ තමයි, මම සිටින්නේ. එහෙම වැළඳගත්තොත් තමයි, අපිට අපේ රටේ සංගීතයක්‌ පිටරටට ගෙනිහින් පෙන්වන්න පුළුවන් වෙන්නේ. රූපවාහිනිය ලංකාවට ලැබුණුදා පටන් අපිට බොහොම ඉක්‌මනට අන්‍ය රටවල සංගීතය අපේ රටට බෝවෙන්න පටන්ගත්තා. ඒ සංගීත ශෛලියන් පවා අපිට අවශ්‍යයි. ඒවා බැහැරකරන්න බැහැ. හැබැයි මොනවා වුණත් අපේ දේ මොනවාද කියලා අපි ඊට කලින් අධ්‍යයනය කරලා තිබිය යුතුයි.

අපේ සිංහල බෙරයට තාරුණ්‍යයේ ලොකු නැඹුරුවක්‌ තියෙනවා කියලා ඔබට විශ්වාසද?

දැන් දැන් තියෙනවා. මොකද විශේෂයෙන් පියසාර ශිල්පාධිපති ඇදුරුතුමා යටතේ ඉගෙන ගත්තු රවි බන්දු විද්‍යාපති, මම, රත වික්‍රමනායක වැනි අලුත් පරපුරේ බෙර වාදකයන් මේ දේ රූපවාහිනියට ගෙනැවිත් වාදනය කරනවා. ඒ වගේම පිටරටවලට ගෙනගොස්‌ වාදනය කරලා පෙන්වීමේ හැකියාවක්‌ තියෙනවා. එම නැඹුරුවත් එක්‌ක අපේ අලුත් පරපුර බෙර හඬ ඉගෙනගන්න විශේෂ නැඹුරුවක්‌ දක්‌වනවා. ඒක අපේ ලංකාවට විශේෂ දෙයක්‌ විදිහටයි මම දකින්නේ.

හැබැයි ගොඩක්‌ දෙනෙක්‌ කියන කතාවක්‌ තමයි අද ඉන්න තරුණයන්ට රබන් පදයක්‌වත් වයන්න බැහැ කියන කතාව?

ඒක දෙමවුපියන්ගේ වගකීමක්‌. දෙමවුපියන් විශේෂයෙන් දැනගන්න ඕනෑ තමන් ඉපදිලා ඉන්නේ මොන රටේද කියලා. ඊට පස්‌සේ ඔවුන් දැනගන්න ඕනෑ අපේ රටේ සංස්‌කෘතියට, සභ්‍යත්වයට ගැලපෙන්නේ මොනවාද කියලා. ඒ අනුව දරුවන්ට ලබාදෙන්න ඕනෑ මොනවාද කියලා තීරණය කළ යුත්තේ දෙමවුපියන්. ඔවුන් අතේ සියයට අනූවක වගකීමක්‌ තියෙනවා දරුවන්ට පාර පෙන්වලා දෙන්න. ජන සංගීතය, බෙර කලාව, රබන් කලාව ඉගෙන ගන්න අද අපේ රටේ ඕනෑ තරම් තැන් තියෙනවා. හරියට ගැට බෙරයක්‌ වාදනය කළොත් රබානක්‌ වයන්න බැරිවෙන එකක්‌ නැහැ.

අපේ බෙර හඬට ජාත්‍යන්තරය ඇහුම්කන් දෙනවාද?

පැහැදිලිවම. ඔවුන්ගේ ඩ්‍රම්සෙට්‌ එකක්‌ අත් දෙකයි කකුල් දෙකයි භාවිතා කරලා තමයි වාදනය කරන්නේ. අපේ රටේ ගැටබෙරය අත්දෙකෙන් වාදනය කරලා මේ තරම් ශබ්ද ප්‍රමාණයක්‌ ගන්නේ කොහොමද කියන එක ජාත්‍යන්තරයට විශ්මයජනක කටයුත්තක්‌. අපේ බෙරවලට, තාලවලට, පදවලට ලෝකයේ ඕනෑම සංගීතයක්‌ එක්‌ක හැප්පෙන්න පුළුවන්. ඒක මම හොදාකාරවම දන්න කරුණක්‌.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post