මම තවම සම්මානය දැක්කේ නැහැ මෙවර වේදිකාවේ හොඳම නළුවා ධර්මපි‍්‍රය ඩයස්

0 Apr 07, 2017 09.50am Art

පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උලෙළේදී හොඳම නළුවා ලෙස අභිසෙස් ලබන්නේ ධර්මප්‍රිය ඩයස් ය. ඒ රාජිත දිසානායකගේ ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යයේදී ඔහු කළ රංගනය වෙනුවෙනි. ඒ ලැබූ සම්මානය පිළිබඳත්, ‘නැතුව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය පිළිබඳත් ධර්මප්‍රිය ඩයස් සමඟ කළ කතාබහකි.

* ඔබට ලැබුණු හොඳම නළුවා සම්මානය ගැන මොන වගේ හැඟීමක් ද සිතේ උපදින්නේ?

සම්මානයක් ලැබීම සතුටක්. තමන් කළ දෙයකට ඇගයීමක් ලැබෙනවා කියන්නේ තමන් කරගෙන යන දෙයක් ඉදිරියට කරගෙන යෑමට ලැබෙන දිරිමත් කිරීමක් විදියටයි මා දකින්නේ. අපේ රටේ ලැබෙන සම්මානයකින් අදහස් කළ හැක්කේ එයයි.

* ඒත් ඔබ මෙවර රාජ්‍ය සම්මාන උලෙළේදී හොඳම නළුවා සම්මානය ලබා ගැනීමට පැමිණෙන්නේ නැහැ. ඒ ඇයි?

ඒ වනවිටත් මා සිටියේ නුවර ඒ ජගත් මනුවර්ණගේ චිත්‍රපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින්. රාජ්‍ය නාට්‍ය උලෙළ පැවැත්වීමට පෙරයි මා චිත්‍රපටයට දින ලබා දී තිබුණේ. ඒ නිසා මට එදින රාජ්‍ය නාට්‍ය උලෙළට සහභාගි වීමට නොහැකි වුණා. එහෙම කිරීමට සිදුවුණේ මා යම් කෙනෙකුට පොරොන්දුවක් දුන්නොත් එය ඒ ආකාරයෙන් ම ආරක්ෂා කරන නිසයි.

* එදා ඔබට ලැබුණු සම්මානය ලබා ගත්තේ ඔබගේ ම නළු සඟයකු නේද?

අපේ නාට්‍ය කණ්ඩායමේ සිටි නලින් ලුසේනායි මා වෙනුවට මට ලැබුණු සම්මානය ලබා ගත්තේ. ඔහුට ඒ පිළිබඳ ස්තුති විය යුතුයි. ඒත් මා තවම සම්මානය දැක්කේ වත් නැහැ.

* ඒ කාරණයෙන් සම්මානය ගැන ඒ තරමට ම වටිනාකමක් ඔබට නැති වගයි පෙනී යන්නේ?

එහෙම නොවෙයි. සම්මානය මට බොහොම වටිනවා. සම්මානය දැනට තිබෙන්නේ අධ්‍යක්ෂ රාජිත දිසානායකගේ නිවසේයි. එහි ගිහින් වෙනම ම උත්සවයක් පැවැත්වීමෙන් පසුවයි සම්මානය මගේ අතට ලැබෙන්නේ. මේ දවස්වල වැඩකටයුතු අධික නිසා ඒ උත්සවය පවත්වන්නට අවස්ථාවක් උදා කර ගැනීමට නොහැකි වුණා.

* ඔබ මීට පෙරත් හොඳම නළුවා ලෙස රාජ්‍ය නාට්‍ය උලෙළේදී සම්මාන ලබන බව මට මතකයි. මේ සම්මානය ලබන්නේ කී වැනි වතාවට ද?

දෙවැනි වරටයි.

* රාජිත දිසානායකගේ ‘නැතිව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය සඳහා රංගනයෙන් දායක වීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ කුමන ආකාරයෙන් ද?

මේ වේදිකා නාට්‍යය ලැබෙන්නට ප්‍රථම මා රාජිතත් එක්ක වැඩ කරන්නේ වසර දහයක පටන්. මේ වේදිකා නාට්‍යයටත් ඔහු මට ආරාධනා කරනවා. එහෙත් මේ තරම් බරපතළ චරිතයක් ඔහු මට භාර දේවි යැයි මා කොහෙත් ම සිතුවේ නැහැ. ඒ නිසා මේ චරිතය සඳහා යම් ඇගයීමක් ලැබුණා නම් එහි සම්පූර්ණ ගෞරවය ලැබිය යුත්තේ මේ නිර්මාණයේ රචකයා හා අධ්‍යක්ෂවරයායි. නළු නිළියන් නිසා නාට්‍යයක යම් යම් චරිත ගොඩනැඟෙනවා. එහෙම වුණත් ‘නැතිව බැරි මිනිහෙක්’ වේදිකා නාට්‍යය හා මේ චරිතය ගැන සිතද්දි රචකයා හා අධ්‍යක්ෂවරයා කියන දෙදෙනාගේ සම්මිශ්‍රණයෙන් සෑදුණු කාර්යයක් ලෙසයි මා රඟපෑ චරිතය ගොඩනැඟෙන්නේ. මේ නිසා මේ ලැබුණු සම්මානයේ ඇගයීම රාජිතටත් ලැබිය යුතු බවයි මා සිතන්නේ.

* ඔබ මේ රඟපාන්නේ රාජිත දිසානායකගේ කී වැනි වේදිකා නිර්මාණයේ ද?

මා ඔහුගේ නිර්මාණවලට රංගනයෙන් දායක වන්නේ ‘මට වෙඩි තියන් නැද්ද වේදිකා නාට්‍යයෙන්. එතැන් පටන් ‘සිහින හොරු අරං’, ‘වීරයා මැරිලා’, ‘ආපසු හැරෙන්න බෑ’, ‘බකමූණා වීදි බසී’ නාට්‍ය යෙන් පසුවයි මා ‘නැතුව බැරි මිනිහෙක් වේදිකා නාට්‍යයට පිවිසෙන්නේ. එය හයවැනි වේදිකා නාට්‍යයයි.

* බොහෝ විට එකම නිර්මාණකරුවකුගේ නිර්මාණ වටා එකතු වුණු නළු නිළි පිරිසක් සිටීම එදා පටන් ම පැවත එන්නක්. එහෙම වන්නේ ඇයි?

රාජිත පවසන්නේ හඳුනා ගත්ත හරි පිරිසක් එකතු කර ගත්තොත් නාට්‍යයකට ඒ නිර්මාණයේ සියයට පනහක ප්‍රමාණයක වගකීමක් අවසාන බවයි. ඒ ප්‍රමාණය අවසන් වනවා කියන්නේ ඉතිරි ටික ඉටුකර ගැනීමට යම් පහසුවක් සැලසෙන බවයි. ඒ අතරින් පතර අලුත් සාමාජිකයන් එනවා. යනවා. මේ නිසා රාජිත පවසන්නේ නාට්‍යයකට පිරිසක් තෝරනවා කියන්නේ දඩයමේ යනවා වගේ වැඩක් කියලයි. බොහොම සීරුවෙන් නිවැරැදි ම මිනිසාව ම මීට තෝරාගත යුතුයි. එලෙස කාලාන්තරයක් තිස්සේ අප සමඟ වැඩ කළාට පස්සේ රචකයකු විදියට ඔහු ලියන කටයුතු කරන විට ඔහුගේ මනසට අපව මතකයට නැඟෙනවා ඇතැයි මා සිතනවා.

* ඒ කියන්නේ කාලාන්තරයක් ඔබ ඔහු සමඟ කටයුතු කරන නිසා ඔබව ඔළුවේ තබාගෙන ද නාට්‍යයකට චරිතයක් ලියන්නේ?

ඒක දන්නේ නැහැ. දිගින් දිගට වැඩ කළ නිසා ම ඔහු චරිතයක් ලියන කෙනෙකුත් නොවෙයි. මොකක්දෝ වාසනා ගුණයකට ද කොහෙද මේ නාට්‍යයේ ප්‍රධාන චරිතය ලැබුණා. මේ වනතුරුත්, වසර දහය ඇතුළේ මා ඔහුගේ නිර්මාණවල ප්‍රධාන චරිතයක් රඟපාලා නැහැ.

* ඔබ වේදිකාව, සිනමාව හා පුංචි තිරය කියන මාධ්‍ය ත්‍රිත්වයේ ම සැරිසැරූ නළුවෙක්. මේ මාධ්‍යයන්ගෙන් වැඩිපුර ම සැරිසැරීමට කැමැත්තක් දක්වන්නේ කුමන මාධ්‍යයේ ද?

සිනමාවටයි. දෙවැන්න වේදිකා නාට්‍යයයි. තෙවැන්න ටෙලි නාට්‍යයයි.

* වැඩිපුර ම සිනමාවේ සැරිසරන්න කැමැති විශේෂ වූ හේතුව කුමක් ද?

ඒ මාධ්‍ය ත්‍රිත්වයේ තිබෙන වෙනස අනුවයි මා එලෙස පවසන්නේ.

* ඒ වෙනස ඔබ දකින්නේ කෙලෙසක ද?

ටෙලි නාට්‍ය කියන මාධ්‍ය වර්තමානය වනවිට ව්‍යාපාරයක් වී හමාරයි. එහි තිබිය යුතු ගුණාත්මක භාවය, කලාත්මක භාවය ගැන තැකීමක් නිර්මාණකරුවන් අතර අද ඇත්තේ නැහැ. එය වාණිජ පරමාර්ථයක් ලෙස පවත්වාගෙන යනවා යන මතයේයි මා සිටින්නේ. චිත්‍රපට කියන මාධ්‍යයට මා පෙර කියූ කාරණා දෙක ම බලපාන බව ඇත්තයි. ඒත් චිත්‍රපටයක හරි හමන් චරිතයක් රඟපෑමට ලැබීම ම යම් අවස්ථාවක් ලැබීමක්. ඒ මොකද අපේ රටේ හොඳ චිත්‍රපට නිර්මාණය වෙන්නේ බොහොම අඩුවෙන් නිසයි මා එලෙස පවසන්නේ. ඊළඟට වේදිකා නාට්‍යවලට බොහෝ දෙනෙක් එන්න කැමැත්තක් දක්වන්නේ නැහැ. වාණිජ පරමාර්ථයෙන් වේදිකාවට පිවිසෙන අයට තවමත් එහි ඉඩක් නිර්මාණය වී නැහැ. මේ නිසා වේදිකා නාට්‍ය තවමත් සුපුරුදු විදියට ම පවතිනවා.

* නව පරපුරේ බොහෝ නළු නිළියන් වේදිකාව සොයාගෙන යෑම අද යම් ප්‍රවණතාවක් වී තිබෙනවා නේද?

වේදිකාවට විශ්වවිද්‍යාලවලින් අලුත් නළු නිළියන් රංගනයෙන් දායක වෙනවා. ටෙලි නාට්‍යවල ඉන්න සමහර අය අලුතෙන් ඊට දායක වෙනවා. ඒ අය වේදිකා නාට්‍යවලට ම කොටු වී ඉන්නේ නැහැ. ඒ නිසා එහි ප්‍රවණතාවක් තිබෙන බවක් මට හැඟෙන්නේ නැහැ.

* සුජානි, සාරංග, දිලිනි, රොෂාන්, උමයංගනා ඇතුළු ජනප්‍රිය නළු නිළියන් කිහිපදෙනෙකු ම වර්තමානයේ වේදිකාවට පිවිසීම ඊට හොඳ උදාහරණයක්. ඒ නිසයි මා ඔබගෙන් එවැනි කාරණයක් විමසුවේ?

එහෙම වේදිකාවට පැමිණ ඔවුන් වේදිකාවේ අත්දැකීම් ලබා ගන්නවා නම් වඩාත් හොඳයි. ඔවුන්ගේ වෘත්තිය ජීවිතයටත් හොඳ අත්දැකීම් ප්‍රමාණයක් ලැබේවි. එසේ වෙනවා නම් ඒ ගැන මට තිබෙන්නේ සතුටක්.

* වර්තමානයේ තාක්ෂණයේ තිබෙන දියුණුවත් සමඟ අද බොහෝදෙනා පෙලඹී තිබෙන්නේ සිය නිවෙසේ සිට ම නිර්මාණ නැරැඹීමටයි. මේ විදියට ගියොත් වේදිකා නාට්‍ය කලාව දිගට ම රැදෙයි ද?

එක් එක් කාලවලදි වේදිකා නාට්‍ය කලාවෙත් විවිධ වෙස් ගන්නවා. ඒකට සලකන විදිය, එහි නියැළෙන මිනිස්සු සිතන පතන විදිය, රිද්මය වෙනස් වෙනවා. වේදිකා නාට්‍ය එක එක විදියට එක එක අය කරයි. ඒත් වේදිකා නාට්‍ය චිරාත් කාලයක් වැජඹේවි.

* පාසල් ගුරුවරයකු විදියට ඔබ නිර්මාණ කටයුතුත් සමඟ අධ්‍යාපන කටයුතු සමබර කර ගන්නේ කුමන අයුරින්ද?

මා උගන්වන්නේ දෙහිවල ශාස්ත්‍රානන්ද විද්‍යාලයේයි. මේ සියලු කටයුතු සාර්ථකව කරගෙන යෑමට මට අවස්ථාව ලැබී ඇත්තේ මගේ බිරිය නිසයි. ඇයයි නිවෙසේ සියලු කටයුතු කරට අරගෙන කරගෙන යන්නේ. ඒ නිසා ඈව මෙහිදී මා මේ අවස්ථාවේ සිහිපත් කළ යුතුමයි. ඒ වගේ ම මගේ ගුරුතුමා ප්‍රේමකුමාර කරුණාරත්න මේ අවස්ථාවේදි මා ආදරයෙන් සිහිපත් කළ යුතුයි. ඔහුයි මා රංගනට යොමු කළේ. ඒ නිසා මේ සම්මානය ලබා ගැනීමේ ගෞරවය ඔහුටත් ලැබිය යුතුයි. මගේ සහෝදරියන් තිදෙනාට, සහෝදරයාට, අජිත් අයියා ඇතුළු මස්සිනාලාට ස්තුති කිරීමට මා එය අවස්ථාවක් කර ගන්නවා. මා නොමැති අවස්ථාවල නිවෙසේ කටයුතු කරමින් කරන උදවු සුළු පටු නැහැ.

(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post