අවුරුදු කුමාරිය තෝරන්න ගිහින් මමත් කුමාරයෙක්‌ හොයාගත්තා... සචිනි අයේන්ද්‍ර

0 Mar 19, 2017 09.57am Art

අහස හැම හැන්දෑවටම එක වගේ වෙන්නෙ නැහැ. හැන්දෑවට කොළඹ අහස යටින් නියොන් එළි දැල්වෙනවා. ගමේ වෙල් එළියට තියෙන්නෙ හඳපාන විතරයි. කවියො නම් කියන්නෙ කොළඹ හැන්දෑවට වඩා ගමේ වෙල් එළියට යටින් උදාවෙන හැන්දෑව ලස්‌සනයි කියලා. මට නම් දැනෙන්නෙ කොහොම කවදා කොතැනකට වුණත් දවසේ ගිම් නිවාලන හැන්දෑව සුන්දරයි ආදරණීයයි කියල. හරියට ආදරය වගේ. කවදාක කොතැනක මොන විදිහකට ඉපදුණත් ආදරය අපූරුයි සුන්දරයි ආනන්දනීයයි.

එකොමත් එක කාලෙක ප්‍රාර්ථනා කළා වගේ අපිට අපි හමුවුණා. එදා ඇතිවුණ සංසාරගත හුරු පුරුදුකම ද ආදරය කියන්නේ. අනේ මන්දා මේක කොහොම හිතකට තේරුම් කරන්නද කියලා. මට ඔයාව නැතිව ජීවිතය ගැන හිතන්න බැහැ කියල තේරුම් ගත්ත දවසේ මම ආදරෙයි කිව්වා. ඔයා ඒ ආදරය මලක්‌ වගේ දෝතට ගත්ත. සචිනි ඒ ආදර මතකය මේ හැන්දෑවට මුදාහැරියේ ගලා හැලෙන දිය දහරකට දෝත දුන්නා වැනි හැඟුමෙන්.

Ôසචිනි ආදරයකට මුල පුරන්න පළමු නෙතු කැලූමි හුවමාරු වුණ දවස්‌ මතක්‌ කළොත් ?

අපි මුලින්ම හමුවුණේ එයා සතුව තිබුණ ඇඟලුම් කර්මාන්තශාලාවක අවුරුදු උත්සවයක අවුරුදු කුමරිය තෝරන්න ආරාධික කලාකාරියක විදිහට මම සහභාගි වෙන්න ගිය අවස්‌ථාවකයි.

Ôකලාකාමි හිතැත්තියකගේ සෙනෙහස ව්‍යාපාරික තරුණයකුගේ සිතුවිලි සමඟ සැසඳුණේ ?

මම ඒ වෙද්දිත් කලා ක්‍ෂේත්‍රයේ කටයුතු කරමින් හිටියත් කවදාවත් කලා ක්‍ෂේත්‍රයෙන් මගේ සහකරු තෝරගන්නේ නැහැ කියන තීරණයේ මම හිටියේ . එයා හඳුනාගත්තාට පස්‌සෙ මට හැඟුනා මම හොයපු විදිහේ ගතිගුණ එයා ළග තියෙනවා කියලා. කොහොම වුණත් සමාන සිතුවිලි තියෙන දෙන්නෙක්‌ මුණ ගැහුනම එකිනෙකාට හුරු පුරුදු බවක්‌ දැනෙනවා. මට ඒ හුරුපුරුදු බව ඔහු ළඟින් දැනුණා. ඉතින් අපි පෙම්වතුන් වුණා.

Ôසචිනි ඔබේ ආදර හිත ඔහුගෙන් බලාපොරොත්තු වූ දේ මොනවද ?

මම හිතුවෙ මගේ කලා ජීවිතය ගැන අවබෝධ කරගන්න පුළුවන් කවද හරි අපිට ලැබෙන දරුවන්ට හොඳ පියෙක්‌ වෙන පවුලට ආදරය කරන කෙනෙක්‌. ඒ ගතිගුණ එයා ළඟ තිබුණා.

Ôමේ ආදර කතාව එක වහලක්‌ යටට ගොනුවෙන්නේ ?

අපි මුණගැහිලා මාස නවයකින් විවාහ වුණා.

Ôආදරේ වෙනුවෙන් ඔබට ලැබුණ ආදර සිහිවටනය ?

අපි පෙම්වතුන්ව ඉන්න කාලෙ ඉඳන්ම එයා අද දක්‌වාම මට ඉතා ඉහළ වටිනාකම් තියෙන බොහෝ තිළිණ අරන් දෙනවා. එයා කවදාකවත් විශේෂ ජීවිත මතක සටහන් අමතක කරන්නේ නැහැ. මට තිළිණයක්‌ දීලා ඒ මොහොත මාත් එක්‌ක සමරනවා.

Ôසචිනිගේ කලා කටයුතුවලදී ඔහුගේ ආදර හිත නම්‍යශීලී වෙනවාද ?

මම ගෙදර වැඩ මගහැරල රංගන කටයුතු කළොත් එයා කැමැති වෙන්නේ නැහැ. නමුත් මම ගෙදර වැඩ සමබර කරගෙන රංගන කටයුතුවලට සහභාගි වෙනවා . මගේ සතුට මගේ පැවැත්ම කලාවත් එක්‌ක කියන දේ එයා තේරුම් අරන් මට නිදහස ලබාදීලා තියෙනවා. මම ඒ නිදහස අයුතු විදිහට යොදාගන්නේ නැතිව ඒ විශ්වාසය රකිනවා.

Ôසචිනි ආදර හිතක අරුමය ?

ආදරය කියන්නෙ අනෙකා ළඟ තියෙන අඩුපාඩු ඉවසලා ඒ කෙනාම ළඟ ඉන්න ඕනෑ කියන හැඟීම තමයි. අපි ජීවිතයේ අපි ආදරය කරන දේවල් වෙනුවෙන් මොන තරම් ඉවසනවද? ආදරය කියන්නෙ අපි දෙන්නත් මොන තරම් ප්‍රශ්න ආවත් ඒ හැම දෙයක්‌ම දරාගෙන ඉවසීමෙන් අපි, අපි එක්‌ක ජීවත් වෙන එකම තමයි.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post