මුතූ රහසේම විවාහ වුණාද..?

0 Mar 19, 2017 09.54am Art

ඇය නිතර දකින්න ලැබෙන චරිතයක්‌ නෙමෙයි. නමුත් ඇයව නොදන්නා ඇයට ආදරය නොකරන කෙනෙක්‌ නැති තරම්. රංගන, නිරූපන ක්‍ෂේත්‍රය වගේම ගායන කටයුතු නිසා අපේ රටේ උදවිය වගේම විදෙස්‌ රටවල ඉන්න ලාංකිකයන් අතරත් ඇය ජනප්‍රිය චරිතයක්‌. පහුගිය දවසක ඇගේ විවාහයේ යෑයි පැවසෙන ඡායාරූප එකතුවක්‌ නිසා ඇයට ආදරය කරන බොහෝ දෙනක්‌ කලබලයට පත් වුණා. ඒ ඇය හොර රහසේම විවාහවෙලා කියන ආරංචියත් එක්‌ක. මේ හැම දෙයක්‌ ගැනම ඇයගෙන්ම අහන්න මීවිත තීරණය කළා. ඇය ජනප්‍රිය නිළියක මෙන්ම ගායිකාවක වන මුතු තරංගා...

මොකද කරන්නේ මේ දවස්‌වල?

ඇත්තටම ටිකක්‌ විතර කාර්ය බහුල කාලයක්‌ මේ ගෙවෙන්නේ...

ඒ මොකෝ?

රියෑලිටි වැඩසටහනකට සම්බන්ධවෙලා කටයුතු කරන නිසා තමයි වෙලාව ඉතුරු කරගන්න ටිකක්‌ අමාරු.

එතකොට සැරින් සැරේ රට යන්නේ?

ඒ සංගීත ප්‍රසංගවලටනේ. ඒ ඇරුණු කොට මං රටින් පිට ඉන්න කෙනෙක්‌ නෙමෙයි.

රංගන කටයුතුවලින් ඈත් වෙලාද?

ඈත්වෙලා නැහැ. නමුත් පහුගිය කාලයේ ලැබුණු නිර්මාණ කිහිපයක්‌ම අතඅරින්න වුණා. වෙලාව වෙන් කර ගැනීම පිළිබඳ ගැටලුව නිසා. රියෑලිටි වැඩසටහනට සම්බන්ධ වීම නිසයි වෙලාව පිළිsබඳ ගැටලුව ඇති උනේ. තව මාසයකින් විතර කාලය පිළිබඳ ගැටලුව විසඳේවි. ඇත්තටම මාස හතරකින් විතර නිර්මාණයකට දායක වෙන්න බැරි උනා.

ඔබ බොහෝ නිර්මාණ භාර ගන්න කෙනෙක්‌ නෙමෙයි නේද?

ඇත්තටම ඔව්... මොකද මං හුඟක්‌ ටෙලි නාට්‍ය කරන කෙනෙක්‌ නෙමෙයි තමයි. නමුත් ආව නිර්මාණ කිහිපයත් අපේ රියෑලිටි වැඩේට මහන්සි වෙන්න ඕන නිසා අත් ඇරියා.

මුතු ගැන කට කතා හැදිලා තියෙනවද?

ඔව් නේ... කට කතා අනන්ත හැදිලා තියෙනවා. කට කතා හැදෙන්නේ නැත්නං වැඩක්‌ නෑ...

මොනවද ඒ කට කතා?

මගේ පෙම්වතා මාව අත් ඇරලා රට ගිහිං කියලා කිව්වා, තව මේ මෑතකදීත් කට කතාවක්‌ ගියා. ඔයා කතා කරන්න ඇත්තෙත් ඒ ගැන අහන්න වෙන්න ඇති...

ඒ ගැන කිව්වේ?

මගේ wedding එක ගැන

ඇත්තටම කවදද wedding එක තිබුණේ?

තිබ්බෙ නැහැ අනේ...

එතකොට අර wedding photos?

ඒක photo shoot එකක්‌ විතරයි. මාව නිතරම හැඩ කරන මිනෝශාන් වනසිංහ මටත් මගේ පෙම්වතාටත් ආරාධනාවක්‌ කළා මංගල ඇඳුමින් සැරසුණු photo shoot එකක්‌ කරන්න. අපි ඒ ආරාධනාව භාර ගත්තා. ඒ ඡායා රූප ගැන තමයි ඔය කතා බහ යන්නේ. එහෙම නැතුව තවම අපේ විවාහය සිදු වුණේ නැහැ. හුඟක්‌ දෙනෙක්‌ කතා කරලා මට දොස්‌ කිව්වා wedding එක කිව්වෙත් නැහැ කියලා. නමුත් තවම එහෙම දෙයක්‌ සිදු වුණේ නැහැ.

දැන් එතකොට කවදද විවාහ උත්සවය?

මේ අවුරුද්දේ අන්තිමට වගේ ඒ කටයුතු සිදු කරන්නයි හිතාගෙන ඉන්නේ.

පෙම්වතාගේ නම ගම විස්‌තර කියන්නේ නැද්ද?

එයාගේ නම නිශාන්ත ජයවර්ධන. ව්‍යාපාරිකයෙක්‌. 2003 වසරේ Mr. Sri Lanka වුණේ ඔහු. කාය වර්ධන ශිල්පියෙක්‌ ලෙස වගේම නිරූපන ක්‌ෂේත්‍රයේත් එයා කටයුතු කළා.

ටෙලි නාටයක්‌ නිෂ්පාදනයට එහෙම අදහසක්‌ නැද්ද?

එහෙම ආසාවක්‌ තියෙනවා. නමුත් දැන්ම එහෙම අදහසක්‌ නැහැ.

මොනවද ඉස්‌සරහට කරන්න හිතාගෙන ඉන්න විශේෂ දේවල්?

ව්‍යාපාරයක්‌ කරන්න හිතාගෙන ඉන්නවා ඉදිරියේදී දැන්ම ඒ ගැන විස්‌තර කියන්න නං බැහැ. ඇත්තටම තාම කිසිම media එකකට මං ඒ ගැන කියලා නෑ තාම. ඔයා තමයි ඒක මගේ කටින් අල්ලාගත්තේ ඉස්‌සෙල්ලම. කොහොමත් අප්‍රේල් මාසෙන් පස්‌සේ මං හුඟක්‌ විවේකියි. ඒ නිසා එන වැඩ ටික කරගෙන සංගීත ප්‍රසංග ටිකත් කරගෙන ඉන්න තමයි බලාපොරොත්තුව.


(අද දෙරණ ඇසුරෙනි)

පුවත්

Recent Post