ඒකට බෑ කිව්වා නම් ෂාරුක් අද නැහැ

0 Mar 10, 2017 09.44am Art

සිනමාවට තවත් සැබෑ යෞවනයෙක් රන්සයුර සමඟ එන ඉසුරු ලොකුහෙට්ටිආරච්චි

වර්තමානයේ සිටින නව පරපුරේ නළුවන් අතර මනා පෞරුෂයක් ඇති අයකු හැටියට ඉසුරු ලොකුහෙට්ටිආරච්චි හඳුන්වා දිය හැකිය. වේදිකාව,පුංචි තිරය පමණක් නොව මේ වන විට ඔහු සිනමාව ද අතික්‍රමණය කොට ඇත්තේය. ඉසුරු රඟපෑ පළමු සිනමා සිතුවම මේ දිනවලදී තිරගත වේ. ඒ සුදේශ් වසන්ත පීරිස්ගේ රන් සයුරයි. එහි ඔහු පුංචි බේබි නමැති ප්‍රතිවීර චරිතය නිරූපණය කරනු ලබයි.

ඉසුරු, මේ ගෙවෙන්නේ ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂ වූ කාල වකවානුවක්?

ඇත්තෙන්ම මගේ පළමු චිත්‍රපටය මේ දිනවලදී තිරගතවීම එයට ප්‍රධාන හේතුවයි. රන් සයුර නරඹපු බාල මහලු තරුණ කොයි කවුරුත් මගේ චරිතය ගැන මඳකට හෝ කතා කරනවා. මේ චිත්‍රපටය නිසා මගේ ජීවිතයට විශේෂිතම කෙනෙක් හමු වුණා.

ඒ කවුද? පෙම්වතියද?

අනේ නැහැ. මගේ පළමු චිත්‍රපට රසිකයා. මට රූගත කිරීමක් තිබුණා කිඳෙල්පිටියේදී. එහිදී මාව දැකලා එක්තරා කෙනෙක් රන් සයුරේ පුංචි බේබි ගැන මහා ලොකු වර්ණනාවක් කළා. මම දන්නේ නැහැ ඒ පුද්ගලයා කවුද කියලාවත්. අන්න එයා තමයි මගේ චිත්‍රපට ජීවිතයේ පළමු රසිකයා.

රන් සයුරෙහි ඔබ රඟපාන්නේ දුෂ්ට චරිතයක්. සමහර නළුවන් එවන් වූ චරිත රංගනයන් ප්‍රතික්ෂේප කරනවා?

මං එහෙම නැහැ. සුන්දර සුකුමාල චරිතයක් හරහා චිත්‍රපට ලෝකයට එකතු වන්නට තුන් හිතකවත් මගේ බලාපොරොත්තුවක් තිබුණෙම නැහැ. මේක මට ලැබුණු හොඳ අවස්ථාවක්. වීරයා වීරයා හැටියට මතු වෙන්නේ ප්‍රතිවීර චරිතයන් හොඳට තිබුණාම. අනික නළුවකු හැටියට ලැබෙන ඒ අවස්ථාවන් ප්‍රතික්ෂේප කරන්න හොඳ නැහැ. එවන් වූ චරිතයක් හරහා තමයි ෂාරුක් තම පළමු රංගනය ඉදිරිපත් කළේ. ඔහු ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කළා නම් ඒ සුපිරි තරුව අද නැහැ.

මා දන්නා පරිදි ඔබ වෘත්තීය රංගන ශිල්පියකු වන්නට හීනෙකින්වත් හිතපු නැති කෙනෙක්?

මං පළමුව සේවය කළේ යුද හමුදාවේ. එහි දෙවන පෙළ ලෙෆ්ටිනන්වරයකු දක්වා මං තනතුරු ලැබුවා. මං ඉන් ඉවත් වෙලා අලෙවිකරණයට යොමු වුණා. ඔය අතරෙදියි රංගනයට පිවිසුණේ. එහෙත් රැකියාවයි රංගන කටයුතුයි සම බරව කරගෙන යන්න බැරි තත්ත්වයක් උදා වුණා. ඉතින් මං කළේ රැකියාවෙන් ඉවත් වෙන එක.

ඒ මොන ටෙලි නාට්‍යයේ රඟපාද්දීද?

මලී. එතකොටත් මං රංගනයෙන් ස්ථාවර වෙලා නෙවෙයි හිටියේ. ඒත් මං රැකියාවෙන් ඉවත් වුණා.

ඒක එක්තරා අතකින් අභියෝගයක්?

ඔව්. මට තිබුණු රැකියාවෙන් මට හොඳ වැටුපක් ලැබුණා. ඒ වගේම යාන වාහනත් තිබුණා. ඒත් මගේ ජීවිතය හරිම කාර්යබහුලයි. මං හමුදාවෙන් ඉවත් වුණෙත් ඒ කාර්යබහුලකම නිසා. අලෙවිකරන රැකියාවත් එහෙමයි. මට හිතුණා එතැන නෙවෙයි මං ඉන්න ඕන කියලා. හොඳට හිතලා තීරණයක් ගත්තා.

අද වන විට ඔබ නළුවකු හැටියට ඊටත් වඩා කාර්යබහුලයි?

මං ඒ කාර්යබහුලකමට හරි ආසයි. මට දැන් රෑට හොඳට නින්ද යනවා. නමුත් කලින් රැකියාවන්වලදී මං තෘප්තිමත් නැහැ. මේකෙදි මං තෘප්තිමත් සියයට සීයකින්ම. අනික මං තෝරා බේරාගෙන රංගනයේ යෙදෙන කෙනෙක් නෙවෙයි. වැඩේ හොඳ නම් ඩී වී ඩී චිත්‍රපටයකට වුණත් මං යනවා. රංගනය තමයි මට සුදුසු වෘත්තීය.

අතිරේක රංගන ශිල්පියකු විදිහට ක්ෂේත්‍රයට එක් වූ හැටි ඔබට මතකද?

මොකද අමතක. චරිත් කොතලාවල අධ්‍යක්ෂණය කළ තිෂූල දීප තඹවිට කැමරාව මෙහෙයවපු දෙන්නට දෙන්නා නාට්‍යයේ තමයි මං මුලින්ම රඟපෑවේ. ඒකේ මේකප් ආර්ටිස් තාරක අධිකාරි, රන්ජන් ප්‍රසන්න සහ උදය ප්‍රසන්න සහාය අධ්‍යක්ෂවරුන් විදිහට වැඩ කළා. මට ඒ සේරම අයව මතකයි. හැබැයි ඒ නාට්‍යයේ රූගත වී තිබුණේ මගේ පිට විතරයි. රියැලිටි වැඩසටහනක් නරඹන්න ආව කෙනෙකු විදිහටයි මං හිටියේ. කැමරාව තිබුණේ මගේ පිටුපසින්. අංකයක් ගහපු ටීෂර්ට් එකකුයි මං ඇඳගෙන හිටියේ. ඒ අංකෙන් තමයි මට මගේ පිට අඳුනගන්න පුළුවන් වුණේ.

මානව හිතවාදී කලාකරු විජය කුමාරතුංගයන්ට සමාන වූ කටහඬක් ඔබට තියෙනවා. ඒ හින්දා ඔබ එතුමාගේ ගීත ගායනයේද යෙදෙනවා?

ගොඩක් දෙනා කියනවා මගේ හඬ විජය මහත්මයාගේ හඬට සමානයි කියලා. මට ගයන්නට ඇරැයුම් ලැබෙන අවස්්ථාවලදීත් ඉල්ලන්නේ විජය ගීත. ඒ වගේම මං පුංචි කාලේ ඉඳලා දීපාල් සිල්වාගේ හඬත් අනුකරණය කළා. ඔහුගේ ගීතත් ගයනවා. හැබැයි වැඩි ඉල්ලුම විජය ගීවලට. මේ හඬ හින්දා මං ඇතැම් අවස්ථාවලදී අපහසුතාවයට පවා පත් වෙලා තියෙනවා.

එවන් අවස්ථාවක් මතක් කළොත්?

මට විජයගේ හඬින් ගී ගයන්නට උත්සව සභාවකදි ආරාධන ලැබුණාම අවුලක් නැහැ. නමුත් ප්‍රසිද්ධ තැන්වල, ඒ කියන්නේ සුපර් මාර්කට්වලදී නැත්නම් කාර් පාක් එකකදී වගේ මට ඇතැම් අය විජයගේ හඬ අනුකරණය කරන්න කියලා කියනවා. එතකොට තමයි තරු පේන්නේ. ඒවගේ තැනකදී සංගක්කාර හමු වුණාම හයේ පහරක් ගහන්නවත්, මුරලිදරන් හමු වුණාම දුස්රාවක් දාන්න කියලවත් කියන්නේ නැහැනෙ.නමුත් කලාකරුවකු හමුවුණාම අපිට රඟපාන්න කියනවා.

ජනප්‍රියත්වය කරදරයක්ද?

කොහෙත්ම නැහැ . වැරැදියට තේරුම් ගන්න එපා. මං කිව්වේ දොසක් නෙවෙයි. මට ජනප්‍රියත්වය කවරදාකවත් කරදරයක් වෙලා නැහැ.

ඔබගේ පළමු චිත්‍රපට රංගනය සිදුවුණේ ප්‍රතිවීර චරිතයකින් නිසා දිගින් දිගටම එවන් වූ චරිතවලට පමණක් කතා කිරීමේ ප්‍රවණතාවය වැඩියි?

එහෙම තත්ත්වයක් නම් තියෙනවා. නමුත් ඒ තත්ත්වය මඟහැර ගත යුත්තේ මවිසින්ම තමයි. මං එකම චරිතවලට පමණක් කොටුවෙලා ඉන්න කැමැති කෙනෙක් නෙවෙයි. ටෙලිවිෂනයේදී මං ඒක කළා. සිනමාවේදීත් මං එහෙම කොටු නොවී රඟපාන්නයි අදහස.

අවසන් කොට මොනවද කියන්න තියෙන්නේ?

මං ඉගෙන ගත් පාසල මං මතක් කරන්න කැමැතියි. ඒ මාතර රාහුල විදුහල. ඒ වගේම මගේ ගම මාතර, නිදන්ගල. අම්මටයි, තාත්තටයි, අයියටයි මං තුති පුදනවා. මගේ වෘත්තීය නළුකම පිටුපස ඔවුන් යෝධ සෙවනැල්ලක් මෙන් හිටියා. මේ වෙලාවේ මට උදව් කළ සියලු දෙනාටත් ස්තූති කරන්න අවස්ථාවක් කර ගන්නවා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

  • පූජාට සම්මාන

    Oct 23, 2017 10.29am Views 0 Read More...

    සුරූපී ජනප්‍රිය නිළි පූජා උමාශංකර් මේ දවස්වල ඉන්නෙ හුඟක් සතුටින්. ඇගේ රංගන කුසලතාවය නිසාම පසුගිය දා

  • වසර දහතුනකට පසු උපාධියක්

    Oct 23, 2017 10.27am Views 0 Read More...

    එස්.අයි සමරක්කොඩි ලංකාවේ ප්‍රේක්ෂකයන්ට ආගන්තුක නමක් නෙමෙයි. මේ දවස්වල විකාශය වන ටෙලි නාටය

Recent Post