සමනලීගෙයි මගෙයි ස්ක්‍රීන් ටයිම් එකයි

0 Mar 08, 2017 11.50am Art

- සුරංගා රණවක ප්‍රේමය නම් ගැන කියයි

නිළියෝ බොහෝ සිටිති. එනමදු රූපනවේදිනියන් ඇත්තේ අතළොස්සකි. සුරංගා රණවකද එසේමය. ඇය නිළියන් අතර සිටින රූපණවේදිනියකි. ජනප්‍රියත්වය හඹා නොගොස් චරිත හඹා යන තැනැත්තියකි. සුරංගාගේ පුවත්පත් ලිපියක් සරසවියේ පළ වන්නේ ද ඉතා දිගු කලකට පසුය. මේ දිනවල තිරගතවන ප්‍රේමය නම් සිනමාපටයේ රංගනයෙන් දායකවීම හෙතුවෙන් ඇයගේ තතු විත්ති විමසා බැලීමට අපි උනන්දු වූයෙමු. න සුරංගා ප්‍රේමය නම් හි ඔබේ චරිතය ගැනයි මං පළමුව ඔබෙන් විමසීමක් කරන්නේ?

මගේ චරිතයේ නම ඉමෝකා. ඇය මානසික රෝහලක සේවය කරන නර්ස් කෙනෙක්. ඉනෝකා කියන්නේ ප්‍රේමය නම් හි උප ප්‍රධාන චරිතය. ඒ වුණාට මං මේ වෙනුවෙන් ගොඩක් කැප වුණා. මානසික රෝහලකට ගිහින් එතැන නර්ස්ලා වැඩ කටයුතු කරන විදිහ අධ්‍යයනය කළා. වැඩමුළුවලට සහභාගි වුණා. ඉන් පසුවයි චරිතයට අනුගත වුණේ.

* ඔබ හිතනවද ඔබ ඉනෝකගෙ චරිතයට සාධාරණයක් ඉටු කළා කියලා?

ඔව්.

* ඔබව අප වඩාත් හඳුනා ගත්තේ අලිමංකඩ චිත්‍රපටය හරහා. ඔබ එහි ප්‍රධාන නිළි භූමිකාවයි නිරූපණය කළේ. නමුත් ඔබව ඉන් පසුව අපට හමු වුණේ නැති තරම්?

අලිමංකඩහි මම රඟපෑ චරිතය වෙනස්ම එකක්. ඒක සුන්දර චරිතයක් නෙවෙයිනෙ. පසුව මං චිත්‍රපට ගණනාවක්ම කළා. නමුත් ඒවා තිරගත වුණේ නැහැ.

* මං ඔබෙන් ඇහැව්වෙ ඔබට ප්‍රධාන චරිතයකින් මුණ ගැහුණේ නැත්තේ ඇයි කියලා. ප්‍රේමය නම් චිත්‍රපටයේ වුණත් ඔබ උප ප්‍රධාන චරිතයක්නෙ කරන්නේ?

මං හිතනවා ප්‍රේමය නම් හි මගේ චරිතය උප ප්‍රධාන වුණාට ඒක කැපී පෙනෙන චරිතයක් කියලා. මොකද සමනලීටයි මටයි එකම ස්ක්‍රීන් ටයිම් එක තියෙන්නේ. සමනලි සහ ශ්‍යාම්ගේ ආදරය නිසා හයිලයිට් වෙන්නේ ඔවුන් දෙදෙනාව.

* ඒක හරි. චිත්‍රපටයේ පෝස්ටර්වල පවා ඉන්නේ ඔවුන්. ඔබ නැහැ?

ඒක ඉතින් ඒ අය මාර්කටිං කරන සිස්ටම් එකනෙ. මං හිතන්නේ ඔය ප්‍රශ්නය මට නැතුව අදාල පාර්ශවයන්ට යොමු කළොත් හොඳයි කියලා.

* මා ඔබව දුටුවා ආදරණීය කතාවක් චිත්‍රපටයේ සුළු චරිතයකින්. ඇයි ඔබ සුළු චරිත නිරූපණය කරන්නේ. ඔබ ප්‍රධාන චරිත රඟපෑ නිළියක්නෙ?

මං ඒ චිත්‍රපටයට ගියේ යාළුකම මත. යාළුකමට අඬ ගැහැව්වා. බෑ කියන්න බැරි ආරාධනාවක් හින්දා ගියා. නමුත් එහි පිටපතේ මගේ චරිතය බොහෝ දර්ශනවල තිබුණා. එඩිට් එකේදී ඒවා අයින් වෙලා. ඉතින් බලන කෙනෙකුට හිතෙන්නේ මං සුළු චරිතයක් නිරූපණය කළා කියලා.

* යාළුකමට එහෙම කළාම ඔබේ ප්‍රතිරූපයට හානි වෙනවා කියලා හිතෙන්නේ නැතිද?

බිඳෙන්න තරම් මහ ලොකු ප්‍රතිරූපයක් මට තියෙනවාද . . . මං හිතන්නෙ නැහැ සුළු චරිතයක් නිරූපණය කළ පළියට මට හානියක් සිදුවේවි කියලා.

* ඔබේ සමකාලීන රංගන ශිල්පිණියන් ඔබට වඩා ජනප්‍රිය වෙලා?

ඔව්. ඒක නම් ඇත්ත. ජනප්‍රියත්වය ළඟා කරගන්න නම් එක එක දේවල් කරන්න ඕනෑ. සමහර අයගේ පින්තූර ප්‍රධාන පත්තරවල මුල් පිටුවල යනවා. ඒත් මගේ නැහැ. මොකද මං ඉල්ලගෙන යන්නේ නැති නිසා. නිෂ්පාදන සම්බන්ධිකාරකවරියක ලෙසට ක්ෂේත්‍රයට ඇවිල්ලා කාලයක් තිස්සේ මං වැඩ කරද්දී මට නොයෙක් දෙනා මුණ ගැහුණා. ඒ අතර ජනප්‍රිය අයත් හිටියා. ඒගොල්ලො කරන බොරුවක් මං දැක්කා. ඔය ජනප්‍රියත්වය කියන්නේ බොරුවක්.

* ඔබ රංගනයෙන් දායක වූ නිර්මාණ පෙළ සසඳා බලන කල පෙනෙන්නේ ඔබ දායක වී ඇත්තේ සීමිත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණවලට පමණක් බව?

මං තෝරා ගත් අධ්‍යක්ෂවරු කිහිප දෙනෙකු ඉන්නවා. මං වැඩ කරන්නේ ඔවුන් එක්ක පමණයි. අධ්‍යක්ෂවරයකු වුණාම ශික්ෂණයක් තියෙන්න ඕනෑ. එවන් නිර්මාණකරුවන් එක්ක පමණයි මං වැඩ කරන්නේ.

* ඒ කියන්නේ ඔබ අයුතු බලපෑම් කරන අධ්‍යක්ෂවරුන් මඟ හරිනවා?

ඔය කියන කාරණාවට වලංගු වන්නේ ඒ දේ පමණක් නෙවෙයි. දර්ශන තලයේදී නළු නිළියන්ට කෑගහන, බනින, නිර්මාණය තුළ නොසිටින අධ්‍යක්ෂවරුන් ගැනයි මං කිව්වේ. මට ඒ අයත් එක්ක රඟපාන්න බැහැ.

* ඔබ වෙනස් රංගන ශිල්පිණියක්?

ඔව්. මගේ නිළිකම මගේ ඔළුවේ නැහැ. මගේ ජීවිතය බොහොම සාමාන්‍යයි. මේකප් වුණත් අඩුවෙන් පාවිච්චි කරන්නේ. ඇත්තටම මම වෙනස්.

* ඔබට ඇයි පුංචි තිරය මඟහැරුණේ?

මඟ හැරුණාම කියලා කියන්න බැහැ. සමීර හසුන්ගේ මීදුම් අම්මා නාට්‍යයේ රඟපෑවා. ඕනෑම නිර්මාණයකට දායකවීමට අවස්ථාව ලැබෙන්නේ සබඳකම් මතනෙ. මට ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ අයත් එක්ක තිබෙන සබඳකම් අඩුයි. ඒ කාරණාව හැරුණු කොට ටෙලි නාට්‍යවලට මගේ අකමැත්තක් නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් බාර ගන්නවා.

* කැමරාවෙන් පිටුපස කෙරෙන කාර්යයන් බොහොමයකට ඔබ සම්බන්ධ වෙලා හිටියත් අද ඔබ ඒ සියල්ලගෙන්ම ඉවත්වෙලා?

ඒකට ප්‍රධාන හේතුව මං මගේ පවුල් ජීවිතයට මුල් තැනදීම. දැන් දුවත් ලොකුයි. ඇයගේ වැඩ කටයුතු තියෙනවා. නිෂ්පාදන අංශයේ වැඩ කටයුතු කරද්දී වෙලාවක් කලාවක් නැහැනෙ. මේ වන විට මං ඒවායින් ඉවත් වෙලා කෘෂි කර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාරයක නියැලෙනවා.

* වැඩිහිටයන්ට පමණක් සීමා වූ චිත්‍රපටයකට ආරාධනාවක් ලැබුණොත් බාර ගන්නවාද?

ඇයි නැත්තේ, හැබැයි ඒ අධ්‍යක්ෂවරයා තුළ ශික්ෂණයක් තිබිය යුතයි. ඔහුට ඒ නිර්මාණය ගැන අවබෝධයක් තිබිය යුතුයි. නිළියක් විදිහට එකම රාමුවක කොටු වෙලා ඉන්න කෙනෙක් නෙවෙයි මම. අනික මං ගාව වාරණත් නැහැ. මට හොඳයි නම් මං චිත්‍රපටයේ රඟපානවා.
(දිනමිණ පුවත්පත ඇසුරෙනි)

පුවත්

Recent Post